වයඹ පළාත 1845 දී ඉංග්‍රිසින් පිහිටුවන විට වන්නියක් ලෙස සැලකුණි. ඒ එතරම් දුෂ්කර පළාතක් මෙන්ම වනාන්තර පිරී පැවතීම නිසාය. ඉංග්‍රිසිහු පොල් ඇතුළු බෝග වගාවට බොහෝ වනාන්තර වනසා දැමූහ. නිදහසින් පසු වනාන්තර විනාශය අපේ ඇත්තන් අතට ගැනුණි. වර්ග කි.මී. 7812ක් විශාල වයඹ පළාතේ දැනට ඉතිරිව පවතින වනාන්තරත් විශාල අවදානමකට ලක්ව පවතී. මේ අතර අප මෙයට පෙර පවා සාකච්ඡා කළ වයඹ පළාතේ නාකොළගනේ වනාන්තර විනාශය අඛණ්ඩව සිදුවන අතර ඒ සඳහා ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව පරිසරවේදීහූ පවසති. භික්ෂුන් වහන්සේ දෙදෙනකු එකතු වී කරනු ලබන මේ ඉඩම් ජාවාරම නිසා නාකොළගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි පවසමින් අක්කර 4500ක් බදුදීමේ කටයුතු මේ වන විටත් සිදුවේ.
හෙක්ටයාර 481600 ක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් ස්වාභාවික වනාන්තර ලෙස පවතින්නේ හෙක්ටයාර 66228 ක පමණි. එය දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 14% ක් පමණි. මෙසේ සැලසුමකින් තොරව කෙරෙන වනාන්තර එළිකිරීම නිසා ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම උග්‍රවෙමින් පවතින බව පරිසරවේදීන්ගේ මතයයි.
මේ ඉඩම් ජාවාරම ගැන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිලි කළත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නැති බව ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කර සිටී.
නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි රජයේ වනාන්තර ඉඩම් ඇතුළුව ජනතාව වගා කළ බිම් අත්පත් කරගෙන නාකොළගනේ රජමහා විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදුදීමට කටයුතු කිරීම සිදුවේ. ඒ මහා පරිමාණ වගා බිම් සහ ව්‍යාපාර කටයුතු සඳහායි. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23 වගන්තිය මෙන්ම කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්ක අයත් වන වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන 1990 අංක 12 දරන වයඹ පළාත් පාරිසරික ප්‍රඥප්තියේ වගන්ති උල්ලංඝණය කිරීමක්ද මෙහිදී සිදුවේ.
මේ වන ජාවාරම නිසා අලි ඇතුන්ට සිදුවන හානිය ගැන සඳහන් කළ ජෛව විවිධත්ව සංරක්ෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ්:
''පසුගිය 2022 වර්ෂය තමයි ලංකාවේ වැඩිම අලි මිනිස් ගැටුමක් සිදුවූ අවුරුද්ද විදිහට වාර්තා තබා ඇත්තේ. අලි ඇතුන් 435ක් වගේම අලි පහරදීම් නිසා මිනිස් ජීවිත 145ක් අහිමි වුණා. මේ වන විනාශය සිදුවන පාළුකඩවල වැව් ඉහත්තාව විශාල වශයෙන් අලි සැරිසරන අලිමංකඩක්. වනාන්තර විනාශ වුණාම අලි ඇතුන් ගම්වලට වැදිලා බවභෝග වනසනවා. මේ ඉඩම් ලබාගත් ව්‍යාපාරිකයන් ඉඩම් වටා පෞද්ගලිකව විදුලි වැට ඉදිකරගෙන තිබෙනවා. මේ නිසා අලි ඒ ඉඩම් මඟහැරලා ගමට ප්‍රහාර එල්ල කරනවා. මේ වනවිට කුරුණෑගල තවත් පුරාණ විහාර කිහිපයකත් ඉඩම් බදුදීමේ ජාවාරම සිදු වෙනවා.''
