මෙරට ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රස්ථානය වශයෙන් රටේ හදවත බඳු කොළඹ නගරයේ පරිපාලනය මෙහෙයවීමේ කාර්යභාරය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එකී බාරදූර කාර්යය පැවරී ඇති වැඩිම ජනගහනයක් වෙසෙන බලප්‍රදේශය අයත් කොළඹ මහ නගර සභාව වසර 4කට වරක් මෙරට පළාත් පාලන ආයතන අතුරෙන් වැඩිම අවධානයක් දිනාගනී. ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සහ පත්වන නගරාධිපතිවරයා කවුරුන්දැයි මුළු රටක් බලා සිටීම හේතුවෙනි.
කොළඹ මහ නගර සභාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1865දීය. වර්තමානයේ කොළඹ මහනගර සභාව විහාරමහාදේවී උද්‍යානය අසල තිබුණද මුල්ම කොළඹ නගර සභාව පිහිටියේ පිටකොටුව ගෑස්පහ හංදිය ආසන්නයේය. දේවස්ථානයක හැඩරුව ගත් එදා පැරැණි නගර සභා ගොඩනැගිල්ල අදටත් විරාජමානව තිබෙනු දැකිය හැකිය. එහි ප්‍රථම සභාපතිවරයා වූ චාල්ස් පීටර් ලෙයාර්ඩ් ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකි. ඔහු 1866 සිට 1877 දක්වා එම තනතුරේ කටයුතු කළේය. එකල නගරාධිපති තනතුර හැඳින්වූ නිල නාමය වූයේ 'අති ගෞරවනීය කොළඹ නගරාධිපති’ යනුවෙනි. එකල කොළඹ මහනගර සභාවට මන්ත්‍රීවරුන් තෝරාපත්කර ගන්නා මැතිවරණයේදී මන්ත්‍රීවරයකු වීමට අවශ්‍ය වූයේ සීමිත සුදුසුකම් කිහිපයක් පමණකි. එනම් අපේක්ෂකයා රුපියල් 5000ක වටිනාකමක් ඇති ඉඩමක පදිංචිකරුවෙක් විය යුත්තේය. එසේ නැතිනම් රුපියල් 500ක ආදායමක් සහිත නිවෙසක පදිංචි වී සිටිය යුතුය. ඡන්ද දායකයකු වීමට සුදුසුකම වූයේ වයස 21 සම්පූර්ණ වීමත් රුපියල් 100 කට නොඅඩු වටිනාකමක් ඇති දේපළක් තිබීම පමණය.
එදා සිට අද දක්වාම නගරාධිපතිවරු රැසක් කොළඹ නගරය පාලනය කළහ. ළඟ එන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ මහ නගර සභාව සඳහා මෙවර උණුසුම් තරගයක් නිර්මාණය වෙමින් තිබේ. කොළඹ නගරාධිපති පුටුව එසේ මෙසේ පුටුවක් නොවේය. රාජ්‍ය නායකයන්, කතානායකවරුන් පවා බිහිකළ පුටුවකි. නගරාධිපති පුටුවෙන් දේශපාලනය අරඹා පාර්ලිමේන්තුව දක්වා ගිය අය මෙන්ම පාර්ලිමේන්තුවෙන් ඉවත් වී නගරාධිපති පුටුවට පැමිණෙන්නෝද සිටිති.
වර්තමාන කොළඹ නගරාධිපති ධුරය හොබවනුයේ 1984දී මෙරට ප්‍රථමවරට විශ්ව විවාහක රූ රුජිණ කිරුළ දිනූ රෝසි සේනානායකය. ඇය 2018 වසරේ සිට වර්තමානය දක්වා ධුරය දරන්නීය. කොළඹ මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථමවරට නගරාධිපති ධුරයට කාන්තාවක පත් වූ මුල්ම අවස්ථාව එයයි. ඇය යළි නගරාධිපති ධුරයට පත්කිරීම සම්බන්ධයෙනුත් නිශ්චිත තීරණයක් මේ වනතෙක් ගෙන නැතැයි ආරංචි මාර්ග කියයි.
