2023 ජනවාරි 15 වන ඉරිදා

ලොක්කන්ගේ ජරමර නිසා අසරණ වන ’’පොලිසිය’’

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 170

♦ ඒටීඑම් හොරකම් ගැන චෝදනා 
♦ ගංජා බිස්නස්

උස් පහත් භේදයකින් තොරවම පොලිසියේ ඇතැම් නිලධාරින් පිළිබඳව ඇසෙන, වාර්තා වන කතා සුබදායක නැත. ඇතැමුන් අල්ලස, පගාව, හොරකම පසුපසය. තවත් අය මත්කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරමට යටවී තිබේ. අසූ දහසකට අධික පොලිස් නිලධාරින් අතර අතළොස්සකගේ හැසිරීම සමස්ත පොලිසියටම එක් කරන්නේ කළු පැල්ලමකි.

රටේ නීතිය හා සාමය සුරකින්නට සිටින පොලිසියේ සමහර නිලධාරින්ගේ අකටයුතුකම් ගැන වාර්තා වන පසුබිමක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පිළිබඳව වාර්තා වූයේ ඔහු නිදන් ගොඩගැනීම හා ගංජා ජාවාරමේ නිරතව සිටි බවක් ගැනය. පොලිසියේ උසස් නිලධාරියකු බව කියන මෙම සැකකරු මොණරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව කීම විශේෂය.

''මොණරාගල කුඹුකන පැත්තේ බිස්නස්කාරයෙක් එක්ක එකතුවෙලා ඉන්න කට්ටියක් නිදන් හාරන්න සෙට් වෙනවා. මෙයාලා තව මොනවා හරි ජාවාරම් කරන බවක් තේරෙනවා. අඩුම තරමෙ ගංජා හරි. යන එන ගමනකදි වාහනය අල්ලාගන්න.''
ඔත්තුකරුවකු විසින් මේ තොරතුර ලබා දී තිබුණේ රාජගිරිය පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ සහකාර පොලිස් අධිකාරිවරයකු වෙතය. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉහළ නිලධාරින්ට දැන්වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත යොමුකර තිබිණ. ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වූ නිලධාරින් කුඹුකන - මොණරාගල මාර්ගයේ රුඳී සිට තිබුණේ වැටලීමක් සඳහා සූදානම් වෙමිනි. තොරතුරු ලබා දුන් ඔත්තුකරු මීට ඉහතදී ලබා දී ඇති කිසිදු තොරතුරක් වැරදී නැත. ඒ නිසා මෙවරද නිලධාරින් ක්‍රියාත්මක වෙමින් තිබුණේ සාර්ථක වැටලීමක් සඳහාය. රාජගිරියෙන් පිටත් වූ විශේෂ කාර්ය බලකා කණ්ඩායම කුඹුකන ප්‍රදේශයේ සිට මොණරාගල දෙසට යන මාර්ගයේ වෙල්ලච්චිකඩේ ලෙස හඳුන්වන ප්‍රදේශයේ රුක සිටියහ. සැකකරුවන් පිරිස මොණරාගල දෙසට මෝටර් රථයකින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නිලධාරීහු සැකසහිත ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් ධාවනය වන බව දැක එය නවත්වා පරීක්ෂා කරන්නට වූහ. එම ප්‍රාඩෝ වර්ගයේ රථය එම ප්‍රදේශයේ නමගිය ව්‍යාපාරිකයකුට අයත් එකකි. ඔත්තුකරුගේ තොරතුරුවල එවැනි කතාවක් ද වූයෙන් රථය පරීක්ෂා කළද කිසිදු සැකසහිත යමක් එහි නොවීය.

රථයේ පැමිණි පිරිස පිළිබඳ විමසීමේදී එහි ඉදිරි අසුනේ රුඳී සිට තිබුණේ මොණරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාය. රථය පදවාගෙන යමින් සිට තිබුණේ ඔහුගේ රියැදුරා වන පොලිස් කොස්තාපල්වරයාය. රථයේ පසු අසුනක තවත් පුද්ගලයන් හතර දෙනකු සිටි අතර ඔවුන් සිවිල් පුද්ගලයන් බවට තහවුරු කරගෙන තිබිණ. පිරිස අතර සැක කටයුතු භාණ්ඩ කිසිවක් තිබී නැත. මේ නිසා ඔත්තුකරුගේ විශ්වාසය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මොණරාගල පිහිටි නිල නිවෙස පරීක්ෂා කෙරුණේ සැක හැර ගැනීමටය. එහිදී නිවෙසේ සොල්දරය පරීක්ෂා කිරීමේදී සැක කටයුතු ලෙස සඟවා තිබූ ගංජා කිලෝග්‍රෑම් 23ක් පමණ සොයා ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ. තවදුරටත් සෝදිසි කිරීමේදී පොළොව යට ඇති ලෝහ හඳුනා ගැනීමට භාවිත කරන නවීන තාක්ෂණය සහිත උපකරණයක්ද සොයා ගැනීමට එම නිලධාරීහු සමත් වූහ.

