2023 ජනවාරි 15 වන ඉරිදා

ඉස්සර සුද්දො ඇඳපු චිත්‍ර තිබෙන මාරස්සන තලාව පන්සල

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 149

මහනුවර දිස්ත්‍රික්කයේ මාරස්සන ග්‍රාමසේවා වසමට අයත් තලාව රජ මහාවිහාරය සුන්දර ගම්පියසක පිහිටි ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙසත් වැදගත් පූජනීය ස්ථානයකි. මහනුවර මාරස්සන මාර්ගයේ තලාතුඔය පසුකරගෙන විත් අප්පල්ලාගොඩ හන්දියට නුදුරු අප්පල්ලාගොඩ අම්බලම අසලින් ඇති මාර්ගයේ කිලෝමීටර් බාගයක් ගිය පසු මෙම ස්ථානයට ළඟාවිය හැකිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ රජුගේ නියමයෙන් ගලබොඩ දිසාවගේ මගපෙන්වීමෙන් මාරස්සන පලිහන රාල ඇතුළු පිරිස මෙම විහාරය කරවූ බව සඳහන් වේ.

විහාරයට නුදුරින් පිහිටි අප්පල්ලාගොඩ අම්බලමද වටිනා පුරාවිද්‍යා ස්මාරකයකි. මහනුවර සම්ප්‍රදායට අයත් අලංකාර චිත්‍ර සහ මූර්ති සුරුකී පවතින කලාගාරයක් ලෙස මෙම විහාරය වැදගත්ය. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි සිතුවම් සේයාරූ ගතකර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය දිනවල ක්‍රියාත්මක කළේය. මෙම කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඡායාරූප අංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම මධ්‍යම පළාත් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ කාර්ය මණ්ඩලයත් එක්ව සිටියහ. මෙසේ සේයාරූගත කර පසුව එම සිතුවම් ඇතුළත් කර කෘතියක් පළකිරීමට හෝ ඒවා සංරක්ෂණය වන සේ ගබඩා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදහස් කර සිටී.

කඳු අතර පහත් බිමේ පිහිටි කුඹුරු යාය මැදින් ඈතට පෙනෙන විහාර දාගැබ අලංකාර දසුනක් මවාපායි. වැඩි දෙනෙක් නොදන්නා වටිනා විහාරයක් ලෙස මාරස්සන තලාව විහාරය වැදගත්ය. එහි තවත් විශේෂත්වයක් වන්නේ 1803 උඩරට ආක්‍රමණයේදී ඉංග්‍රීසි සෙබළු එහි කඳවුරු බැඳ සිටියදී ඇඳි සෙබළ රූප දෙක බැගින් හතරක් විහාර දොරටුව ඉදිරිපස බිත්තියක දැකගත හැකිවීමයි. බටහිර යථාර්ථවාදී චිත්‍ර රටා එයින් නිරූපණය වේ. සෙබළුන් සිටින්නේ කඩු අතින් දරාගෙනය. ඉන් චිත්‍ර දෙකක් මේ වනවිට බොහෝ දුරට මැකී ගොස් ඇති අතර චිත්‍ර දෙකක උඩුකය පමණක් තරමක් දුරට ආරක්ෂා වී තිබේ. විහාරයේ හුණු ආලේපය නිසා මෙම චිත්‍ර මැකී ගොස් ඇති බව පෙනේ. ඒ අසල විහාරයේ ඉදිරිපස බිත්තියේ තිබූ දොරටුපාල රූප අනුකරණයෙන් මෙම චිත්‍ර ඇඳීමට ඉංග්‍රීසි සෙබළුන් පෙළඹී ඇති බව පෙනේ.

පිළිමගෙයි ඉදිරිපසින් පිහිටි මණ්ඩපය මෑත අතීතයේ කළ ඉදිකිරීමකි. එහි වම්පස කණුවකට හේත්තු කර ඇති පැරණි ගල්පුවරුවක ඉර හඳ, බලු කපුටු රූප කොටා තිබේ.  මෙම විහාර ගෙය ඉදිරිපස දොරටුව අසල ගලින් කළ පියගැට  තුනකි. ඒවායේ මහනුවර සම්ප්‍රදායේ ලියවැල් සහ පලාපෙති මෝස්තර කැටයම් කර තිබේ. පියගැට පාමුල ඇති සඳකඩ පහන මහනුවර යුගයේ සඳකඩ පහනකි. හඟුරන්කෙත සඳකඩ පහනවලට සමානය.