ළඟ එන පුංචි ඡන්දයට කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නම් කරනු ලැබ සිටී. මේ වනවිට කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂනායක ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එම්.එච්. මන්සිල් මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමකින් මෙවර පුරපති පුටුවට තරග කරන්නේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ ෆයිසර් මුස්තාපා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට යෝජනා කර ඇත. එසේම ජාතික ජනබලවේගයද කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල කටයුතු කරමින් සිටින බව කියයි.
එහෙත් ලක්ෂ 7කට ආසන්න ජනගහනයක් වෙසෙන කොළඹ නගරය වනාහි එක්සත් ජාතික පක්ෂයේ බලකණුවක් බව නොරහසකි. වසර ගණනාවක් තිස්සේ කොළඹ මහ නගර සභාවේ පුංචි ඡන්දයේ නිල ඡන්ද ප්‍රතිඵලය එයට සාක්ෂි සපයයි.
කොළඹ නගරාධිපති ධුරයට පත් වූ ප්‍රථම නගරාධිපතිවරයා වන්නේ ආචාර්ය ශ්‍රීමත් රත්නසෝති සරවනමුත්තුය. ඒ 1865දී කොළඹ නගර සභාව ආරම්භ කිරීමෙන් වසර 71 කට පසු එනම් 1936දීය. ඔහු 1937 සිට 1946 දක්වා කොළඹ මහ නගර සභාව නියෝජනය කළ අතර 1937 මැයි සිට 1937 දෙසැම්බර් දක්වා නගර සභාවේ පළමු නගරාධිපති ධුරය දැරූ අතර යළිත් 1941 ජනවාරි සිට 1942 දෙසැම්බර් දක්වාත් නගරාධිපති ලෙසින් හෙතෙම කටයුතු කළේය.
1866 සිට කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරු රැසක් සහ සභිකයෝ විශාල පිරිසක් සභාව නියෝජනය කර සිටිති. මෙරට පතළ බොහෝ දේශපාලනඥයන් දේශපාලන දිවියේ අත්පොත් තැබූයේ කොළඹ මහ නගර සභාවෙනි. එහි සෙවණ ලද නායකයෝ බොහෝමයක් පසුකලෙක මෙරට දේශපාලනයේ පතාක යෝධයෝ වූහ.
මෙරට විධායක ජනධිපතිවරුන් වූ ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් දේශපාලනයේ මුලකුරු කියැවූයේ කොළඹ නගර සභාවේය. ජේ.ආර්. ජයවර්ධන මහතා 1941 සිට 1943 දක්වා ග්‍රූන්ඩ්පාස් නාගරික මන්ත්‍රීවරයා ලෙසත්, ප්‍රේමදාස මහතා 1950 සිට 1957 දක්වාත් 1961 සිට 1965 දක්වා ශාන්ත බස්තියම සහ කෙසෙල්වත්ත ආසනවල කොළඹ නගර සභාවේ සභික තනතුරු දැරූහ.
මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1926දී මෙරට දේශපාලනයට පිවිසුණේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස කොළඹ මහ නගර සභාවට තරග කරමිනි. ඉන්පසු 1927-1931 දක්වා කාලයේදී ඔහු මරදාන නියෝජනය කරමින් නගර සභිකයෙක් ලෙසින් සිටියේය.
නිදහස් ව්‍යාපාරයේ නියමුවකු වූ ඇෆ්.ආර්. සේනානායක 1914දී කොළඹ නගර සභාවට නිතරගයෙන් තේරී පත් වී වසර 5ක් කොල්ලුපිටිය කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා වශයෙන් සේවය කළේය.
ඒ.ඊ. ගුණසිංහ මෙරට කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමියා වේ. ඔහු කලක් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය. ඉන්පසුව ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක්ද වූයේය. එමෙන්ම වාමාංශික නායකයන් වූ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, රොබට් ගුණවර්ධන, ඇම්.ජී. මැන්ඩිස්, බර්නාඩ් සොයිසා, විවියන් ගුණවර්ධන ආදී ප්‍රබල මාස්ක්වාදී නායකයෝ කොළඹ නගර සභාව නියෝජනය කළහ.
