මේ වනවිට ඊසානදිග ඇමෙරිකාවේ නව කොවිඩ් උප ප්‍රභේදයක් වන XBB.1.5, ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සනාථ කර හමාරය. එය බටහිරටද පැතිර යමින් තිබේ. ඊසානදිග ඇමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 75%කට අසාදනය වී ඇත්තේ මෙම නව ප්‍රභේදය බව එරට සෞඛ්‍ය බලධාරීන් දැන් සනාථ කර තිබේ.
රෝහල් ගතවීම්, පරීක්ෂණ ධනාත්මක වීම් සහ මරණ යන මේ සියල්ල එරට ජාතික මට්ටමින් ඉහළ යමින් පවතින අතර, වර්ෂාවසාන නිවාඩු කාලයෙන් පසු වාර්තා වූ ප්‍රමාණය ඉහළ යාමට පටන් ගෙන තිබේ. මේ වනවිට පුද්ගලයින් 47,000ක් පමණ වෛරසය සමඟ රෝහල් ගතකර ඇති අතර එය පසුගිය 2021 මාර්තු මාසයේ සිට දක්නට ලැබුණු වැඩිම සංඛ්‍යාවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නිලධාරිනියක් වන මරියා වෑන් පවසන්නේ මෙම නව උප ප්‍රභේදය ඉක්මනින්ම සම්ප්‍රේෂණය විය හැකි වෛරසයක් බවට අනාවරණය කරගෙන ඇති බවය. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඇමෙරිකාවට අමතරව යුරෝපයේ රටවල් 25කට වැඩි සංඛ්‍යාවකින් මෙම වෛරස ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.
මේ වෛරසය මුලින් ඉන්දියාවෙන් වාර්තා වූවක් නිසා ඒ හේතුවෙන් අපේ රටටද දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. සැබැවින්ම XBB.1.5 යනු දැනට ගෝලීය වශයෙන් ප්‍රමුඛව පැතිර තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප-ප්‍රභේදයකි. ඔමික්‍රෝන්ද පැමිණියේ ඇල්ෆා, බීටා, ගැමා, සහ ඩෙල්ටා ප්‍රභේදවලට පසුවය.
2021 වසරේ අගභාගයේදී මතුවූ ඔමික්‍රෝන්, දැනට කොරෝනා වෛරසයේ පෙර සියලුම ප්‍රභේදයන් අභිබවා ගොස් ඇති අතර, මුල් වෛරසයට වඩා බෝවනසුළු බවින් සාපේක්ෂව ඉහළ බොහෝ උප-ප්‍රභේද බිහිකර තිබේ. XBB.1.5හි රෝග ලක්ෂණ පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට සමාන යැයි සැලකෙන නමුත්, මෙය තහවුරු කිරීමට තවමත් වේලාසන වැඩිය. මෙය වැළඳෙන බොහෝදෙනා සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ අත්විඳිති.
XBB.1.5 පරිණාමය වී තිබෙන්නේ XBB නම් ප්‍රභේදයෙනි. එය ප්‍රථම වරට හඳුනා ගැනුණේ 2022 අගෝස්තු මාසයේ ඉන්දියාවේදී වන නමුත්, සෞඛ්‍ය බලධාරීන් විසින් "බරපතළ අවධානයට ලක්කළ යුතු ප්‍රභේදයක්" ලෙස වර්ගීකරණයට ලක්කර තිබුණේ නැත. XBB සතුව, මිනිස් ශරීරයේ ප්‍රතිශක්තීකරණ ආරක්‍ෂක ක්‍රම පැරදවීමට උපකාරී වූ විකෘතියක් තිබූ නමුත්, මෙම ගුණාංගය නිසාවෙන්ම, ඊට මිනිස් සෛල ආසාදනය කිරීමට තිබූ හැකියාව පහත හෙළීය.
නමුත් දැන් පැමිණ ඇති අලුත් උප ප්‍රභේදය වන XBB.1.5හි, F486P ලෙස හැඳින්වෙන විකෘතියක් තිබෙන බවත්, ශරීර ප්‍රතිශක්තිය මඟහරිමින් දිගටම සෛලවලට බන්ධනය වීමේ හැකියාව එමඟින් ප්‍රතිෂ්ඨාපනය කරන බවත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ්හි මහාචාර්ය වෙන්ඩි බාක්ලේ ඇතුළ පර්යේෂකයෝ පෙන්වා දී ඇත. එනිසා එය වඩාත් පහසුවෙන් ව්‍යාප්තවීමේ හැකියාව දරයි.
මෙතෙක් දැක ඇති අනෙක් සියලු උප-ප්‍රභේදයන්ට වඩා XBB.1.5 සතුව "වර්ධන වාසියක්" ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන්ද පසුගිය සතියේ තහවුරු කළේය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය මින් පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා බරපතල හෝ හානිදායක යැයි කිසිදු සංඥාවක් ලැබී නැතැයිද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉගැනීම පිණිස තවමත් පර්යේෂණාගාර අධ්‍යයනයන්, රෝහල් දත්ත හා ආසාදන අනුපාත සමීපව නිරීක්ෂණය කරන බවද කියයි.
නමුත් කොවිඩ් එන්නත්වලින් අඩු ප්‍රතිලාභ ලබන, ප්‍රතිශක්තිය අඩු තැනැත්තන් නිදන්ගත රෝග නිසා ප්‍රතිශක්තිය හීන වූවන් ඇතුළු අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ඉන් එල්ල කළ හැකි බලපෑම ඉහළ විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත්ව තිබේ. කෙසේ වෙතත් නව උප ප්‍රභේදයෙන් දරුණු රෝග තත්ත්වයක් ඇතිවිය හැකි බවට තවම තහවුරු කරගෙන නැත.
● සුගත් පී. කුලතුංගආරච්චි