2023 ජනවාරි 15 වන ඉරිදා

රියැදුරු බලපත අහිමි කරන ලකුණු කපන ක්‍රමය

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 62

සාමාන්‍යයෙන් ලංකාවේ මාර්ග අනතුරු සිදුවන පසුබිමක සෑම වසරකම අවසන් දින කිහිපය හා නව වසරේ මුල් දින කිහිපය ඇතුළත මාරක රිය අනතුරු බහුලව වාර්තා වන බව දැකිය හැකිය. නමුත් මෙවර උත්සව සමයේ මාරක රිය අනතුරු වාර්තා වීම අවම මට්ටමක පැවති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේය. ඊට හේතුව රියැදුරන් සහ පදිකයන්ගේ විනය හා දැනුවත් බවට වඩා පවතින ඉන්ධන හා ආර්ථික අර්බුදය නිසා සාද හා ගමන් බිමන් සීමා වීම බව පැහැදිලිය. දෛනිකව මාර්ගයට එකතු වන වාහන ඉහළ ගියත් ප්‍රමාණවත් ලෙස මාර්ග පද්ධතිය සංවර්ධනය වී නැත. එසේ වුවත් රියැදුරන් හා පදිකයන්ගේ නොසැලකිලිමත්කමින් වාර්තා වන මාර්ග අනතුරු ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

පොලිස් දත්ත වාර්තා අනුව රිය අනතුරු හේතුවෙන් වසරකට මිනිසුන් තුන්දහසක් පමණ ජීවිතක්ෂයට පත්වෙති. මෙය ඉතා බරපතළ තත්ත්වයකි. මේ අතර වසරකට රථවාහන වැරදි ලක්ෂ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් පොලිසියට වාර්තා වන බව රථවාහන පොලිසිය වාර්තා කරයි. රිය අනතුරු බහුතරයකට හේතුව බීමත්කම හා අධික වේගය බවද පොලිසිය පෙන්වා දෙයි. ඒ සමඟ රියැදුරන්ට විවේකයක් නොමැතිකම, වෙහෙස සහ නිදිමත බව රිය අනතුරුවලට වැඩි වශයෙන් හේතු වන බවද රථවාහන පොලිසිය අවධාරණය කරයි. මාර්ග අනතුරු නිසා අහිමි වන ජීවිත රුකගෙන අනතුරු වළක්වාලීම පිණිස රථවාහන වැරදි පිළිබඳව දඩ මුදල් සංශෝධනය කොට ඉහළ නැංවීමට පියවර ගැනිණ. එම ක්‍රියාමාර්ගය ගැනුණද ඇතැම් රියැදුරන් දඩ මුදල ගෙවා නැවත නැවතත් එකී වරදම සිදු කරන ප්‍රවණතාවක් ඇතැයි හෙළි වී තිබේ.

මේ තත්ත්වය මගහැර සිදුවන රථවාහන අනතුරු අවම කිරීමේ අරමුණෙන් රියැදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත. ප්‍රවාහන අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කළ ක්‍රමවේදය එළඹෙන මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ රියැදුරන්ට අවාසිසහගත ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙයි. එමගින් රියැදුරු විසින් සිදු කරන වැරදි අනුව බලපත්‍රයේ ලකුණු අඩුවීම සිදු වේ. මේ ආකාරයට ලකුණු අවසන් වීමේදී රියැදුරු බලපත්‍රය අහෝසි වීමට නියමිතය. අදාළ වරද අනුව ලකුණු අහිමි කිරීමට බලය රථවාහන පොලිසිය සතු වේ. 

මෙසේ එක් රියැදුරු බලපත්‍රයක් සඳහා ලැබෙන ලකුණු සංඛ්‍යාව 24 කි. ලකුණු අවසන් වීමත් සමඟ අවලංගු වන බලපත්‍රය ලබාගැනීම සඳහා රියැදුරු නැවත මුල සිට ඉල්ලුම් කළ යුතුව ඇත. මෙම අවාසි සහගත ලකුණු ක්‍රමය තුළ වැරදි 32ක් යටතේ ලකුණු අහිමි වීම සිදුවේ.

වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 10ක් අහිමි වන්නේ අනතුරකට පසුව රථය නතර නොකිරීම, අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම, තුවාල ලැබුවන් වහාම රෝහල්ගත නොකිරීම හෝ වෛද්‍යවරයකු වෙත රැගෙන නොයාම හා ළඟම පොලිසියට අනතුර වාර්තා නොකිරීම යන වැරදි සඳහාය. 150% ට වඩා වැඩි වේගයට (141- වගන්තිය) ලකුණු 8ක් අහිමි කෙරේ. මේ අතර ලකුණු 6ක් අහිමි වන වැරදි අතරට වලංගු රක්ෂණ සහතිකයක් නොමැති බව, රිය පැදවීම (99 වගන්තිය), අධික වේගය (30% - 50%) දක්වා මාර්ග යෝග්‍යතාව නොමැති ආකාරයේ රිය ධාවනය, අපරීක්ෂාකාරී ධාවනය හා නොසැලකිලිමත් ධාවනය අයත් වේ. 20% සිට 30% දක්වා වේගය මත ලකුණු 5ක් අහිමි කිරීම සිදු කෙරේ. නියමිත වේග සීමා කඩ කිරීම (20%), මාර්ග නීතිවලට අවනත නොවීම, වාහනය දිගු දුරක් පස්සට ගැනීම, සුළු අනතුරු ළඟම පොලිසියට වාර්තා නොකිරීම, පොලිස් නිලධාරීන්ගේ උපදෙස් හෝ හස්ත සංඥා අනුගමනය නොකිරීම යන කරුණු අනුව ලකුණු 4ක් අහිමි කිරීම සිදුවෙයි.

මාර්ග නීතිවලට අවනත නොවීම යටතේ නියමිත මංතීරුවේ ධාවනය නොකිරීම, වැරදි ලෙස ඉස්සර කිරීම, ඉස්සර කිරීමට ඉඩ ලබා නොදීම, මංසන්ධියකට අදාළ නීති, එක මාර්ගයක සිට තවත් මාර්ගයකට ගමන් කිරීමට අදාළ නීති 14ක් අනුමත කොට තිබේ. මීට අමතරව නියමිත සංඥා ලබා නොදීම හා වැරදි සංඥා ලබා දීම, (153 වගන්තිය) ජංගම දුරකථන භාවිතය, (152 A වගන්තිය), අනතුර වළක්වා ගැනීම අසමත් වීම (149 වගන්තිය), ආසන පටි නොපැළඳීම (157 වගන්තිය) හා අධික ශබ්දය නිසා අහිමි වන ලකුණු සංඛ්‍යාව 3 කි.

මේ අතර පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර ලබා දීම ලබන මාර්තු මස සිට ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා කීය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වාහන ලියාපදිංචියේදී මෙතෙක් පැවති අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරන බවය. වාහනයක අයිතිය පැවරීමේදී අවශ්‍ය පෝරමය අන්තර්ජාලය හරහා බාගත කිරීමට ඉඩ ලබා දීමට නියමිතය. සෆාරි වාහන ලියාපදිංචියේ වෙනසක් සිදු කරන බවත් වාහන ලියාපදිංචි කිරීම ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් ලංකාව පුරා පිහිටි ගරාජ ශ්‍රේණිගත කොට ලියාපදිංචි කර නියාමනය කිරීමටත් කටයුතු සූදානම්ව තිබේ.

අවාසි සහගත ලකුණු 24 අවසන් වූ වහාම රියැදුරු බලපත්‍රය අවලංගු වීම වළක්වාලිය නොහැක. නැවත වලංගු බලපත්‍රයක් ලබාගත හැක්කේ බලපත්‍රය අවලංගු වී වසරක් ගතවූ පසුවය. එය වඩාත් දුෂ්කර කාලයක් බැවින් ප්‍රවේශමෙන් කල්පනාකාරීව රිය පැදවීම වාසි සහගතව ක්‍රමයයි.

I සමන්ත විල්තෙර