ඉකුත් 9 වැනිදා සිදු කළ වැටලීමෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරා ඇතුළු හය දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව 13 වැනිදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලැබිණ. ඒ අනුව පිරිස රඳවා ඇත්තේ පස්සර පොලිස්ථානය තුළය.

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේරත් බණ්ඩාරලාගේ සුනිල් ශාන්ත සිසිල කුමාර මහතාගේ නිල නිවෙස පරීක්ෂා කොට ඇත්තේ ගංජා සෙවීමේ අරමුණින් නොව නිදන් හෑරීම පිළිබඳව හෝඩුවාවක් සොයා ගැනීමට බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. ගිය වසරේ ඇතිමලේ පොලිස් වසමේ පිහිටි ගැමුණුපුර ගමගල ආරණ්‍ය සේනාසනය අසල නිධානයක් හාරා ඇති බවට ප්‍රදේශවාසීන් පවසා තිබිණ. එදින ප්‍රදේශයේ මාර්ගවල වැඩි වශයෙන් පොලිසිය ගැවසී ඇති බවත් ජනතාව පොලිසියට කරුණු කියා ඇතත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වී නැති බවත් පැවසේ. මේ නිසා එම නිදන් කොල්ලය පසුපස මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිටින්නට ඇතැයි ජනතාව සැක කරති.

මේ අතර වාර්තා වන්නේ සැකකාර උසස් පොලිස් නිලධාරියාට හිතවත් ප්‍රබල දේශපාලන සබඳතා පවතින බවය. එබැවින් ගංජා නඩුවෙන් ගැලවෙන විජ්ජාවක් සිදු කරන්නට උත්සාහ කරනු ඇතැයි යන්න පොලිසිය තුළම සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවට ආරංචි මාර්ග පවතී.

මෙම නිලධාරියා 2019 වසරේ සේවය කොට තිබුණේ මීගමුව ප්‍රදේශයේය. එවකට සහකාර පොලිස් අධිකාරිවරයකුව සිටි අතර අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මොහු චූදිතයකු ලෙස නම්කර තිබුණේ ප්‍රහාරය පිළිබඳව රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරින් අතර ඔහුද සිටි බැවිනි. සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ සිටින සහකාර පොලිස් අධිකාරිවරයා, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දුරකථන පණිවුඩයක් ලබා දී සාකච්ඡාවකට සහභාගි වන ලෙස දන්වා තිබියදී හදිසියේම එය අවලංගු කොට නැවත එම උපදෙස් ලබාදීම ජනවාරි 3 වැනිදා පෙරවරුවට කල් දමා ඇතැයි පැවසේ. පසුව නිලධාරින් 10 දෙනා බැගින් වන කණ්ඩායම් සකසා සති දෙකක් තුළ වැටලීම සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත. කිසිදු නිලධාරියකුට ජාවාරම්කරුවන් හා සබඳතා පැවැත්වීම තහනම් කොට අත්අඩංගුවට ගන්නා භාණ්ඩ තමන් විසින්ම පොලිස්ථානය වෙත බාර කළ යුතු බවද දන්වා ඇතැයි පැවසේ. මෙම පිරිසේ එක් කණ්ඩායමක් ජනවාරි 6 වැනිදා කැබිලිත්ත රක්ෂිතයේ ගංජා හේනක් වටලා ඇති බව කියැවේ. අක්කර එකහමාරක පමණ ගංජා හේනට අයත් ගංජා ගස් ගලවා නඩු භාණ්ඩ ලෙස ට්‍රුක්ටරයකට පටවා ඇති බව කියති. පොලිසිය මගින් නඩු භාණ්ඩ ලෙස ගංජා ගස් 230ක් පමණ ලේඛනගත කර ඇති බවත් ඉතිරි ගංජා තොගය මිටි බැඳ එම පොලිසියේ ජිප් රථය මගින්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ප්‍රවාහනය කොට ඇති බවද වාර්තා වේ. 

ට්‍රුක්ටරයක් පිරවූ ගංජා ගස්වලින් 230ක් හැරෙන්නට සියල්ල සැකකරුගේ කාර්යාලය වෙත යවා ඇත්නම් එතැන පැළ විශාල ප්‍රමාණයක් තිබිය යුතුය. නමුත් එතැන කිලෝ 23කට අයත්ව තිබී ඇත්තේ ගංජා ගස් 650ක් පමණක් බවද වාර්තා වේ. මේ නිසා පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ කොටු වූවාට වඩා ගංජා ප්‍රමාණයක් තිබිය යුතු බවත් ඉන් කොටසක් වෙනත් පාර්ශ්වයක් වෙත ලබා දී ඇති බවටත් සැක කරන බවය. උසස් පොලිස් නිලධාරියා ප්‍රමුඛ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් ගංජා ප්‍රවාහනය කළ බව කියන ට්‍රුක්ටරය හා ජිප් රථය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවද පැවසේ.

