2023 ජනවාරි 08 වන ඉරිදා

කොට උඩ යන දුම්රිය වලපල්ලටම?

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 94

අපේ රටේ දුම්රිය සේවයට බාලගිරි දෝෂය ලැබුවේ දැනට වසර ගණනාවකට පෙර සිටය. සුද්දා විසින් අපට ලබාදුන් මහා දැවැන්ත ව්‍යාපෘතියක් වූ දුම්රිය ප්‍රවාහනය අදටත් අපි භාවිතා කරන්නේ එකී සුද්දා විසින් වසර 100කට පෙර ලබාදුන් තාක්ෂණය හරහාමය. සුද්දා කෙතරම් වටිනා ව්‍යාපෘතියක් අපට ලබාදුන්නත් අදටත් ඒ සම්පතෙන් හරිහැටි ප්‍රයෝජන ගත් ජාතියක් නොවන බව බැලූ බැල්මට කිවයුතුය. නිකන්ම ඔඩොක්කුවට වැටුණු පලියට පවත්වාගෙන යන දුම්රිය සේවය අදටත් ලංකාවේ පාඩු ලබන ආයතනවලින් තරගකාරී ලෙස උඩම වැජඹේ. ඒ නිසා අවසාන තීන්දුව වී ඇත්තේ දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කරන ලැයිස්තුවේම උඩින්ම දමා පෞද්ගලිකකරණය කිරීමය. පීලී පනින්නේ නැති, වෙලාවට එන්නේ නැති, ගුණාත්මක සේවයක් ලබාදෙන්නේ නැති දුම්රිය සේවය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් මගියා සිටින්නේ කැමැත්තෙනි.

කෙසේ වෙතත් කියන්නට යන්නේ එකී පෞද්ගලීකරණය සඳහා මඟපෑදූ තවත් සිදුවීමක් ගැනය. ඒ පසුගිය දෙසැම්බර් 31දා සිට දුම්රිය සේවකයන් 500ක් නිසි කළ විශ්‍රාම ‍යාමත් සමඟ ඇති වූ අලකලංචියක් ගැනය. එකී 500 දෙනා විශ්‍රාම යාමත් සමඟ සමස්ත දුම්රිය සේවයම බලා සිටියදී කඩා වැටුණේ කාටත් සිතා ගැනීමට නොහැකි ලෙසය. මෙකී අවදානම හමුවේ එම දෙපාර්තමේන්තුව අවුරුද්ද ආරම්භයේම 1දා සුබ මොහොතින් ප්‍රකාශ කර සිටියේ 500 දෙනෙක් විශ්‍රාම යාම නිසා එදින දුම්රිය වාර 50ක් පමණ අවලංගු විය හැකි බවය. එසේ කීවත් 31දාම දුම්රිය ගමන් වාර 59ක් අවසානයේ අවලංගු වී ගොස් තිබුණි. ඒ අතර මගී ප්‍රවාහන දුමරිය වාර 48 ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 11ක් අවලංගු කර තිබුණි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන දුම්රිය වාර 25ක්, මුහුදුබඩ මාර්ගයේ මගී ප්‍රවාහන දුම්රිය වාර 14ක්, පුත්තලම් මාර්ගයේ මගී ප්‍රවාහන දුම්රිය වාර 7 සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය වාර 2 අවලංගු වී තිබිණි.

එසේම පළමුවැනිදා දුම්රිය වාර 36ක් අවලංගු විය. මගී ප්‍රවාහන දුම්රිය 24ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය වාර 12ක් අවලංගු වූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් සඳහන් කළේය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 12, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය වාර 2ක්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය වාර 2ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය වාර 8ක් වශයෙන් අවලංගු වී තිබුණි.

