2023 ජනවාරි 15 වන ඉරිදා

විදුලිය උත්පාදනයේදී රටට වැරදුණු තැන්

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 49

විදුලිය බිල වැඩිකිරීම කෙරෙහි විදුලිය බල අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත. විදුලිය බල මණ්ඩලයේ අලාභ අඩු කිරීම රජයේ ඉලක්කය වී තිබේ. මණ්ඩලය ඇතුළු රජයට අයත් ආයතනවල අලාභ අවම කරන අතර ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගත කරන්නට සිදුවී ඇති අතර එය පවතින අර්බුදයෙන් ගැලවෙන පියවරකි. ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීමක්ද ඇත. අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු කරන තෙක් තාවකාලික ණය සංචිතය සැපයීමට බාධා සිදුවී ඇති බව පෙනේ. කෙසේ වෙතත් විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව කෙරෙහි රට තුළ විරෝධතාවයක් පවතී. නියාමන කොමිසම ප‍්‍රසිද්ධියේ කරුණු දක්වන පරිදි විදුලිය ගාස්තු වැඩි කිරීමකට අනුමැතිය දෙන සූදානමක් නැත. විදුලිය පාරිභෝගිකයන්ද ගාස්තු වැඩිකළහොත් මුහුණ දෙන්නට සිදුවන ඉරණම ගැන කනස්සල්ලකින් පසුවේ.

විදුලිය ගාස්තු වැඩි කරන්නට සිදුවී ඇත්තේ ඇයි? විදුලිබල අමාත්‍යවරයා දක්වන පරිදි ඒකකයක නිෂ්පාදන මිල රු.56.90 කි. මෙම නිෂ්පාදන මිල ආවරණය කරන මිල සංශෝධනයකින් හැර පැවැත්මක් නැති බව විදුලිබල අමාත්‍යවරයා සඳහන් කරයි. ඛනිජ තෙල් හා ගල් අඟුරු ආනයනය වැඩිම වියදමක් දරන අංශ බව දැක්වෙන අතර විනිමය අනුපාතිකය අනුව විදුලිය උත්පාදන පිරිවැය දිනෙන් දින වැඩිවන අවදානමක් ද ඇත. ගාස්තු වැඩි කිරීම ගැළපෙන පිළිතුරක් නොවන බව පැහැදිලිව පෙනේ. නිපදවන මිලට විදුලිය විකිණීම වෙනුවට විකිණිය හැකි මිලකට විදුලිය උත්පාදනය අරමුණ විය යුතුය.

• බිල වැඩි කිරීම උත්තරය නොවේ

විදුලිය බල මණ්ඩලය පසුගිය වසරේ අගොස්තු මාසයේදී විදුලිය බිල වැඩි කළේය. එය දැවැන්ත මිල නැංවීමකි. විදුලිය සම්බන්ධ ඒකාධිකාරයක සිටින මණ්ඩලය ගන්නා තීරණවලට අනුගතවීමට සාමාන්‍ය ජනතාවට සිදුවේ. පසුගිය මිල සංශෝධනයෙන් සෑහීමකට පත් නොවන බලධාරීහු නැවතත් මිල නැංවීමකට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් දරාගත නොහැකි තරමට ඉහළ නැග ඇති අවස්ථාවක විදුලිය බිල විශාල ප‍්‍රශ්නයකි. අඩුම තරමින් මහජනතාවට දරාගත හැකි පරිදි පියවර කිහිපයකින් වැඩි කළ හැක. මණ්ඩලයේ මුදල් තත්ත්වය සමාලෝචනය කරන, වියදම් අඩු කරන යෝජනා ගැන සලකා බැලිය යුතුය. වාර්තාවන පරිදි දැවැන්ත අලාභ වාර්තාකරන මණ්ඩලය සිය සේවකයන්ට ප‍්‍රසාද දීමනා ගෙවා ඇත. උපයන විට ගෙවිය යුතු බදු මණ්ඩලයෙන් ගෙවන්නට සූදානම් වේ. මෙවැනි පියවර මගින් ආයතනික පිරිවැය තවත් වැඩිවන බව පෙන්වා දිය යුතුය. සියලු බර සාමාන්‍ය ජනතාව ගෙවන බිල්පතට එකතු වේ. 

