2023 ජනවාරි 15 වන ඉරිදා

බිත්තරවලට වෙච්ච දේ!

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 112

ශ්‍රී ලංකාව තුළ මේ වන විට බිත්තරවල මිල ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ජනතාව විශාල අර්බුදයකට මුහුණ පා සිටිති. නමුත් මෙරට කුකුළු කර්මාන්තය රාජ්‍ය නියාමනයක් සහිතව පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ඍජු මැදිහත්වීම හමුවේ ඉතා දියුණු තත්ත්වයක පැවැති කර්මාන්තයකි. එය ඍජු හෝ වක්‍ර ලෙසින් ස්වයංරුකියා ලක්ෂ ගණනක් උත්පාදනය කරමින් රටේ ආර්ථිකයට මහත් ශක්තියක් වී තිබේ.

''2020 වසර වෙද්දි ඒකපුද්ගල බිත්තර පරිභෝජනය මිලියන 133කට වැඩි අගයක තිබුණා. ඒ අනුව එක් පුද්ගලයෙක් අවුරුද්දකට බිත්තර එකසිය තිස් තුනකට වඩා පරිභෝජනය කළා. ඒ අවුරුද්දෙ තමයි වාර්තාගත ලෙස බිත්තර නිෂ්පාදනය සිදු වුණේ. ඒ අනුව මිලියන 2934 කට වඩා වැඩි අගයකින් බිත්තර නිෂ්පාදනය වුණා. එය බිලියන තුනකට ආසන්න ප්‍රමාණයක්. මෙය කාලයක් තිස්සේ වර්ධනය වුණු කර්මාන්තයක්. මෙය මේ තරම් දියුණු තත්ත්වයට ගෙන ඒමට පෞද්ගලික අංශය විශාල ලෙස මැදිහත් වුණා. නමුත් මේ සඳහා රාජ්‍ය නියාමනයක් ද තිබුණා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම, ඔවුන්ගේ අධීක්ෂණය, මගපෙන්වීම මේ සඳහා ලැබුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේ ඍජු මැදිහත් වීම මේ සඳහා තිබුණා. ඒ වගේම පෞද්ගලික අංශයේ පශු වෛද්‍යවරුන් හා තාක්ෂණික අංශයේ නිලධාරින්ගේ මගපෙන්වීමද මේ කර්මාන්තයට ලැබුණා.'' යැයි ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති පශු වෛද්‍ය උෂාන් පල්ලේගම මහතා දේශයට අදහස් දැක්වීය.

බිත්තරවලට අමතරව 2020 වසරේදී කුකුළු මස් මෙට්‍රික් ටොන් 236,000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය වූ අතර මෙමගින් ජනතාවට අවශ්‍ය වූ ප්‍රෝටීන වැඩි වශයෙන් ලබා දෙමින් රජය වාර්ෂිකව රුපියල් බිලියන විස්සකට අධික වූ ඍජු බදු ආදායමක් ද උපයනු ලැබීය.

එහෙත් ගෙවුණු 2022 වසරේදී බිත්තර කර්මාන්තයට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය. රට තුළ කුකුළු ආහාර නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් පැවතිණි. රටෙහි ඇතිවූ ඩොලර් හිඟයත්, ඩොලරයේ අගය අධික ලෙස ඉහළ යාමත්, ආනයන සීමා කිරීමත් හේතුවෙන් කුකුළු කර්මාන්තයට දැඩි තර්ජනයක් එල්ල විය. කුකුළු ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය මෙන්ම අමුද්‍රව්‍ය මිල දැරිය නොහැකි ලෙස ඉහළ යාම හමුවේ බොහෝ සුළු පරිමාණ හා ඇතැම් මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ සිය ව්‍යාපාරවලින් ඉවත් වූහ. මේ නිසා ව්‍යාපාර ධාරිතාවේ අඩු වීමක් දක්නට ලැබිණි. පොහොර අර්බුදය හා දේශීය බඩඉරිඟු නිෂ්පාදනය අඩාල වීම නිසා මෙම අර්බුදය තවත් උග්‍ර විය. එයින් සිදු වූයේ බිත්තරවල මිල අධික ලෙස ඉහළ යාමය. බිත්තර හිඟයක් ද ඇති විය.

රට තුළ සිටින සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයන් සියල්ලෝම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්තවලට ඇතුළු නොවෙති. මේ නිසාම නිෂ්පාදනයේ කඩා වැටීමේ නිවැරදි අගයක් ගණනය කළ නොහැක. සමස්තයක් ලෙස කුකුළු ගොවිපොළ සහ එහි නිෂ්පාදන ධාරිතාව අඩු වීමක් දක්නට ලැබිණි. ඒ අනුව 2022 වසරේ මැද භාගයේ සිට එම වසර අග දක්වා බිත්තර නිෂ්පාදනය 40% - 50% ආසන්න අගයකින් අඩාල විය. ඒ අනුව පරිභෝජනය ද ඊට සමානුපාතිකව පහළ ගියේය. එහෙත් පසුගිය දින කිහිපය තුළදී බඩඉරිඟු සහ සත්ව ආහාර ලැබීම හේතුවෙන් නිෂ්පාදනය තරමක් දුරට ඉහළ ගොස් තිබිණි.

බිත්තර නිෂ්පාදනය අඩාල වීමට බලපෑ තවත් හේතුවක් වන්නේ බිත්තර දමන කිකිළි පැටවුන් කුකුළු ගොවිපොළවලට ලැබීමේ අඩුවක් දක්නට ලැබීමය. මව් සමාගම් විසින් බිත්තර දමන කිකිළි පැටවුන් නිසියාකාරව ලංකාවට ආනයනය කර නොතිබිණි. බිත්තර දමන කිකිළි පැටවුන් සඳහා වෙළෙඳපොළේ ඉල්ලුමද තරමක අඩුවක් දක්නට ලැබිණි.

''පසුගිය කාලෙදි බිත්තර දමන කිකිළි පැටවුන් සඳහා ගොවීන් අතරේ ඉල්ලුම අඩු වුණා. එයට ප්‍රධාන හේතුව වූයේ දමන ලද පාලන මිල හේතුවෙන් බිත්තර ගොවීන්ට තම නිෂ්පාදන විකුණා ගැනීමට නොහැකි වීමයි. පාලන මිලේ කිසිදු සාධාරණයක් තිබුණේ නැහැ. ඒ වෙද්දිත් නිෂ්පාදන මිලම රු. 48 - 49 පමණ වුණා. ඒ නිසා හතළිස් තුනට පාලන මිලක් යෙදීම සාධාරණ නැහැ. එවැනි කරුණු හේතුවෙන් බිත්තර දමන කුකුළන් ඇති කරන ගොවීන් මව් සමාගමකින් පැටව් ලබාගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මව් සමාගමකින් පැටව් ලබාගැනීමට මාස හයකට පමණ පෙරවත් ඇණවුමක් ලබා දිය යුතු වෙනවා.'' යැයි ද පශු වෛද්‍ය උෂාන් පල්ලේගම මහතා වැඩිදුරටත් පැවසීය.

ඇතැම් කුකුළු ගොවීහු පසුගිය කාලය තුළ තමන් අත්තිකාරම් මුදල් ගෙවූ බිත්තර දමන කිකිළි පැටවුන් මිලදී ගැනීමට ද උනන්දුවක් නොදැක්වූහ. මෙම ගැටලු ඇතිවීමට පෙර සාමාන්‍යයෙන් බිත්තර දමන කිකිළි පැටවකු රු. 100 – 150 අතර මිලක පැවතිණි. එහෙත් අද වනවිට පැටවුන්ගේ හිඟය සහ අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් බිත්තර දමන කිකිළි පැටවකුගේ මිල රු. 450 දක්වා ඉහළ ගොස් තිබේ. ඇතැම් අතරමැදියන්ගෙන් ඇතැම් ගොවීන්ට පැටවකු රුපියල් 650කටද මිලදී ගැනීමට සිදුව ඇත.

මේ වනවිට රජය බිත්තර ආනයනය කිරීමේ තීරණයකට එළැඹ සිටී. ලංකාවේ බිත්තරයක සහ ආනයනය කරන බිත්තරයක පෝෂණ තත්ත්වයේ වෙනස් නොමැත. බිත්තර දමන කිකිළියන් සියල්ලෝම යම් ආරයකට අයත් කිකිළියෝ වෙති. එහෙත් කිකිළියන්ට ලබා දෙන ආහාර අමුද්‍රව්‍ය අනුව බිත්තරයේ වර්ණය සහ පිලී ගඳෙහි සුළු වෙනසක් පැවතිය හැක. බිත්තරයේ ප්‍රමාණය ද ආරය හේතුවෙන් තරමක් දුරට වෙනස් වන අතර සාමාන්‍යයෙන් කිකිළියන්ට හොඳ ආහාර වේලක් ලැබුණොත් බිත්තරයක ප්‍රමාණය ග්‍රෑම් 55ක් 60ක් පමණ විය හැක. 

බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින පසුබිමක ඉන්දියාව වැනි රටවල කුරුළු උණ ඇතිවීමේ පවතින අවදානම ගැන ද සැලකිය යුතුය. ඒ හරහා බිත්තර ආනයනය හරහා රට තුළට කුරුළු උණ මෙන්ම තවත් රෝග ද පැතිර යාමේ දැඩි අවදානමක් පවතී. මේ වනවිට ලෝකයේ කුරුළු උණ රෝගයෙන් තොර රටවල් අතරට එක්වී සිටීමට ශ්‍රී ලංකාවට ද හැකියාව ලැබී ඇත. එය අගය කළ යුතුය. ශ්‍රී ලංකාව සුළු වශයෙන් හෝ කුකුළු මස්, බිත්තර මෙන්ම සුරතලයට ඇති කරන කුරුල්ලන්, බ්‍රොයිලර් මව් සතුන්, අපනයනය කරන්නේ කුරුළු උණෙන් තොර රටක් බැවිනි.

බිත්තර අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් යුතු ආහාරයකි. බිත්තරයක පෝෂණයට සම කළ හැකි ස්වභාවික ආහාරයක් නැති තරම්ය.

''මේ දිනවල බිත්තරවල පවතින මිල ඉතා අසාධාරණයි. ඒවා සාධාරණව ජනතාවට ලබා දීමට රජය හෝ කවුරුන් හෝ මැදිහත් විය යුතු වෙනවා. ආනයනය කරද්දී කුරුළු උණ රට තුළට ඇතුළු වුණොත් ආපසු ලංකාවේ බිත්තර කර්මාන්තය ගොඩනගන්න සෑහෙන කාලයක් ගතවේවි. %කුරුළු උණෙන් නිදහස් රටක්^ කියන ලේබල් එකත් අපෙන් ගැලවිලා යාවි. මීට අමතරව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව %ගල්ෆ් කන්ට්‍රි කෝපරේෂන්^ සංවිධානයට අයත් රටවල වෙළෙඳපොළ සඳහා කුකුළු මස් සපයන රටක් ලෙස ලියාපදිංචි වීම සඳහා කටයුතු කරමින් පවතිනවා. එවැනි විශාල අන්තර්ජාතික වෙළෙඳපොළක් විවෘත කර ගැනීම හරහා මෙම කර්මාන්තය තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව පවතිනවා.'' ඔහු කියයි.

බිත්තර මෙන්ම කුකුළු මස් මිලද ඉහළ ගොස් තිබේ. එයට ද හේතු වී ඇත්තේ සත්ව ආහාරවල මිල ඉහළ යාමයි. නිෂ්පාදන මිලෙන් 80%ක් වෙන්වන්නේ සත්ව ආහාර සඳහාය. එමෙන්ම ප්‍රවාහනයේදී ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඖෂධ මිල ආදී සියල්ලෙහිම මිල වැඩිවීම දරාගැනීමට ද සීමාවක් තිබේ. පසුගිය කාලයේ කුකුළු මස් කිලෝවක් රු. 1500 – 1600 අතර මිලකට ඉහළ ගියේය. මේ වනවිට කුකුළු මස් කිලෝව රු. 1000 – 1150 දක්වා මිලකට අඩු වී තිබේ. එලෙස මිල අඩුවීමක් සිදු වූයේ වියදම  අඩුවීම නිසා නොවේ. මිල වැඩි වූ විට කුකුළු මස්වලට ඉල්ලුමක් තිබුණේ නැත. බොහෝ ජනතාව කුකුළු මස් මිලදී ගැනීම නතර කළහ. මහා පරිමාණ නිෂ්පාදකයන්ගේ ධාරිතාවය ඉක්මවා ගියේය. තවදුරටත් ඒවා තබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුහු මිල අඩු කළහ. ජනතාවට දැරිය හැකි මිලක් තිබිය යුතුය. එය අවබෝධ කර ගැනීම වැදගත්ය.

මේ වනවිට ආනයනික සත්ව ආහාර සඳහා විශාල බද්දක් අය කරයි. එම බදුවලට යම් සහනයක් ලබා දිය හැකි නම් කුකුළු මස් හා බිත්තර මීට වඩා අඩු මිලකට ජනතාවට ලබා දිය හැකි බව ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති පශු වෛද්‍ය උෂාන් පල්ගේගම මහතා වැඩිදුරටත් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04