දේශීය සිනමාවේ අග්‍රගණ්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරිය වූ කලාකීර්ති ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය පසුගියදා පෞද්ගලික රෝහලකදී තම දිවිසැරිය නිමා කළාය. සමුගන්නා විට 88 වැනි පසූ වූ ඇය සිංහල සිනමාවේ මහා සිනමාවේදියාණන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූවාය.
1934 මාර්තු 24 දින උපත ලද සුමිත්‍රා ගුණවර්ධන සිනමාවට පිවිසියේ සහාය අධ්‍යක්ෂිකාවක හා සංස්කරණ ශිල්පිනියක ලෙසිනි. තම සැමියාගේ නිර්මාණවලට දායක වූ ඇය ගැහැනු ළමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසියාය. ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ සහ වෛශ්නාවී ඇගේ නිර්මාණ. අතර වෙයි. දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ නිර්මාණ. ඕ.සී.අයි.සී, සරසවිය, ජනාධිපති යන මෙරට සියලු සම්මාන උළෙලයන්හි සහ කාතේජ්, ලන්ඩන්, ටෝකියෝ, මොස්කව්, ෆිල්මෙක්ස්, නැන්ටස්, ෆුකෝකා, වැනි ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය. හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙස ගම්පෙරළිය, දෙලොවක් අතර, අහසින් පොළොවට සහ බක්මහ දීගේ යන චිත්‍රපට සඳහාද ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය, ලොකු දුව, දුවට මවක මිස යන චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂිකාව ලෙසද ඇය සරසවි, ජනාධිපති, ඕ.සී.අයි.සී. සහ විචාරක යන සම්මානයට පාත්‍ර වූවාය. ඒ හැර සන්නිවේදනය සඳහා වන ආතර් සී ක්ලාක් සොන්ටා සම්මානයත්, ජීවිත කාලයටම එක්වරක් පිදෙන රණ තිසර සම්මානයත් ඇයට හිමි විය.
ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට මාක්ස්වාදී චරිතයන් වන අවිස්සාවේල්ලේ 'බොරළුගොඩ ගුණවර්ධන' පවුලේ සාමාජිකාවක වූ සුමිත්‍රා ගුණවර්ධනගේ පියා අවිස්සාවේල්ලේ සුප්‍රකට නීතීඥවරයකු වූ හෙන්රි ගුණවර්ධනය. ඔහු මෙරට ප්‍රකට දේශපාලඥයින් වූ පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධනගේ සොහොයුරාය. ඇගේ මව හැරියට් වික්‍රමසිංය. ගාමිණී, රංජිත් සහ චන්ද්‍රලතා යන සොයුරු සොයුරියන් තිදෙනකුගේ සොහොයුරිය වූ සුමිත්‍රාට වයස අවුරුදු 14 වනවිට ඇගේ මව අභාවප්‍රාප්ත වූවාය.. මවගේ වියෝවෙන් පසු වැඩිමලු සොහොයුරා වූ ගාමිණී දකුණු ප්‍රංශයට ගොස් එහි ජීවත් විය.
අවිස්සාවේල්ලේ සාන්ත මේරී විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සුමිත්‍රා පසුව කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ලන්ඩන් උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ ඇක්වයිනාස් ආයතනයට එක් වූවාය.
20 හැවිරිදි සුමිත්‍රාගේ අරමුණ වූයේ කෙසේ හෝ මුදල් ටිකක් උපයාගෙන ප්‍රංශයට ගොස් තම සොහොයුරා හමුවීමය. මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට ගිය ඇය ටික කලක් එහි ජීවත් වූයේ කුඩා යාත්‍රාවකය.