අලුත් වාර්තා දක්වන පරිදි ජනවාරි හා පෙබරවාරි මාසවල ගල් අඟුරු ආනයනයට රු. බිලියන අසූවක් අවශ්‍යය. ආයතනයේ දැනට ඇති මුදල් අනුව ගෙවිය හැකි මුදල එයින් හරි අඩක් පමණ වේ. ගල් අඟුරු නොලැබුණහොත් විදුලිය කපාහරින්නට සිදුවේ. දැනටමත් උත්පාදනය ප‍්‍රමාණවත් නැත. දිනකට පැය දෙක ඉක්මවන විදුලිය කපා හැරීමක් කරයි. පසුගියදා මත්පැන් හා දුම්කොළ බද්ද වැඩි කළේය. රජය එයින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන විසි දෙකකි. ගල් අඟුරු ආනයනය හා මත්පැන් හා දුම්කොළ බද්දෙන් ලැබෙන ආදායම සසඳන පසු විදුලිය නිපදවීම සඳහා කරන වියදම ගැන අදහසක් ලැබේ. දැවිතෙල් ලීටරයකින් නිපදවිය හැකි විදුලිය ඒකක ප‍්‍රමාණය අටකි. ඛනිජ තෙල් ආනයනයෙන් සියයට විසි පහක් විදුලිය උත්පාදනය සඳහාය. තෙල් හා ගල් අඟුරුවලට ගෙවන ධනය අතිවිශාල මුදලකි. විදේශ විනිමය ප‍්‍රශ්නයක්ව තිබියදී මෙවැනි අනුචිත උපාය මාර්ග තවදුරටත් අනුගමනය කිරීම සුදුසු ක‍්‍රියාවක් නොවේ. මණ්ඩලයේ පිරිවැය අඩු නොකරන අතර විදුලිය නිපදවීම සඳහා දරන පිරිවැය පාලනය නොකරන බලධාරීහු මෙම සියලු බර සාමාන්‍ය ජනතාව මත පැටවීම සාධාරණීකරණය කළ නොහැක.

• පුනර්ජනනීය විදුලිය

ජාත්‍යන්තර ප‍්‍රජාව බලශක්ති පිරිවැය ගැන පුළුල් අවධානයක් යොමුකරයි. විදුලිය නිපදවන වියදම වැඩිවන අතර එය කෙලින්ම නිෂ්පාදන සාධක කෙරෙහි බලපාන ප‍්‍රශ්නයකි. විදුලිය මිල අනුව පාරිභෝජනය කරන සියලුම දේ මිල ඉහළ යෑම වැළැක්විය නොහැක. අලුත් පර් යේෂණවල නිරතවන අංශ පරිසර සාධක පමණක් නොව පිරිවැය අඩු බලශක්ති උත්පාදනයකටද මාර්ග සැලසුම් සකස් කරති. ජාත්‍යන්තර බලශක්ති වාර්තාව අනුව 2020 වසරේදී ලෝකයේ පුනර්ජනනීය විදුලිය යෝජනා ක‍්‍රමයේදී විදුලිය නිපදවීම සඳහා වැය වන මුදල සාමාන්‍ය ඒකක මිලට වඩා සියයට හැට දෙකකින් අඩු වී ඇත. ජලය, සූර්ය බලය, සුළඟ හා හයිඩ‍්‍රජන් යනාදී ප‍්‍රභව භාවිත කර නිපදවන විදුලිය අඩුම ඒකක පිරිවැය බව සොයාගෙන තිබේ. දියුණුවන ආර්ථිකයක් ඇති රටවල පුනර්ජනනීය ක‍්‍රම ඔස්සේ විදුලිය උත්පාදනය සඳහා දරන වියදම 2020 වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 156 කින් කපා හැර ඇත. මෙම වාර්තා ලෝක ආර්ථික සංසද වෙබ් අඩවියෙහි තිබේ. මෙහි වැඩි දුරටත් දක්වන පරිදි ගිගාවොට් 800ක ගල් අඟුරු බලාගාරයක් නඩත්තු කිරීමට වඩා සූර්ය හෝ සුළං තාප බලාගාරයක් අලුතින් ඉදිකිරීම ලාබදායකය. අපට කල්පනා කළ හැකි දේ මෙම ඉලක්කම්වල ඇත.

