2023 ජනවාරි 15 වන ඉරිදා

සංචාරක ලැයිස්තුවේ ඉහළම අංකයකට ලංකාව ඇවිත්!

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 178

අහස වගේම මහ මුහුදත් තද නිල්පාටින් දිදුලන සෞම්‍ය සුළං හමන ගහකොළ හරිත වර්ණය ගැන් වී මල් පිපෙන සුන්දර පෙබරවාරි තවත් දෙසතියකින් උදාවනු ඇත. ඉන්දියන් සාගරයේ සමකාසන්න දූපත් රාජ්‍යයක සොබා සෞන්දර්ය විඳීමට වඩාත් උචිතම මාසය පෙබරවාරියයි.

පසුගියදාක එක්සත් රාජධානියේ "අයි නිව්ස්" වෙබ් අඩවිය පෙබරවාරි මාසයේ නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම සහ ලාභදායීම සංචාරක ගමනාන්ත ශ්‍රී ලංකාව බව කීවේ එබැවිනි. ලොව ප්‍රකට වෙබ් අඩවියක් වන "අයි නිව්ස්" විසින් මෙවන් වාර්තාවක් පළකිරීම මෙරට සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා සුවිසල් පිටුබලයක් බව සඳහන් කළ යුතුය.

සැලකිය යුතු ඒකපුද්ගල ආදායමක් සහිත බොහෝ රටවල ජනතාව සිය නිවාඩු වෙනත් රටක දී භුක්ති විඳීමට පුරුද්දක් කරගෙන තිබේ. කොවිඩ් වසංගත සමයේ එම අවස්ථාව ඇහිරී ගියෙන් 2023 වසරට සිය සංචාරක සැලසුම් බොහෝ කල් දැමූහ. මෙවන් වටපිටාවක් තුළ යුරෝපීයන් සිය සංචාරක සැලසුම් සැකසා ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටියි. "අයි නිව්ස්" වැනි වෙබ් අඩවි මෙවන් වාර්තා පළකරන්නේ එවැන්නන් ඉලක්ක කර ගනිමිනි.

ඒ අනුව වෙනත් රටකට ගොස් නිවාඩු ගතකිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබාගත හැකි රටවල් 12 ක් "අයි නිව්ස්" වෙබ් අඩවිය නම් කර ඇත. එහිදී පෙබරවාරි මාසය වෙනුවෙන් සංචාරක සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බව ඔවුන් දක්වා තිබේ.

මෙහිදී ඔවුන් ශ්‍රී ලංකාව පෙබරවාරි සංචාරය සඳහා නිර්දේශ කිරීමට හේතු කිහිපයක් දක්වා ඇත. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යෙදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි ඔවුන් පවසයි. කෙසේ වෙතත් ඒ එලෙස වේදැයි අපි නම් නොදනිමු. එහෙත් පෙබරවාරිය මල් පිපෙන ස්වභාව සෞන්දර්ය වඩවන මාසයකි.

එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවද ඔවුන් කියා සිටී. ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ටර්ලිං පවුම් එකක් මේ වනවිට රුපියල් 441ක් වී ඇති බවත් "අයි නිව්ස්" වෙබ් අඩවිය පැහැදිලි කරයි. ඒ අනුව දවස් 15ක ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය සංචාරයක් සඳහා පුද්ගලයෙකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1845 ක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ලොවපුරා සංචාරක කර්මාන්ත හා සම්බන්ධ සඟරා, වෙබ් අඩවි වසර මුලදී සංචාරකයන් සඳහා සිය නිර්දේශ ලබාදීම පුරුද්දක් කරගෙන තිබේ. ඒ අනුව අයි නිවුස් වසරේ සියලු මාස සඳහා සිය නිර්දේශ සපයා ඇත. ජනවාරි මස මොල්ටාව, පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය ලාභදායී සංචාරක ගමනාන්ත ලෙස දක්වා තිබේ.

