අවස්ථා කිහිපයක් හැරුණු විට මෙරට දේශපාලන බලය දිනාගනු ලැබුවේ දේශපාලන සන්ධාන විසිනි. දේශපාලන සන්ධාන සඳහා සුවිශේෂ ස්ථානයක් අප දේශපාලන සන්දර්භය තුළ හිමිවන බැවින් සෑම මැතිවරණයක් ආසන්නයේම අලුත් සන්ධානයක් ආරම්භ වීම ස්වභාවිකය. විවිධ පක්ෂ, විවිධ මතවාද නියෝජනය කරන කණ්ඩායම් පොදු සම්මුතියකට එළැඹ මැතිවරණයට ශක්තිමත්ව මුහුණු දීම සන්ධානයක් ආරම්භ කිරීමේ ප්‍රමුඛ ඉලක්කයක් වෙයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවනවාත් සමඟ මෙරට දේශපාලනයේ කිසි දිනෙක සිදු නොවූ සන්ධානගත වීම් පිළිබඳ සාකච්ඡා ඇති වී තිබේ.
ඉකුත් 11 වැනි දින අලුත් සන්ධානයක් නිර්මාණය විය. මෙරට දේශපාලන ඉතිහාසයට අලුතෙන් එක්වූ එම සන්ධානය වූයේ නිදහස් ජනතා සන්ධානයයි. නිදහස් ජනතා සන්ධානයේ ලංඡනය හෙලිකොප්ටරය වන අතර එම ලාංඡනය මෙරට ඡන්ද කොළයට එක්වන නවතම ලංඡනයක් ද වෙයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා නායකත්වය දරන උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව නිදහස් ජනතා සන්ධානය නම් වන නව සන්ධානයක් පිහිටුවා ගනු ලැබීය. නව සන්ධානය එළිදැක්වීම ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු විය. නව සන්ධානය එළිදැක්වීමේ උත්සවයට පොදුජන පෙරමුණෙන් තරග වැදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 35ක් සහභාගී වූහ.
නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීමේ උත්සවය අමතමින් ජනජය පෙරමුණේ නායක අනුර යාපා රටේ වර්තමාන ඉරණමට හේතු පැහැදිලි කරමින් නව සන්ධානය වාමාංශික බලවේගයක් බව පෙන්වා දුන්නේය.
“අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදය මැද, වම එහෙමත් නැත්තම් ප්‍රගතිශිලීන් එකට එකතු කරන එකමුතු වේදිකාවක් සෑදීමට හැකිවීම ගැන සන්තෝස වෙනවා. අපි කවුරුත් එකම මූලයන්ගෙන් නිර්මාණය වුණු අය. අපි හිතන්නේ අපේ රටේ දීර්ඝකාලීන හා කෙටිකාලීන ආර්ථික උපාය මාර්ග රටේ අසාර්ථකභාවයට හේතු වුණා කියලා. පවුල් පාලනය, දූෂණය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති, දුර්වල පාලනය මෙයට හේතු වුණා. '71 කැරුල්ල, 88/ 89 තරුණ නැගිටීම, ත්‍රස්තවාදී යුද්ධයත් මෙයට හේතු වුණා. අභ්‍යන්තරව විසඳාගත යුතු බොහෝ ප්‍රශ්න විසඳාගැනීමට අපේ දේශපාලන ක්‍රමය අපොහොසත් වීම නිසා අපේ රට දැවැන්ත ආර්ථික සමාජ පරිහානියකට ලක්වුණු බව අපි කවුරුත් තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේ මෑතක බිහිවී තිබෙන ආණ්ඩුවත් 05 වැනි මිහිඳු රජුගේ වගේ ඉතාම දුර්වල රජයක්. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වුණු කිසිම දෙයක් ඉටු කිරීමට හැකි වුණෙත් නෑ, ජනතාව කැරලි ගහන තත්ත්වයට පත්වුණු නිසාත් අපි ඒ තත්ත්වය හොඳින් වටහාගෙන අපි කණ්ඩායමක් පාලක පක්ෂයෙන් වෙන්වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළා. ඒ අනුව අද අපි විවිධ කණ්ඩායම් එකම අරමුණක් වෙනුවෙන් එකට එකතුවෙලා තියෙනවා. ඉදිරියේදී රාජ්‍ය අංශයේ ප්‍රාථමික මැතිවරණයකට අපි එළඹෙන්නේ. ඒකට අලුත් අදහසක් අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න පුළුවන්. පවතින පළාත් පාලන ආයතන පිළිබඳ විවිධ චෝදනා තියෙනවා. ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම අපේ වගකීමක්. ඒ සඳහා නිවැරදි පුද්ගලයන් තෝරාගැනීමටත් ජනතාව තුළ විශ්වාසයක් ඇතිවන පරිදි කටයුතු කිරීමටත් ඔවුන් මෙහෙයවීමටත් වගකීමක් අපි වෙත පැවරිලා තියෙනවා. අන්තවාදයෙන් තොර මැද මාවතේ ගමන් කරන ගෞරවනීය දේශපාලන වටාපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණ තමයි මේ සන්ධානය පිහිටුවීමේ අදහස.''
ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමේ අවස්ථාව ආමන්ත්‍රණය කළ නිදහස් ජනතා සන්ධාන නායක ඩලස් අලහප්පෙරුම පවුල්වාදය නිසා රට අස්ථාවර වූ බව පෙන්වා දුන්නේය. මෙම නව සන්ධානය පිහිටුවා ගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබුණේ ඩලස් අලහප්පෙරුම මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමඟ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව තරග වැදුණු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 70ක් පමණ ලැබුණ ද ඔහු සමඟ ඉතිරි වූයේ 10ක පමණ කණ්ඩායමක් පමණි. පොදුජන පෙරමුණේ කටයුතුවලින් ඉවත්ව තනි ගමනක් ආරම්භ කළ මෙම කණ්ඩායමට තනි අනන්‍යතාවක් අවශ්‍ය වීම නව සන්ධානයකට මුලපිරීමට හේතු විය.
නිදහස් ජනතා සන්ධානයේ මීළඟ ප්‍රධාන බලවේගය උත්තර ලංකා සභාගයයි. බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඇතිකරගත් කෝන්තරයක් හේතුවෙන් පොහොට්ටුව සමඟ ඇතිකරගත් දීගය බිඳිමින් ඉකුත් වසරේ අප්‍රේල් මස උත්තර ලංකා සභාව නමින් අලුත් ගමනක් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ හා කණ්ඩායම් එක්ව ආරම්භ කළහ. උත්තර ලංකා සභාවේ දේශපාලන කටයුතු බිම් මට්ටමට ගෙන යාමේ වැඩසටහන් මීට මාස දෙකකට ඉහත දී සිදු වූ අතර එය එතරම් සාර්ථක නොවූවා පමණක් නොව දැඩි ජනතා විරෝධයක් ද එල්ල විය. එවන් පසුබිමක් තුළ නව සන්ධානයට එක්වීමට උත්තර ලංකා සභාව කටයුතු කළේ ඔවුන්ගේ පෙර අත්හදා බැලීම එතරම් සාර්ථක නොවීමත් හදිසියේ කැඳවූ මැතිවරණයට තනිව තරග කිරීමට සූදානම් වීමට තිබෙන නොහැකියාවත් හේතුවෙනි. කෙසේ නමුත් උත්තර ලංකා සභාගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද නව සන්ධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ යහපාලන ආණ්ඩු සමයේ ලබාගත් අධික ණය වර්තමාන ආර්ථික අර්බුදයට මග පෑදු බව පෙන්වා දුන්නේය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණ තුළ දෙවැනි ප්‍රධාන බලවේගය බවට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා වරින් වර ආණ්ඩුවෙන් ඉවත් වන බව කීවද අද දක්වාම එහි පිරිස් ආණ්ඩුවේ තනතුරු දරති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ මහ ලේකම්වරයා ඇතුළු කිහිප දෙනකුගේ අවශ්‍යතාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේ දී තනිව තරග නොකර නව සන්ධානයට අවතීර්ණ වීමට එකඟතාවය ඇති කරගෙන තිබේ. එමෙන්ම බිහි කරගෙන තිබෙන නව සන්ධානයේ ප්‍රධාන බලවේගය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කර ගැනීමට සියලු පක්ෂ එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙරට දේශපාලන ඉතිහායේ තිබෙන සංකේතාත්මක වටිනාකම නිසාත් නව සන්ධානයට මුලපුරමින් සිටින සියලු කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසියම් කාල පරිච්ඡේදයක දේශපාලනය කර තිබෙන නිසාත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් නව සන්ධානයේ ඉලක්කය පෙන්වා දුන්නේය.
“අපේ සන්ධානයේ නම නිදහස් ජනතා සන්ධානය. මේ සන්ධානය හදන්න පසුගිය කාලයේ අපි විශාල මහන්සියක් ගත්තා. හෙට අනිද්දා එන පළාත් පාලන මැතිවරණය මුල්කරගෙන තමයි මේ සන්ධානය හැදුවේ. ඉදිරි මැතිවරණයේ දී මේ අලුත් සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා. මේ සන්ධානය පිළිබඳව ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. අපි උතුරු නැගෙනහිරටත් තරග කරනවා. පළාත් පාලන ආයතනවලින් 90෴ක්ම දිනන්න පුළුවන්කම අපිට තියෙනවා. මේ රටේ අනාගතය සහ අයිතිවාසිකම් වෙනුවෙන් මූලික වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු වී තිබෙනවා. අද තිබෙන්නේ නව ලෝකය, නව තාක්ෂණය, නව දැනුම. නව දැනුමත් සමඟ ලෝකයේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රතිපත්ති ශක්තිමත් වෙලා තියෙනවා. රට හැදීම සඳහාත් රට ගොඩනැගීම සඳහාත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රුකගැනීම මූලික වශයෙන්ම ආර්ථිකයෙන් ගොඩ ඒමට තිබිය යුතු වෙනවා. ලෝකයේ මුල්‍ය ආධාර දෙන සියලු ආයතන මේ රටේ කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් ද කියන කාරණය මත තමයි ආධාර උපකාර කරන්නේ. මේ නිදහස් ජනතා සන්ධානය ඉදිරි අනාගතයත් සමඟ පැහැදිලි අරමුණක් ඇතිව, අධිෂ්ඨානයක් ඇතිව යන්නේ. ඒ තුළ පොදු ජනතාවගේ විශාල සහයෝගයක් ලබලා මුල් පියවර හැටියට පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරලා ඉදිරි පියවරයන් සඳහා අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි හිතනවා. බිඳවැටුණු ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන යහපත් රටක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ජනතාවගේ නිදහස ශක්තිමත් කරන රටක් පැහැදිලි සැලැස්මක් එක්ක දූෂණයෙන් වංචාවෙන් තොරව මේ රට ගෙන යාම සඳහා අපි සම්පූර්ණයෙන් කැප වී වැඩ කරනවා.''
මෙම සන්ධානයට පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන 43 සේනාංකය සම්බන්ධ වන බවට රාවයක් පැවතිය ද නිදහස් ජනතා සන්ධානයට තවමත් 43 සේනාංකය නිල වශයෙන් එක් වී නැත. එමෙන්ම නව සන්ධානයේ ලංඡනය ලෙස %පහන^ ලකුණ තෝරාගැනීමට උත්සාහ කළද ලැබී තිබෙන්නේ %හෙලිකොප්ටර^ ලාංඡනයයි. මෙම ලාංඡනය සම්බන්ධයෙන් නව සන්ධානය එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුවද සමාජ මාධ්‍ය තුළ ද විවිධ මත පළවනු දැකිය හැකි විය.
නිදහස් ජනතා සන්ධානයේ ලේකම් වශයෙන් තිලංග සුමතිපාල මහතා පත් කෙරුණු අතර නව සන්ධානය සඳහා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, නිදහස් ජනතා සභාවේ කැඳවුම්කරු ජී.එල් පීරිස්, උත්තර ලංකා සභාවේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජනජය පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න සහ නිදහස් ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා යන මහත්වරු සිදු කළහ. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයට අමතරව එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ ද සන්ධානගතව තරග වැදීමට නියමිතය.
I සකීෆ් සාම්