ලංකාවේ බොහෝවිට සිදුවන පරිදි හොරකමින් වාර්තා තැබූ ජාතික මට්ටමේ දේශපාලනඥයන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ද ආශිර්වාදය ඇතිව මෙම ජාවාරම ක්‍රියාත්මක වේ.
ප්‍රදේශයේ ගැමියකු වන ප්‍රියන්ත හේරත් මේ සිද්ධිය නිසා සිදුවන ප්‍රතිවිපාක දකින්නේ මේ අයුරිනි:
''මේ සිද්ධිය පිටුපස ඒවාට සහයෝගය දක්වමින් රාජ්‍ය නිලධාරින් ඉන්නවා. ඒ නිලධාරින්ට එරෙහි වන්නට අහිංසක ගැමියන්ට හැකියාවක් නෑ. එහෙම වුණොත් සමෘද්ධිය කැපීම, ගෙදරට විදුලිය ලබාගැනීම අවහිර කිරීම වගේ දේවල් කරනවා. මේකට මුලින්ම රාජපක්ෂ ආණ්ඩුවේ සහයෝගය ලැබුණා. දැන් ඉන්න පාලනයත් ඒකට සහයෝගය දක්වනවා. ඉස්සර අලි අපේ ගම්වලට ආවේ නෑ. දැන් ගම්වලට වන අලි තර්ජන.''
අවට පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරීන් ද මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රුකවරණය ලබා දෙන බව ගැමියෝ පවසති. මෙහිදී රජ කාලයේ දුන් බව පවසමින් ව්‍යාජ සන්නසක් ද ජාවාරම්කරුවන්ට රාජ්‍ය නිලධාරින් ලබා දී ඇති බව පැවසේ.
මේ ගැන අදහස් දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර:
''ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අවසාන ගම් සිතියම් පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ සන්නස් ඉඩම් මෙම ප්‍රදේශයේ නොමැති බවයි. පුරාවිද්‍යා වටිනාකමක් සහිත රජ සමයේ දුන් සන්නසක් දකින්නත් නැහැ. නින්දගම් ඉඩම් බවට තහවුරු කළ හැකි කිසිදු නීත්‍යානුකූල ලේඛනයක් අපට හමුවුණේ නැහැ.
පවතින වනාන්තර ඉඩම් රජයට අයත් වන බවයි අපට තහවුරු වුණේ. මේ සියලු තොරතුරු දන්නා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ග්‍රාම නිලධාරීවරුන් සමඟ එකතු වී සැබෑ තොරතුරු ජනතාවගෙන් සඟවා තිබෙනවා. හාමුදුරුවරුන්ට ඉඩම් ජාවාරම අඛණ්ඩව සිදු කිරීමට සහාය ලබා දෙනවා. මේ වන විටත් වනාන්තර රාශියක් විනාශ වී ඇති බව නාකොළගනේට යන ඕනෑම කෙනකුට දකින්න පුළුවන්.
බදු දීම සිදු කරන ඉඩම් පිළිබඳව කරුණු සොයා බැලීමේදී අපට තහවුරු වූයේ මෙම ඉඩම් මී ඔය ව්‍යාපාරය සඳහා කලකට පෙර අත්පත් කරගත් ඉඩම් බවයි. මීඔය වාරි ව්‍යාපාරය පටන් ගත්තේ 1948 වසරේ දී පමණ හිටපු අගමැති ඩී.එස්. සේනානායක විසින්. මී ඔය හරස් කර ඉදි කර ඇති අඹකොළ වැව, අතරගල්ල වැව හා පාලුකඩවල වැව පුළුල් කිරීමෙන් ආරම්භ කළ මේ වාරි ව්‍යාපාරය යටතේ ගොවි ජනතාවට ඉඩම් ලබා දීම 1953 වසරේ දී ආරම්භ කර තිබෙනවා.
මීඔය ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් තුනට අමතරව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් තුනට ද ජලය සැපයෙනවා. මේ සියලු වැව්වලින් අක්කර 4000 ක පමණ කුඹුරු ඉඩම් වගා කරනවා. මෙම වැව් යටතේ අදටත් ගොවි පවුල් 1000 ක් පමණ වගා කටයුතුවල නිරත වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම නීති විරෝධී ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අප අවධාරණය කරනවා.''
2014 වසරේ දී සජීව චාමිකර විසින් මෙම වනාන්තරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳව සිදු කළ කෙටි අධ්‍යයනයකදී පක්ෂි, උරග, ක්ෂීරපායී හා සමනලුන් යන සත්ත්ව කාණ්ඩ 4ට අයත් විශේෂ 118 ක් වාර්තා කිරීමට හැකිව තිබේ. ඒ අතර ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ 5ක් වාර්තා කිරීමට හැකි විය.
පාරිසරිකව වැදගත් වනාන්තර මෙන්ම පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන රැසක් ද මෙම ප්‍රදේශයේ පවතී. නාකොළගනේ රජමහා විහාරය, ගුරුගොඩයාය මෙගලිතික සුසානය, වෙහෙරගල, කරගස්සන රජමහා විහාරය හා ආඩිගම - කිරිබත්පැලැස්ස පුරාවිද්‍යා ස්ථාන මෙන්ම වනාන්තර තුළ කටාරම් සහිත ගල් ලෙන් රැසක්ම පවතී.
ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම උග්‍ර දිස්ත්‍රික්ක අතුරින් ප්‍රධාන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. 2011 වසරේ දී ප්‍රකාශයට පත් කළ මෙරට අවසන් අලි - ඇතුන් සංගණනයේ සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය අයත් වන වයඹ පළාතේ අලි - ඇතුන් 1189 ක් පමණ ජීවත් වන බව හෙළි වී තිබේ. එය ලංකාවේ වාර්තා වන සමස්ත අලි - ඇතුන් ප්‍රමාණයෙන් 20% කි. එම සතුන්ට වාසස්ථාන සපයන වනාන්තර හා තෘණ භූමි ඉතිරි වී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයකි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම අලි - මිනිස් ගැටුම පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන්නේ ගල්ගමුව හා ඇහැටුවැවයි. මෙම වනාන්තර ජාවාරම සිදුකෙරෙන ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලි - ඇතුන්ගේ වාසස්ථාන ලෙස පවතින වනාන්තර ප්‍රදේශ ඉතිරිව ඇත්තේ මුළු භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණි. එහි වනාන්තර ආවරණය දක්නට ලැබෙන්නේ හෙක්ටයාර 4760 ක භූමි ප්‍රමාණයක පමණි. ඒ අතුරෙන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලැබී ඇත්තේ වනාන්තරවලින් 40% ක පමණ ප්‍රමාණයකට පමණි. ඉතිරි බොහෝ වනාන්තර නීතිමය රුකවරණයක් නොමැති රජයේ රක්ෂිත පමණි. ඒවා නිරන්තරයෙන් එළිපෙහෙළි කිරීම්වලට ලක්වන බව නොරහසකි. මෙම වනාන්තර එළිකිරීම් නිසා සිදුවන අවසාන ප්‍රතිඵලය අලි - මිනිස් ගැටුම තව තවත් ඉහළ යාම පමණි.
මේ වන විට බදු වශයෙන් ලබාගත් සියලුම වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ඇති අතර විදුලි වැටවල් යොදා අවසන්ය. මේ නිසා පාලුකඩවල වැව ඇතුළුව අලි - ඇතුන්ගේ වාසස්ථාන හා ගොදුරු බිම් වෙත පිවිසීමට ඇති අවස්ථා උන්ට අහිමි වී ගොසිනි. මේ අතර ගැමියෝ ජල හිඟයෙන් පීඩා විඳින අතර වන අලි අවදානම නිසා බියෙන් කල්ගත කරති. ජනතාවට බුදු බණ කියනු වෙනුවට ඉඩම් බදු දෙමින් මුදල් ගොඩගැසීමට බුද්ධ පුත්‍රයන් පෙළඹීම ඛේදවාචකයකි.
I කුසුම්සිරි විජයවර්ධන