මෙහිදී සලකා බැලිය යුතු අනෙක් වැදගත් කරුණ කුමක්ද? කලින් වසරට වඩා 2020 අවුරුද්දේ දී සූර්ය කෝෂවල විකිණුම් මිල සියයට දහසයකින් පහතට වැටී ඇත. තාක්ෂණය වේගයෙන් දියුණු වී ඇත. තාක්ෂණය දියුණුවන අතර පිරිවැය අඩුවන සූර්ය කෝෂ භාවිතා කිරීම වේගයෙන් ප‍්‍රචලිතවෙමින් තිබේ. ගොඩබිම ඉදිකරන සුළං බලාගාරයක් සඳහා දරන්නට සිදුවන වියදම සියයට දහතුනකින්ද, මුහුදේ ඉදිකරන සුළං බලාගාරවල වියදම සියයට නමයකින්ද අඩු වී ඇති බව සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණකි. සුළං බලාගාර කුලුනු මත ඉදිකරන දැවැන්ත පෙතිවලින් සමන්විත වන අතර සුළඟ හමන දිසාව අනුව යොමු වී නිරන්තර උත්පාදනයෙහි යෙදේ. ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක මෙවැනි සුළං බලාගාර ඇත. හම්බන්තොට හා අඹේවෙල ඇති මෙම උත්පාදන අංශවලින් සුළං විදුලිය උත්පාදන සියයට එකකට අඩුය.

• අඩු මිලට නිපදවා සුළු මිලකට විකිණීම

ශ‍්‍රී ලංකාවේ විදුලිය අවශ්‍යතා සඳහා දැනට උත්පාදනය කරන ප‍්‍රමාණය මෙගාවොට් 4,600කි. වාර්ෂිකව සියයට 7.5ක ඉල්ලුමක් දැනට අනාවරණය වේ. වසර 2025 වන විට එය සියයට පහක ප‍්‍රතිශතයක ස්ථාවර වනු ඇති බව දැක්වේ. කොවිඩ් වසංගත තත්ත්වය සමඟ රට තුළ ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් කර්මාන්ත හා ව්‍යාපාර අඩපණ වූ අතර බලශක්ති ඉල්ලුම පහත වැටිණ. එය තාවකාලික වාසියකි. ඉදිරියේදී තවත් විදුලිය අවශ්‍ය වනු ඇත. කොළඹ වරාය නගරය සඳහා දැනට කොළඹ නගරය භාවිත කරන විදුලිය හා සමාන අවශ්‍යතාවක් ඇතිවේ. එහි යටිතල පහසුකම් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කරන්නට රජයට සිදුවනු ඇත. විදුලිය සැපයුමද එයට ඇතුළත්ය. මෙවැනි තීරණාත්මක පසුබිමක් තුළ රටට කළ හැක්කේ කුමක්ද?

ඉන්දියාව කරන ලද පර් යේෂණයකට අනුව මන්නාරම හා අවට සුළං බලාගාර ඉදිකළ හැක. එහි නිපැයුම් ධාරිතාව මෙගවොට් තිස් දහසකි. අලුත් ආයෝජනයක් කළහොත් රටට දැනට උත්පාදනය කරන ප‍්‍රමාණය මෙන් හය ගුණයක් විදුලිය නිපදවිය හැකිය. ඒකකයක් නිපදවීම සඳහා රුපියල් දෙකකට නොවැඩි බව දැක්වේ. දැවැන්ත විරෝධතා අවසානයේ ඉන්දීය සමාගමකටට සුළං බලාගාරයක් සඳහා අනුමැතිය ලැබී ඇත. එය මෙගවොට් 500කි. එවැනි ආයෝජනයකින් දැනෙන බලපෑමක් සිදුනොවේ. සුළං බලාගාර ඉදිකරන්නට රටට ධනය නැත. මෙගවොට් එකක විදුලිය උත්පාදනයක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ යොදවන්නට සිදුවේ. රටට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගන්නට නොහැකි තරමට විනිමය හිඟ ශ‍්‍රී ලංකාව මෙවැනි දැවැන්ත ආයෝජනයක අපහසුව නොදන්නවා නොවේ. 