කොළඹ නගර සභා ඉතිහාසයේ පත් වූ ලාබාලම නගරාධිපති වූයේ එජාපයේ එම්.එච්. මොහොමඩ් මහතාය. එකම මාක්ස්වාදී නගරාධිපතිවරයා වූයේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. එලෙසම සම ඡන්ද ලබා කුසපත් ඇදීමකින් නගරාධිපති ධුරයට පත් වූ එකම නගරාධිපතිවරයා වන්නේත් ඇන්.ඇම්.ය. ඒ 1954 දීය. එලෙසම 1974-1977 කාලයේදී ඒ.එච්.එම්. ෆවුසි නගරාධිපති ධුරය දැරීය.
කොළඹ මහ නගර සභාවෙන් දේශපාලනය ආරම්භ කරමින් කැබිනට් අමාත්‍යවරයකු දක්වා මෙරට කැපී පෙනෙන දේශපාලනයක නිරත වූවකු ලෙස සිරිසේන කුරේ හඳුනාගත හැකිය. සිරිසේන කුරේ මහතා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් 1979 කොළඹ නගර සභාවට තරග කොට නගරාධිපතිවරයා ලෙස තේරී පත්ව 1989 තෙක් අඛණ්ඩව නගරාධිපති ධුරයේ කටයුතු කළේය. කොළඹ නගර සභා ඉතිහාසයේ දීප්තිමත්ම යුගයක් සනිටුහන් කරන්නට එතුමා සමත් විය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම්උදාව වැඩපිළිවෙළට නගරාධිපති ධුරයේ සිටම නගර සභාව හරහා විශාල කාර්ය භාරයක් ඉටු කළ සිරිසේන කුරේ 1989දී පාර්ලිමේන්තුවට පිවිසි අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් වූයේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත දේශබන්දු කරු ජයසූරිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වන්නේ 1997-1999 දක්වා කාලයේදීය. එම කෙටි කාලයෙන් පසු ඔහු සිය සේවය නිමකළේ ආසියාවේ ආදර්ශවත්ම නගරය කොළඹ බවට 1999 වසරේ ආසියානු සංවර්ධන බැංකුව විසින් කරනු ලැබූ ඇගයීමකිනි. නගරාධිපති පුටුවෙන් අරඹා පාර්ලිමේන්තු ගිය කරු ජයසූරිය මහතා නැවතුණේ කතා නායක පුටුවෙනි. 2011 පළාත් පාලන මැතිවරණය තීරණාත්මක විය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් මිලින්ද මොරගොඩ සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඒ.ජේ.එම්. මුසම්මිල් තරග වැදුණු අතර එක්සත් ජාතික පක්ෂයට ආසන 23ක් හිමිකර ගනිමින් කොළඹ නගරාධිපති ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් පත් වූයේය. ඔහු 2011 සිට 2015 දක්වා කාලයේ ධුරය හෙබවූයේය.
කොළඹ නගර සභාවෙන් අත්පොත් තැබූ බොහෝ දෙනකුගේ ඊළඟ නැවතුම පාර්ලිමේන්තුව වුවද 2006 සිට 2011 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙස සේවය කළ උවයිස් මොහොමඩ් ඉම්තියාස් සිය සේවා කාලය අවසන් කිරීමෙන් පසු ඔහුගේ ඊළඟ නැවතුම වූයේ හංදියේ සුපුරුදු ත්‍රිරෝද රස්සාවයි.
මේ ආකාරයට ඓතිහාසික මෙරට විශාලතම මහ නගර සභාවේ නගර සභික නාමාවලිය සහ නගරාධිපති නාමාවලිය ඉදිරිපත් කිරීම මෙලෙස කෙටි පුවත්පත් ලිපියකට සාරාංශ කළ නොහැකිය. එහෙයින් තෝරාගත් විශේෂ අවස්ථා කිහිපයක් පමණක් මෙහි සඳහන් කළෙමු.
රටට නායකයන් බිහිකළ කොළඹ පුරපති පුටු හරඹයට පක්ෂ ගණනාවක අපේක්ෂකයෝ මේ වනවිට සූදානමින් සිටිති. එහෙයින් ළඟ එන පුංචි ඡන්දයේදී වඩාත් නීතිගරුක සර්ව සාධාරණ මැතිවරණයකට දොරගුළු විවර වේවා යැයි පතමු.
I සසංක චලන ගිම්හාන