මීට අමතර ලොවපුරා ප්‍රකට සංචාරක වෙබ් අඩවි රැසක් පෙබරවාරි මාසයේ සංචාරයට උචිත රටවල් ලැයිස්තු ප්‍රකාශයට පත්කර ඇති බව අප නිරීක්ෂණ කළෙමු. ඒ අනුව එම ලැයිස්තු රැසක ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබීම සුවිශේෂීය. "සීන් එන් ට්‍රුවල්ස්" වෙබ් අඩවියේ පෙබරවාරි ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳව සඳහන්ව තිබුණි. පෙබරවාරියේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 31°C - 23°C අතර පවතින බවත් තරමක වියළි කාලගුණයක් පවතින බවත් එහි සඳහන් විය. මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ අර්ථික අපහසුතා පිළිබඳවද අවධානය යොමුකර තිබීම විශේෂිතය. ද ඩිප්ලෝමැට් පුවත්පතට උපුටා දක්වමින් ඔවුන් මෙවන් සටහනක් ද තබා තිබුණි.

"ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ, සංචාරක පැමිණීමේ වැඩිවීමක් සිදුවුවහොත්, එම ජාතිය වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි."

තවද මෙම වෙබ් අවඩිය ඔබ "ත්‍රාසජනක ගමනක් සඳහා සූදානම් නම්, එය ආරම්භ කිරීමට හොඳම ස්ථානය වන්නේ ඓතිහාසික අගනුවර වන කොළඹයි, ඉන්පසු වෙරළ තීරයට බැස යටත් විජිත නගරයක් වන ගාල්ල වෙත යන්න, මග දිගේ කටට රහට මුහුදු ආහාර කිහිපයක් භුක්ති විඳින්න" වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මීට අමතර Intrepid Travel වෙබ්  අඩවිය පෙබරවාරි ගමනාන්ත අට අතරේ දෙවැනි තැන ශ්‍රී ලංකාව ලබා දී ඇති බව අප වෙත නිරීක්ෂණ විය. එහි පළමු තැන ලැබී තිබුණේ ඕමානයටයි. ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳ පළකර තිබුණේ මෙවන් සටහනකි.
"නිල් අහස සහ සුදු වැලි වෙරළට වඩා බොහෝ දේ, මෙම කඳුළු බින්දුවක් වැනි දූපතේ සංචාරකයින්ට පිරිනැමෙයි. ඉංග්‍රීසි, ලන්දේසි සහ පෘතුගීසීන් විසින් යටත් විජිතකරණයට ලක් වූ ශ්‍රී ලංකාව විවිධ සංස්කෘතික බලපෑම් ඇති කුතුහලය දනවන දුපතකි. තවද එය එහි ඉතිහාසය තුළ තව තවත් ඉදිරියට ගමන් කරන විට, එහි අනන්‍යතාවය වැඩි වැඩියෙන් බැබළෙන්නට පටන් ගනී."

On the go travel වෙබ් අඩවියේද පෙබරවාරි සංචාරක ලයිස්තුවේ සිව්වන තැන ශ්‍රී ලංකාවට ලැබී තිබෙනු දැකගත හැකි විය. පෙබරවාරියේදී කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහර නැරඹීමට සංචාරකයන්ට අවකාශය උදාවන බවද එහි සඳහන්ව තිබුණි. එසේම නිරිත දිග වෙරළ තීරයේ ගතකළ හැකි නිවාඩුව පිළිබඳවද විස්තර එහි අන්තර් ගත විය.

මේ වගේ වෙබ් අඩවි රාශියක් පෙබරවාරියේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවේ කොට තිබේ. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ දරමින් සිටින අපට එය මහත් අස්වැසිල්ලක් බව අවසානයේ සඳහන් කළ යුතුය. පෙබරවාරිය පිළිබඳ සොඳුරු බලාපොරොත්තු සහිතව ජනවාරියේ අවසන් සති දෙක ගතකිරීමටත් දැන් අපට අවකාශ උදා වී තිබේ.

I චමිඳු නිසල් ද සිල්වා