• පාලකයන්ද, විරුද්ධ මතධාරීන්ද වගකිව යුතුයි

විදුලිය නිපදවන අලුත් ව්‍යාපෘති සඳහා අනුගත නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පමණක් නොව විරුද්ධ මතධාරී කණ්ඩායම්ද වගකිව යුතුය. ඉන්දියානු ආධාර ඇති ගල් අගුරු බලාගාරයක් සාම්පූර්හි ඉදිකරන්නට යෝජනා වූ අතර පසුව එය ද්‍රව ගෑස් බවට හැරවීය. අවුරුදු දහයකට වඩා කාලයක් එයට ගතවී ඇත. මුතුරාජවෙල බලාගාරයක් ඉදිකිරීමට එල්ල වූ විරෝධතා අද විදුලිය හිඟයෙන් සිටින රටට මතකද යන්න සැක සහිතය. නිසි අවස්ථාවේ දී ආයෝජනය කර නිසි ප‍්‍රතිඵල නෙලා ගත යුතුව තිබේ. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා ජාතික සම්පත් ආරක්ෂා කරන  බව කියන බලවේග ජනතාව මුහුණ දී ඇති දැවැන්ත විදුලිය මිල වැඩි කිරීමේ කර්තව්‍යයෙහි කොටස්කරුවන්ය. අලස නිලධාරීන් එම දුබලතාව තවත් තර කරන ලද බලවේගයකි. අඩුම තරමින් සුර්ය විදුලිය යෝජනා ක‍්‍රමවලට පවා එකගත්වය පළ කළේ නැත. ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන පනහක් පළමු පියවර වශයෙන් සූර්ය විදුලිය සඳහා නිකුත් කළ අතර එහි සාර්ථකත්වය මත තවත් ණය ආධාර සපයන්නට කැමැති වී සිටියේය. එම පහසුකම අනුව සියයට හතරක පොලී අනුපාත යටතේ විදුලිය පාරිභෝගිකයන්ට සූර්ය කෝෂ විදුලිය ලැබුණි. දැන්න එය නතර කර තිබේ. ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 100ක් සූර්ය තාප විදුලිය සඳහා ආධාර සපයන්නට යෝජනා කර ඇත. එය ප‍්‍රයෝජනයට ගෙන නැත. මේවාට හේතු පැහැදිලි නොවේ. අලුත් වාර්තා අනුව විහාරස්ථාන වලට ඉන්දීය ආධාර යටතේ සූර්ය කෝෂ විදුලිය සැපයේ. පැසසුම් කටයුතු අදහසකි. තවදුරටත් ව්‍යාප්ත කළ යුතුය.

සූර්ය කෝෂ තාක්ෂණය නිවාස හා කර්මාන්තවලට ලබාගත හැකි පරිදි සහන දෙන අතර සුළං බලාගාර සඳහා මහා පරිමානයෙන් ආයෝජනය කළහොත් මෙරට විදුලිය ඒකකයක මිල රුපියල් දහයකට අඩු මිලකට කැඳවිය හැක. එවැනි දැවැන්ත ප‍්‍රතිසංස්කරණයක් සඳහා විශාල පරිශ‍්‍රමයක් අවශ්‍යය. මතවාදී අරගලයක් අවශ්‍යය කෙරේ. සිස්ටම් චේන්ජ් කරන ලෙස බලකරන ලද මෙරට පොදු ජනතාව අවධාරණය කරන ලද හඬ යටපත් කළයුතු නැත. වෙනසක් කරන්නට නම් අලුත් මාවතකට අවතීර්ණ විය යුතුය. පවතින සම්ප‍්‍රදායෙන් ගැලවෙන මග සොයාගත යුතුව තිබේ. ගාස්තු වැඩි කිරීම නොව අඩුම මිලට විදුලිය උත්පාදනය කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම වර්තමානයේ සිදුවිය යුතු ඉතාම වැදගත්ම කාරණයකි.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04