කෙසේ වෙතත් ජනවාරි මුල් දින කිහිපය තුළ සේවකයන් රැකියාවට වාර්තා නොකිරීම නිසාත් දුම්රිය අවලංගු විය හැකි බව දුම්රිය පාලන අධිකාරිය ප්‍රසිද්ධියේ පිළිගත්තේය. රටේ අත්‍යවශ්‍ය සේවාවක් වූ දුම්රිය සේවයට මෙවැනි ඉරණමක් ඇතිවීම ගැන රටක් ලෙස අප කම්පා වියයුතු සේම ලැජ්ජා සහගත විය යුතුය. විශේෂයෙන් මෙවැනි සේවයක් පුරප්පාඩු මත සිරවීම රටක කෙතරම් කඩා වැටීමක්ද යන්න බැලූ බැල්මට පේන දෙයකි.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක මාධ්‍ය අමතමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ 2013 වසරේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීම් නිසි පරිදි සිදුවී නැති බවය. මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ මාතර බෙලිඅත්ත වැනි දුම්රිය ස්ථාන රුසක් වසා දැමීමේ අවදානමක් ඇති බවය.

මේ තත්ත්වය මග හැරීම සඳහා මුල්කාලයේ විශ්‍රාම යන දුම්රිය සේවකයන් නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකළත් නිසි පරිදි වැටුප් නොගෙවීම නිසා ඔවුන් අතරමැද තම රුකියාව අත්හැර ගිය බවය. ඒ නිසා නැවත කොන්ත්‍රාත් පදනම මත සේවකයන් දුම්රිය සේවයට එක්වීමට කැමැත්තක් නොදක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් වර්තමානයේ ආර්ථික අවුලත් සමඟ සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම මග නවතා දමා තිබුණි. ඒ නිසාම නැවත කොන්ත්‍රාත් පදනම මත ලබා ගැනීමට මුදල් අමාත්‍යංශයෙන් හෝ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කැමැත්ත පලකර යුතුව ඇත. මේ නිසාම දුම්රිය පාලන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් විමසා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබුණි. එම ලිපියට කැමැත්ත පලකරමින් ජනපති ලේකම්වරයා දුම්රිය පාලන අධිකාරියට ලිපියක් යොමුකර ඇති බවද දැනගන්නට ඇත.

මේ වනවිට අදාළ ගැටලුව විසඳමින් පවතින අතර දුම්රිය වාරද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සිදුකරමින් ඇත. මේ රටේ ප්‍රධාන සේවයක් විශ්‍රාම යන සේවකයන් නිසා කඩා වැටෙනවා නම් තවදුරටත් එහි සේවය කරන පිරිසගෙන්ද වැඩක් නැත. එයට හේතුව විශ්‍රාම පිරිසගෙන් පමණක් මේ දුම්රිය පවත්වාගෙන ගියාද යන්න ඇති වන සැකය නිසාය.

දැනටමත් දුම්රිය දෙපාර්තමේන්තුව දුවන්නේ පීලි උඩ නොව කොට උඩය. දුම්රිය සේවකයන් නිසා පමණක් නොව අද දුම්රිය කඩාවැටී ඇත්තේ කාරණා කිහිපයක් නිසාය. ප්‍රධාන වශයෙන් පාඩු ලබන ආයතනයක් වීමත් එසේම තවමත් පැරණි තාක්ෂණය භාවිතා කිරීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුව අද වනවිට වලපල්ලට යමින් ඇත. කිසිවකු ඒ සඳහා අවධානයක් ලබා නොදුන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසාම අද වනවිට සේවකයන් නොමැතිව දුම්රිය ගමන් වාර අඩුකිරීමට පවා සිදුවී ඇත. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට සේවකයන් මෙන්ම එම ආයතනත් රජයත් සම්පූර්ණයෙන් වගකිව යුතුව ඇත. එහෙත් අපේ රටේ වගකීම් බාර ගැනීමට අයකු නැත. ඒ නිසාම ඒ ආයතනවලට මෙවැනි තත්ත්වයන් ඉදිරියටත් සිදුවනු ඇත.

I ගයාන් ගාල්ලගේ