මාස කිහිපයකට ඉහතදී මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ හමුවකදී පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් දැඩි ලෙස අනතුරු අඟවා අවවාද කොට ඇති බවටද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර තවත් පොලිස් නිලධාරියකු සම්බන්ධ මහා පරිමාණ මුල්‍ය ජාවාරමක් හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් විය. ඊට සම්බන්ධ වී ඇත්තේ මීගහතැන්න පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු සමඟ ජාවාරම සිදු කර තිබුණේ කැනේඩියානු හා බල්ගේරියානු ජාතිකයන් දෙදෙනෙකි.

හික්කඩුව, ගාල්ල හා බද්දේගම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය බැංකුවල ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන තිබුණේ පසුගිය 30 වැනිදා අලුයම කාලයේදීය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මේ පිළිබඳ පැමිණිලි කොට පැය 48ක් තුළ සැකකරුවන් කොටුකර ගැනීම විශේෂය.

අනාවරණය කරගෙන ඇති පරිදි විදේශික ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් බල්ගේරියානු ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ පසුගිය ජූනි මාසයේදීය. ඉන් මාසයක් පමණ ගතවූ පසුව කැනේඩියානු ජාතිකයා පැමිණ ඇතැයි කියති. දෙදෙනාම හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවෙසක් රු. 250,000 ක මාසික කුලියට ලබාගෙන නවාතැන් ගෙන තිබිණ. ඔවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවලට මෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන වෙතද ගොස් ඇතැයි පැවසේ. එහිදී හඳුනාගත් පිරිස අතර පොලිස් නිලධාරියකු සහ මීගමුවේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරුවකු හා තවත් පුද්ගලයකු වෙති. හඳුනාගත් පිරිස අතර ඇතිවූ හිතවත්කම මත බල්ගේරියානු ජාතිකයා මැදිහත්ව පොලිස් නිලධාරියා හා සෙසු දෙදෙනාට යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණ. ඒ ඔවුන්ගේ කටයුතු සඳහා සහාය වී ආදායමක් ලබාගන්නා ලෙසය.

මේ අනුව ATM යන්ත්‍රවල පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මුදල් සොරාගැනීම සිදු කර ඇත. පරිගණක හැකරුන් මෙම ජාවාරම 'බ්ලැක් බොක්ස් ඇටෑක්' ලෙස හඳුන්වති. මෙම ජාවාරම මෙහෙයවූ විදේශිකයන් දෙදෙනා ඒ සඳහා ගමන් කර ඇත්තේ මෝටර් රථයකිනි. එහි රියැදුරු ලෙස කටයුතු කොට තිබුණේ පොලිස් නිලධාරියාය. ඔහු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ පිරිස සංවිධානය වී කොල්ලකෑම සඳහා සුදුසු ATM යන්ත්‍ර සොයා බලා තිබිණ. ඒ අනුව නාවල, හික්කඩුව, ගාල්ල, බද්දේගම ප්‍රදේශවල ATM මැෂින් කිහිපයක මුදල් කොල්ලකා තිබෙන බව හෙළි වී ඇත. මේ සඳහා ඔත්තු බලා ඇත්තේ පොලිස් නිලධාරියා විසිනි.

විමර්ශන අතරතුර ආරක්ෂක කැමරා 79ක් හා දුරකථන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කොට සැක සහිත මෝටර් රථය හඳුනාගෙන තිබිණ. ඒ අනුව හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙන අතර බල්ගේරියානු ජාතිකයා වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කැනේඩියානු ජාතිකයා මලයාසියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව තහවුරු කරගෙන කටුනායක ගුවන් තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය. පසුව අනාවරණය වූයේ මොවුන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් දෙදෙනකු බවය.

මොවුන් දෙදෙනා රටවල් දහයකට වැඩි ප්‍රමාණයක සැරිසරමින් මෙසේ ATM යන්ත්‍ර හරහා මුදල් සොරාගෙන ඇති අතර කිසිදු රටකට ජාවාරම හඳුනා ගැනීමට හෝ හැකියාව ලැබී නැත. ඒ තරමට ඔවුන් සිය ආරක්ෂාව තහවුරු කොටගෙන ජාවාරම සිදු කර ඇතැයි පැවසේ. ජාවාරම්කරුවන්ගේ තොරතුරු ජාත්‍යන්තර පොලිසිය හරහා ප්‍රසිද්ධ කොට සෙසු රටවල් දැනුම්වත් කිරීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පියවර ගනිමින් සිටියි. 

ජාත්‍යන්තර ජාවාරම්කරුවන් දෙදෙනා මෙරටදී සොරාගත් මුදල් තොගයෙන් කොටසක් සහාය වූ අයට බෙදා දීමෙන් පසුව ඉතිරි ඒවා ක්‍රිප්ටොකරන්සි වශයෙන් ආයෝජනය කිරීමට පියවර ගෙන ඇතැයි අනාවරණය විය. අපරාධය සඳහා යොදාගත් පරිගණක ඇතුළු උපාංග රුසක් ජාවාරම්කරුවන් රුඳී සිට නිවෙස් තිබී සොයාගෙන තිබෙන අතර පරිගණක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර