2023 ජනවාරි 15 වන ඉරිදා

පුංචි ඡන්දයේ දේශපාලන පක්ෂ හඬ

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 44

පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබේ. දේශපාලන පක්ෂ නව දේශපාලන සන්ධාන මැතිවරණයට සූදානම් වෙමින් සිටිති. ඉදිරි සතිය තීරණාත්මක සතියක් වනු ඇත. එම නිසාම මැතිවරණය සඳහා සූදානම් වන දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්ම මැතිවරණ සූදානම පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

18 වැනිදායින් පසු අපි නාමයෝජනා දෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
සමගි ජන බලවේගය

පළාත් පාලන මැතිවරණය සඳහා වන මූලික කටයුතු සියල්ල මේ වනවිටත් සමගි ජනබලවේගය සංවිධානය කරල තියෙන්නෙ. අපි පළාත් පාලන ආයතන 340ටම තරග කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදාළ ප්‍රදේශ සඳහා අපි දැනටමත් බලයලත් නියෝජිතයන් පත්කරල තියෙනවා.

ජනවාරි 18,19,20 යන දිනවල අපි නාමයෝජනා භාරදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපි නාමයෝජනා මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ හරහා සියලුම නාමයෝජනා අනුමත කිරීමට නියමිතයි. සන්ධානයක් හැටියට විශේෂයෙන්ම අපිත් සමඟ කටයුතු කරන මිත්‍ර පක්ෂවල සංසන්දනාත්මකව බැලිය යුතුව තිබෙනවා. ඒ කටයුත්ත ජනවාරි 18, 19 වනවිට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ මැතිවරණ ව්‍යාපාරය නාමයෝජනා වලින් පසුව සංවිධානය වෙන්නෙ. ඒ ඒ පළාත් පාලන කොට්ඨාස සඳහා වෙන්න වෙන්නම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. රැස්වීම් මාලාවට අමතරව අපි විශේෂ අවධානයක් ලබාදීලා තියෙන්නෙ නිවසෙන් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමට.

මෙතෙක් දේශපාලනය නොකළ අයත් අපි එක්ක ඉන්නවා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  නලින්ද ජයතිස්ස
ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය විදිහට අපි දිස්ත්‍රික්ක කිහිපයක මේ වනවිටත් ඇප මුදල් තැන්පත් කරල තියෙනවා. හම්බන්තොටින් ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළා අනතුරැව කළුතර කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කවල ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කළා.

මේ වෙනකොට ජාතික ජාතික ජනබලවේගය දිස්ත්‍රික් විධායක සභා සහ ආසන විධායක සභා සාකච්ඡා කරමින් ඉන්නවා නාමයෝජනා සකස් කිරීම පිළිබඳව. බොහෝදුරට සමහර නාමයෝජනා කටයුතු අවසන් වෙමින් පවතින්නෙ. වෙනදා දේශපාලනය නොකරපු පිරිස් ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා ගන්න ඉන්නවා. අපි ඒ අයටත් ඉඩකඩ ලබාදෙමින් තමයි කටයුතු සංවිධානය කරන්නෙ.

රටේ සියලුම පළාත් පාලන ආයතන සඳහා තරග කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටේ පළාත් පාලන ආයතන තාම ඉතාම ශක්තිමත් විදියට පාලනය කරන්න පුළුවන් පිරිසක් ඉදිරිපත් කිරීමේ කටයුත්ත ඉතා සාර්ථකව කෙරීගෙන යනවා. ජනවාරි 18-21 අතර නාමයෝජනා බාර දෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ.

ආණ්ඩුවට රිද්දන්න ස්වර්ණමය අවස්ථාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
නිදහස් ජනතා සන්ධානය

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැ 35 දෙනෙකුගේ නියෝජනයෙන්, පක්ෂ 12ක එකතුවෙන් අපි නව සන්ධානය ජනවාරි 11 වැනිදා බිහිකළා. මේ වෙනකොට අපේ සන්ධානය දිස්ත්‍රික් මට්ටමෙන් නාමයෝජනා කමිටු පිහිටුවල අවසන්. ඉතා කඩිනමින් නාමයෝජනා සම්බන්ධව එකඟතාවන්ට පැමිණීමට අපි සූදානම්. ඒ එක්කම අපි ඉදිරි දිනවල ඇප මුදල් තැන්පත් කරනවා.

සියලුම පළාත් පාලන ආයතනවලට තරග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව දැවැන්ත පීඩාවකට පත්වෙලා ඉන්නෙ. දිගින් දිගටම සිද්ද වන මිල වැඩි කිරීම් වලින් පේන්නෙ ඒ පිටුවේ පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් නොමැතිකම. ඒ නිසා ජනතාවට රිදී ඇති ප්‍රමාණයෙන්ම ආණ්ඩුවට රිදවන්න මේ මැතිවරණය ස්වර්ණමය අවස්ථාවක් විදියටයි අපි දකින්නෙ.

අපේ සන්ධානය හරහා සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය වෙනවා. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන්, වෘත්තීයවේදීන් වගේම රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් තියෙන දේශපාලන නායකයන් අපේ සන්ධානය තුළ ඉන්නවා.

අපි මේ ඡන්දෙට පූර්ව සූදානමක හිටියා
පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පළාත් පාලන මැතිවරණයට ඇප බැඳීම ප්‍රකාශයට පත් කරපු සැනින්ම අපි ඇප තැන්පත් කිරීමත් පටන් ගත්තා. මේ වනවිට දිස්ත්‍රික්ක විශාල ප්‍රමාණයක අපි ඇප තැන්පත් කරලා අවසන්. ඒ එක්කම නාමයෝජනා සකස් කිරීම ආරම්භ කළා.
අපි මේ මැතිවරණය පැමිණෙයි කියන බලාපොරොත්තුවෙන්ම පූර්ව සූදානමක හිටියෙ. මේ පළාත් පාලන මැතිවරණ ආකෘතියෙ නාමයෝජනා සකස් කරන එක සංකීර්ණ වැඩක්. අපි සැලසුම ක්‍රියාත්මක කළා. දැන් සාර්ථකව නාමයෝජනා සැකසීම් කටයුතු අවසන් අදියරේ තියෙන්නෙ.

ඊළඟට තියෙන්නේ අපේ නීතිඥ සංගමයට මේ නාමයෝජනාවල එකිනෙක වැරදි තිබේදැයි බලන්න. දැන් නාමයෝජනා පුරවලා අත්සන් කරන වැඩේ අවසන් වෙලා තියෙන්න. ජනවාරි 21 වැනිදා අපි නාමයෝජනා බාරදෙන්න කටයුතු කරනවා. එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාත් අවසන් අදියරේ තියෙන්නෙ.

I චමිඳු නිසල්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04