පසුව ලන්ඩනයට ගිය ඇය 1956 ගිල්මොර් රොබට්ස් විසින් ආරම්භ කළ ලන්ඩන් චිත්‍රපට තාක්‍ෂණ පාසලෙන් චිත්‍රපට පාඨමාලාවක් හැදෑරූ අතර චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් (1957-1959) දිනා ගත්තාය. එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව වූයේ ඇයයි. අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු කෙටි කලක් මායි හැරිස් නමැති චිත්‍රපට උපසිරැසි සමාගමක සේවය කළ සුමිත්‍රා ගුණවර්ධන යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළාය. සුමිත්‍රාට ලෙස්ටර් ජේම්ස් පීරිස් පළමුවරට හමුවූයේ ලන්ඩනයේ ලෙස්ටර්ගේ හා සුමිත්‍රාගේ මිතුරකු වූ වර්නන් මෙන්ඩිස්ගේ නිවෙසේදීය. ඔහු තම අනාගත සැමියා වනු ඇතැයි ඒ මොහොතේ ඇය නොසිතුවද ඔවුන්ගේ ඉරණම එම හමුවීම තුළ ලියැවී තිබිණි.
රජයේ චිත්‍රපට අංශයට එක්වීම සඳහා ලංකාවට පැමිණි ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉන් ඉවත්ව රේඛාව අධ්‍යක්ෂණය කළේය. ඉන්පසු ඔහු තම දෙවැනි චිත්‍රපටය වූ සංදේශය නිර්මාණය කිරීමට සූදානම් විය. තම සොහොයුරියට ලෙස්ටර්ගේ නව නිර්මාණය සඳහා දායක විය හැකිදැයි සුමිත්‍රාගේ සොහොයුරු ගාමිණි දිනක් ලෙස්ටර්ගෙන් විමසා සිටි අතර ලෙස්ටර් ඇයට අවස්ථාවක් දීමට එකඟ විය. සුමිත්‍රා සන්දේශය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂිකාව වූයේ ඒ අයුරිනි.
1963දී ඇන්ටන් වික්‍රමසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා ගුණවර්ධන ප්‍රධාන කොටස්කරුවන් වූ සිනෙලංකා චිත්‍රපට නිෂ්පාදන සමාගම ආරම්භ කෙරිණි. 1964 ජූනි 19 දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සුමිත්‍රා ගුණවර්ධන, ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ විවාහපත් වෙමින් සුමිත්‍රා පීරිස් බවට පත්වූවාය. මංගල උත්සවය පැවැත්වුණේ ඇන්ටන් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේදීය.
එතැන් සිට ඔවුන්ගේ ජීවිතය කැපවූයේ සිනමාව වෙනුවෙනි. සුමිත්‍රා සිනමා අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ වූයේ ගැහැනු ළමයි සිනමා කාව්‍ය තුළිනි. කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාව ඇසුරින් නිර්මාණය වූ එම චිත්‍රපටයෙන් වසන්ති චතුරානිගේ ආගමනයද සිදුවිය.
ශ්‍රී ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 1980 දශකයේ ආරම්භ කළ ජනාධිපති කොමිසමේ සාමාජිකාවක ලෙස වසර දෙකක කාලයක් සාමාජිකාවක ලෙස කටයුතු කළ ඇය 1988-1990 කාලයේ ශ්‍රී ලංකාවේ වර්ල්ඩ්වීව් ජාත්‍යන්තර ආයතනයේ නිෂ්පාදන කටයුතු භාරව සිටියාය. එසේම 1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කළාය.
1996-1999 ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කළ සුමිත්‍රා පීරිස් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පසුව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්කරන ලදී. ශ්‍රී ලාංකේය සිනමාවේ වසර පනහක කාලය තුළ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයට පාත්‍රවූයේද ඇයයි. 2005 දී ශ්‍රී ලංකා රජය ඇය කලා කීර්ති සම්මානයෙන් පුදන ලද අතර 2021 දී ජපන් රජය විසින් නැඟෙන හිරු, රන් සහ රිදී කිරණ යන සම්මානයෙන් පිදීය. දේශීය සිනමාවට ඇය කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
සුමිත්‍රා පීරිස් මහත්මියණි ඔබට සුව නින්දක්!
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා