2023 ජනවාරි 15 වන ඉරිදා

රජ පවුලේ කුණු අවුස්සන හැරීගේ පොත

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 67

සිය සොයුරු විලියම් කුමරු තමාට පහර දුන්නේ යැයි හැරී කුමරු ප්‍රකාශ කළ බවට ගාඩියන් පුවත්පත වාර්තා කොට තිබේ. ගාඩියන් පුවත්පත පවසන්නේ සසෙක්ස් ආදිපාද හැරී කුමරුගේ මතක සටහන් අඩංගු ‘ස්පෙයා’ හි (Spare) නම් කෘතියේ පිටපතක් ඔවුන් දුටු බවයි.

හැරීගේ බිරිඳ මේගන් සම්බන්ධයෙන් සොහොයුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් කෘතියෙහි වන බව එහි වැඩිදුරටත් සඳහන්ය.

“ඔහු මගේ කමිස කොළරයෙන් අල්ලගෙන, මගේ බෙල්ලේ පළඳනාව ඉරලා, මම බිම වැටෙන විදියට පහර දුන්නා." ගාඩියන්, හැරී කුමරුන් උපුටා දක්වා තිබේ.

කෙසේ වෙතත් කෙන්සිංටන් මාලිගාව හා බකිංහැම් මාලිගාව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

‘ඕනෑම මතභේදාත්මක ප්‍රකාශයකට ප්‍රතිචාරයක් නොදැක්වූ විට එය වේගයෙන් අතුරුදන් වනු ඇතැයි’ යන උපාය මාර්ගය වත්මන් වේල්ස්හි කුමරු වන විලියම්ගේ හා තුන්වැනි චාල්ස් රජුගේ මාලිගය විසින් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ අතර ITV සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක පුර්ව ප්‍රචාරක පටයක දර්ශනවල, මැයි මාසයේදී පැවැත්වෙන රජුගේ රාජාභිෂේකයට සහභාගී වීමට පොරොන්දු වීම හැරී ප්‍රතික්ෂේප කර ඇති බව දක්නට ලැබුණි.

“අදත්, ඒ දවස අතරත් බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්." පවසන ඔහු, “බෝලය තියෙන්නේ රාජකීය පවුලේ පිටියේ" යි එහිදී පවසයි.

හැරීගේ මතක සටහන් සහිත මෙම ග්‍රන්ථය ජනවාරි 10 වැනිදා ප්‍රකාශයට පත්වීමට නියමිත විය. කෘතිය නිකුත් වීමට පෙර පැවති දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග මධ්‍යයේ පවා තමන් පිටපතක් ලබාගැනීමට සමත් වූ බව ගාඩියන් පුවත්පත පවසයි.

BBC ප්‍රවෘත්ති සේවය තවමත් ‘ස්පෙයා’ කෘතියේ පිටපතක් දැක නැත.

කෙසේ වෙතත්, මෙම ග්‍රන්ථය එහි අපේක්ෂිත ප්‍රකාශන දිනයට දින පහකට පෙර ස්පාඤ්ඤයේ විකිණීමට තිබුණි. එය ‘එන් ලා සොම්බ්‍රා’, එනම් "සෙවණැලි අතර" ලෙස පරිවර්තනයට ලක්ව තිබුණි.

එක්සත් රාජධානියේ පොත් සාප්පු පවසා සිටින්නේ, මෙම ස්වයං චරිතාපදානය නිසි දිනට කලින් ප්‍රකාශයට පත් නොකරන බවට සැලකිලිමත් වන්නැයි දැඩි නීති පැනවී ඇති බවකි.

ගාඩියන් පුවත්පතට අනුව, 2019 වසරේදී විලියම් හැරීගේ ලන්ඩන් නිවෙසේ දී හැරීට පැවසූ ඇතැම් කරුණු හේතූවෙන් මෙම ආරවුල ඇති වී තිබෙන බව කියැවේ.

තමා හා මේගන් මාකල්ගේ විවාහය තම සොයුරා විවේචනය කළ බවත්, විලියම් ඇය ආශ්‍රය කිරීමට දුෂ්කර, අවිනීත හා රළු තැනැත්තියක ලෙස හැඳින්වූ බවත් හැරී මෙම කෘතියේ ලියා තිබෙන බව පුවත්පත පවසයි.

මෙම ආරවුල උත්සන්න වීමත් සමඟ, ඔහුගේ සහෝදරයා පුවත්පත්වල පළකෙරෙන විස්තර ගිරවකු මෙන් කියවන්නට පටත්ගත් බව ඔහු ලියා ඇතැයි වාර්තා වේ. ඉන් පසුව ඔහුට සිදුවූ කායික පහරදීමක් ඇතුළු අනෙකුත් සිදුවීම් මෙහි හැරී විස්තර කරන බව පැවසෙයි.

“ඔහු වතුර වීදුරුව තබා, මට අවිනීත නමකින් අඬගැහුවා, මම හිටිය තැනට පහර දෙන්නට ආවා. ඒක ඉතා ඉක්මනින් සිද්ධ වුණා. හරිම ඉක්මනින්. ඔහු මගේ කමිස කොළරයෙන් අල්ලගෙන, මාගේ බෙල්ලේ පළඳනාව ඉරා දමලා, මට බිම වැටෙන විදියට පහර දුන්නා. මම බල්ලන්ගේ කෑම පිඟන් උඩට වැටුණා, මගේ ඇඟට යටවෙච්ච කෑම පිඟන් බිඳිලා, ඒකේ කෑලිවලින් මට තුවාල වුණා. මම මොකක්ද වුණේ කියලා තේරුම් ගන්න එහෙමම හිටියා. ඊටපස්සේ නැගිටලා, ගෙදරින් එළියට බහින්න කියලා එයාට කිව්වා."

විලියම් පිටව ගිය නමුත්, පසුතැවිලි වන පෙනුමකින් ආපිට පැමිණ සමාව අයැද සිටි බව හැරී එහි ලියා තිබූ බව ගාඩියන් පුවත්පත පවසයි.

"විලියම් නැවත පිටව යද්දී ආපසු හැරිලා බලලා මෙහෙම කිව්වා. මේක මේගන්ට කියන්න ඕනේ නෑ" යි හැරී ලියා ඇති බවද එහි කියැවේ.

“’ඔයා කියන්නේ ඔයා මට ගහපු එකද?’

“’මම ඔයාට ගැහුවේ නෑ, හැරල්ඩ්,” විලියම් එසේ පිළිතුරු දුන් බවද එහි සඳහන් කොට තිබේ.

හැරීගේ නාමය ‘හැරල්ඩ්’ යන නම කෙටි කර සෑදුවක් නොවුණත් ඔහුගේ සැබෑ සම්පූර්ණ නම හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ්ය.

මේ හෙළිදරව් කිරීම් මගින් රාජාණ්ඩුව කේන්ද්‍රයේ ඇතිව තිබෙන, සංහිඳියාවේ කිසිදු සලකුණක් නැති පවුල් ගැටුමක අඳුරු හැඟීමක් ඇති කර තිබේ.

මෙය සංහිඳියාවට වඩා දරුණු දික්කසාදයක් ඇති කළ හැකි භූමියකි.

මෙම මතක සටහනේම වෙනත් තැනකදී, 2005 වසරේ විකට ඇඳුම් සාදයකට පෙර ඔහුගේ සොහොයුරා නාසි ඇඳුමකින් සැරසී සිටිනු දුටු විලියම් කොක් හඬලා සිනාසුණු වග සඳහන් බව 'නිව්යෝර්ක් පෝස්ට්' වාර්තා කොට තිබේ.

හැරී එම ඇඳුමෙන් සැරසී සිටින පින්තූරයක් එක්සත් රාජධානියේ පුවත්පත්වල ප්‍රකාශයට පත් කරන විට ඔහුගේ වයස අවුරුදු 20කි.

හැරී සහ මේගන්ගේ ‘නෙට්ෆ්ලික්ස්’ වාර්තා චිත්‍රපටයේදී, හැරී තම සහෝදරයා සහ පියා (වත්මන් රජු) සහ ඔහුගේ මිත්තණිය වූ දිවංගත රැජින සමඟ තමන් සහභාගී වූ රැස්වීමක් විස්තර කර තිබුණි.

2020 වසරේ මුල් භාගයේ පැවති එම හමුව විස්තර කරමින් ඔහු කියා සිටියේ "මගේ සහෝදරයා මට කෑගහන එකත්, මගේ පියා නිරන්තරයෙන් බොරු කියන එකත්, අත්තම්මා නිහඬව එහි වාඩි වී ඒ සියල්ල නිහඬව බලා ඉදීමත් හරිම භයානකයි". යනුවෙනි.

2021 අප්‍රේල් මාසයේ දී, ඔහුගේ සීයා වන පිලිප් කුමරුගේ අවමංගල උත්සවයෙන් පසු එවකට වේල්ස් කුමරු සහ විලියම් සමඟ පැවති හමුවක් ගැන ද මෙහිදී හැරී විස්තර කරන වග ගාඩියන් සඳහන් කරයි.

මෙම ‘ලීක් එක’ නිවැරදි නම්, ඇතැම් විට එහි වඩාත්ම සිත් ඇදගන්නා රූපය වනුයේ, මේ දෙසොයුරන් අතරට මැදි වූ චාල්ස් රජු තම ජීවිතය කාලකණ්නි නොකරන ලෙස සටන් වදින පුතුන්ගෙන් ඉල්ලා සිටීමයි.

මතක සටහන් කෘති රචකයකු වන ජේ.ආර්. මෝරින්ගර් විසින් හැරී වෙනුවෙන් රචනා කරන ලද, ඩොලර් මිලියන ගණනක පොත් ගනුදෙනුවක කොටසක් වන ‘ස්පෙයා’, එහි අන්තර්ගතය පිළිබඳ තොරතුරු කුඩා ප්‍රමාණයක් පමණක් ප්‍රසිද්ධ වූ අතිශය රහසිගත එකක් බව මීට පෙර විශ්වාස කෙරිණි.

මේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීම බකිංහැම් මාලිගාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

I BBC අැසුරිනි