විහාර ගෙය ඉදිරිපස දොරටුව ආරුක්කු ආකාර ගනී. දොර දෙපස දොරටුපාල රූප දෙකකි. විහාර ගෙය කොටස් දෙකකින් යුත්ත වේ. එය වටා යන සේ ප්‍රදක්ෂිණා පථයක්ද සහිතය. මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර රාශියක් මෙහි දැකගත හැකිය. පිට මාලයේ චිත්‍ර අතර දොරටුව දෙපස ඇතුළු බිත්තියේ ඇති ගලබොඩ දිසාව සහ ඌව දිසාවගේ චිත්‍ර දෙක විශේෂිතය. ගලබොඩ දිසාව දෙපසින් තල්අතු අල්ලාගෙන සිටින පුද්ගලයන් දෙදෙනෙකි. මෙහි ඇතුළු ගර්භයට පිවිසෙන දොරටුව කොටුවලට බෙදා චිත්‍ර ඇඳ තිබේ. එම බිත්තියේම බෝසත් රූප සහ දේව රූපයක්ද පහළම තීරුවේ සක් පිඹින්නන්ද ඒ අතර අවකාශය තුළ සල්මල් හා කඩුපුල් පොහොට්ටු ද සිත්තම් කර තිබේ. ඇතුළු මාලය දේව රූප, සොලොස්මස්ථානය, සත් සතිය, රහතන් වහන්සේලාගේ චිත්‍ර ආදිය ඇඳ තිබේ. ඊට අමතරව තේමිය ජාතකය, සත්සතිය, වෙස්සන්තර ජාතකය නිරූපිතය. මෙහි පීඨයක් මත පිහිටි ප්‍රධාන හිඳි බුදු පිළිමය උසින් මී.1.66කි. මකර තොරණ යට වැඩ සිටී. මකර තොරණ සියුම් මල්ලියකමින් යුක්තය. ඉතා අලංකාර මකර තොරණකි. බිත්තිය දෙපස හිටි බුදු පිළිම දෙකකි.

දෙවැනි රාජසිංහ රජු සමයේ හේවාහැට ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වූ ගලගොඩ දිසාව ප්‍රභූවරයකු වුවත් සාමාන්‍ය ගැමියා සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. අවාසනාවකට මෙන් මීට බොහෝ කලකට පෙර ගලගොඩ දිසාවේ මාරස්සන ජීවත් වූ බවට තිබූ සාධක කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගොස් ඇත. අද වනවිට ගලගොඩ දිසාව විසූ වලව්වේ කිසිදු සලකුණක් හෝ නොමැත. එහෙත් ගලගොඩ පරපුරේ මතකය ගමේ පැරුන්නන් තුළ තවමත් ඇත.
කන්ද උඩරට ඕලන්දයන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී දෙවැනි රාජසිංහ රජතුමා තම ගමන් මාලිගාව පිහිටි හඟුරන්කෙත ප්‍රදේශයට පලායමින් සිටියදී තමන් සමීපයටම සතුරන් පැමිණි හෙයින් සැඟවීමට ස්ථානයක් සොයා ඇත. එහිදී උදෑසන මිදුල අතුගාමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මේ පුරුෂයා රජු යැයි නොදැන උපකාර කර ඇත. ඒ ‘ගමගෙදර’ නම් ස්ථානයේ වූ වී අටුවේ රජතුමාට සැඟවීමට සහාය වීමයි.

ඕලන්දයන් නැවත කොළඹට පලවා හැර අන්තරාය පහව ගිය පසු යළි රජවාසලට පැමිණි රජතුමා තමාට සත්කාර කළ වයෝවෘද්ධ කාන්තාවට ගම්වරයක්ද ලබාදී ඇත. තමාගේ ආරක්ෂාවට කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස &මා ආරක්ෂා කළ ගම* යන අරුත ඇතිව මේ ග්‍රාමයට මාරස්සන යන නාමය පසුව ලැබුණු බව සඳහන්ය.

මාරස්සන තලාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට කෘතගුණ දැක්වීමක් ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් විහාරයක් ඉදිවිය. රාජ අනුග්‍රහය හිමිවුවද මෙහි ඉදිකිරීමේ වගකීම පැවැරී තිබුණේ ගලගොඩ මහ දිසාවටය. මේ කුඹුරු යාය උඩරට සමයේදී රාජකීය කුඹුරු යායක් විය. ගලගොඩ දිසාවගේ මෙහෙයවීමෙන් මාරස්සන පලිහන රාළ ඇතුළු පිරිසක් විසින් විහාරය කරවන ලදැයි පැවසේ. රජු විසින් විහාරය අවට තිබූ කුඹුර එහි නඩත්තුව සඳහා පූජා කර තිබේ.

“ඉංග්‍රීසි හේවායන් 150ක සේනාංකයක් 1803 කාලයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ සොයාගෙන යන ගමනේදී මේ විහාර භූමියේ කඳවුරු බැඳලා තියෙනවා. මේ අවට වෙල්යායේ බැඳලා හිටපු ගැමියන්ගේ හරක් ගෙනැල්ලා මරලා තියෙන්නේ. එදා වැදිච්ච කඩු පාරවල් බුදු මැඳුරට ඇතුළු වන උළුවස්සේ යටලිපතේ තවමත් තිබෙනවා* යැයි විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ එල්.බී. රත්නායක මහතා අප සමඟ පැවැසීය.

මෙම සිද්ධියෙන් කෝපයටත් සංවේගයටත් පත් ගලගොඩ දිසාව එම ස්ථානයට ගැමියකු ලෙස වෙස්වලාගෙන පැමිණ තල්අත්තක රඳවාගෙන සිටි, තම අසිපත ගෙන ඉංග්‍රීසි සෙබළු විශාල පිරිසක් මරා දැමූ බව ජනප්‍රවාදවල කියැවේ.

දළදා මාලිගාවේ අටුව හැරුණු කොට උඩරට විශාලතම  වී අටුව පිහිටියේ මාරස්සන තලාව විහාරයෙයි. ඊළඟ කන්නයේ අස්වැන්න ගන්නාතුරුම කොතරම් වී පරිභෝජනය කළත් සැලකිය යුතු ප්‍රමාණයක් වී අටුවේ ඉතිරි වෙන බවට විශ්වාසයක් ගැමියන් තුළ පවතී. බුදුන් වහන්සේ උදෙසා අතීතයේ සිටම තලාව විහාරස්ථානයේ කිරිබඩ පාත්‍ර පූජා නමින් පූජාවක්ද සිදුකර තිබේ. මේ සඳහා පාත්‍ර හතක් භාවිත වන අතර මහ පාත්‍රය දානයෙන් පිරවූ පසු එසවීම අතිශය දුෂ්කරය. අතීතයේ මේ දන් පෙරහර විහාරස්ථානය දක්වා ඇතෙකු පිටින් රුගෙන ගිය බව සඳහන් වේ. සාමාන්‍යයෙන් හාල් සේරු 60ක ප්‍රමාණයක දානයක් මෙම පාත්‍රයේ පූජා කළ හැකි බව කියැවේ.

මෙහි සංඝාවාස ගොඩනැගිල්ලද මහනුවර වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත මැද මිදුලකින් යුත් එහි සමහර කොටස් වසර 40කට පෙර අලුත්වැඩියා කර තිබේ. සංඝාවාසයේ පිවිසුම් දොරටුවේ දැව උළුවස්ස පලාපෙති සහ ලියවැල් කැටයමෙන් යුක්තය. මැද මිදුලේ පියස්ස දරා සිටින්නේ විවිධ කැටයමින් යුත් කුලුනු 8කිනි. මැද මිදුල දෙසට බැවුම්වන පරාලවල ගොනැස් කැටයම් කර තිබේ. 

සංඝාවාසයට නුදුරින් බටහිර දෙසින් පුරාණයේ විහාරයට පිවිසි පඩි 10කින් යුත් කළුගලින් කළ පියගැට පෙළ දැකගත හැකිය. මෙම පිළිම ගෙය තවමත් සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර නැති අතර එය ඉක්මනින් සිදුකළ යුතු බව අපගේ හැඟීමයි.

(මධ්‍යම පළාත් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයට අපගේ ස්තුතිය හිමිවේ.)
I කුසුම්සිරි විජයවර්ධන

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04