2023 ජනවාරි 22 වන ඉරිදා

ලංකාව අනතුරේ දාන ඉන්දියාවේ සේතුසමුද්‍රම්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 182

ඉන්දියාවේ සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යනු ලංකාවත් ඉන්දියාවත් අතර යාපනයට ඉහළින් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. පෝක් සමුද්‍රසන්ධිය හරහා ඇළ මාර්ගයක් ඉදිකොට ශ්‍රී ලංකාව වටා යන නෞකාවලට කෙටි මාර්ගයකින් යාත්‍රා කිරීම සඳහා මාර්ගයක් සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණය. ඒ අනුව නාවික සැතපුම් 44.9 (සැතපුම් 51.7ක් හෝ  කි.මී. 83.2ක්) දිග, මීටර් 300ක් පළල ඇළ මාර්ගයක් සකස් කිරීමට තීරණය විය. දැනට මෙම ප්‍රදේශයේ ගැඹුර අඩි 11ක් පමණි. එය අඩි  38ක් පමණ (මීටර් 12ක් පමණ) ගැඹුරු කළ යුතුය.

ඉන්දියාව හා වෙනත් රටවල නැව්වලට ඉන්දියාවේ බටහිර වරායවල සිට නැගෙනහිර වරායවලටත්, නැගෙනහිර සිට බටහිර වරායවලටත් යාත්‍රා කිරීමට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකාව වටාය. එයට වැඩිදුරක් හා කාලයක් ගතවන අතර වැඩි පිරිවැයක්ද දැරීමට සිදුවේ. සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් ඒ සියල්ලටම විසඳුමක් ලැබෙන බව ඉන්දීය රජයේ අදහස විය. නව ව්‍යාපෘතිය මගින් යාත්‍රාකරන කාලය පැය 36කින් අවම වන බව පැවසේ.

1998 වසරේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික සැලසුම් ක්‍රියාත්මක කළේ ඉන්දියානු අගමැති අතල් බිහාරි වජ්පායිගේ පාලන සමයේය. 2005 ජූලි මාසයේ ඉන්දියානු රුපියල් කෝටි 2400ක වැය කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අගමැති මන්මෝහන් සිං  උත්සාහ කළද භාරතීය ජනතා පක්ෂය හා හින්දු සංවිධාවලින් සහ හරිත ව්‍යාපාරවලින් නැගුණු විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ඉන්දියාවට සිදුවිය.

හින්දූන් ඉමහත් භක්තියෙන් සලකන ආදම්ගේ පාලම පිහිටා ඇත්තේ  තලෙයිමන්නාරමේ සිට ධනුස්කොඩි දක්වා කිලෝමීටර 32ක් ඔස්සේ විහිදුණු ප්‍රදේශයකය. මෙහි වැලිපර 16ක් පවතින අතර එම වැලිපර 16න් අටක හිමිකම ශ්‍රී ලංකාවටද අනෙක් අටේ හිමිකම ඉන්දියාවද සතු වේ. හින්දූන් මෙම පාලම හඳුන්වන්නේ ශ්‍රී රාම් සේතු ලෙසිනි. පෝක් සමුද්‍රසන්ධිය ඔස්සේ ඉදි කිරීමට නියමිත ඇළ මාර්ගය වැටී ඇත්තේ ආදම්ගේ පාලම හරහාය. හින්දු භක්තිකයන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට එරෙහි වූයේ මෙම ඇළ මාර්ගය ඉදිකළහොත් ආදම්ගේ පාලමට හානියක් සිදුවනු ඇතැයි සිතූ බැවිනි.

පෝක් සමුද්‍රසන්ධිය හරහා ඇළ මාර්ගයක් සකස් කොට ජත්‍යන්තර මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීමට මුලින්ම සාකච්ඡා වූයේ 1860 වසරේ බ්‍රිතාන්‍යයන් විසිනි. ඒ ඇල්ෆ්‍රඩ් ඩන්ඩාස් ටේලර් විසින් ලංකාව වටා නොගොස් කෙටි මාර්ගයකින් ගමන් කළ හැකි නැව් මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය රජයට පෙන්වා දීමත් සමඟය. එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නැත.

කලකට ඉහත ක්‍රියාත්මක කිරීමට සූදානම්ව නවතා දැමුණු සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් කටයුතු කරමින් සිටී. එයට මග සැලසුණේ මධ්‍යම රජයේ විද්‍යා අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි. ඒ රාමායණයේ සඳහන් වන පරිදි ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැබවින්ම පැවතියේදැයි කීමට අපහසු බව අමාත්‍ය ජිතේන්ද්‍ර සිං පසුගියදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයයි. ජිතේන්ද්‍ර සිං පවසා තිබුණේ චන්ද්‍රිකා ඡායාරෑප හරහා රාම් සේතු ගවේෂණය කිරීමේ සීමාවන් පවතින බවයි. රාමායණ ඉතිහාසය වසර 18,000කට වඩා පැරණි බවත්, පාලම කිලෝමීටර 56ක් දිග විය යුතු බවත් ඔහු පැවසීය. ගිලුණු වැලිපර පාලමක කොටස්වල නටබුන් යැයි නිවැරදිව පැවසිය නොහැකි බවද සඳහන් කළ ඔහු චන්ද්‍රිකා ඡායාරෑපවලට මෙහි සම්භවය සහ කාලය පිළිබඳ සෘජු තොරතුරු සැපයිය නොහැකි බවද පැවසීය.

මෙම ප්‍රකාශයෙන් තමිල්නාඩුවේ මහ ඇමැති ස්ටාලින් උද්දාමයට පත්විය. පසුගියදා ඔහුගේ මූලිකත්වයෙන් පැවැති සභා වාරයකදී තමිල්නාඩුවේ සියලුම දේශපාලන පක්ෂ එක්ව අත්හිටුවන ලද සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය යළි ආරම්භ කරන ලෙසට මධ්‍යම ආණ්ඩුවට බලකරන යෝජනාවක් සම්මත කරගත්හ. යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ස්ටාලින් පැවසුවේ තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය බවයි. මෙම ව්‍යාපෘතිය බහුවිධ ප්‍රතිලාභ ලබාදෙන බවද ඔහු කියා සිටියේය. “මෙම ව්‍යාපෘතිය මගින් ධීවරයන්ට මන්නාරම් බොක්කේ සිට පෝක් සමුද්‍ර සන්ධිය දක්වා ගමන් කිරීමට හැකිවන අතර ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල වරායන් මගින් ඉන්දීය භාණ්ඩ ප්‍රතිනැව්ගත කිරීම වැළැක්වීමට උපකාරී වේ. ඊට අමතරව, මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්ෂාව ශක්තිමත් කරන අතර පුද්ගලයන් 50,000 කට රුකියා අවස්ථා හිමිකර දෙනු ඇතැයි'' ඔහු සඳහන් කළේය.

සේතුසමුද්‍රම් ව්‍යාපෘතියේ අරමුණ ශ්‍රී ලංකාව වටා නැව්වලට යාම වැළැක්විය හැකි පරිදි ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර වෙරළ තීරයන් අතර මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම බව පෙනෙන්නට තිබේ. පැනමා සහ සූවස් ඇළවල් වලට සමාන මෙම ඇළ මාර්ගය සමුද්‍රීය වෙළෙඳාමට පහසු වන බව ඉන්දියාවේ අදහසයි. මින් ඉහත මෙම ව්‍යාපෘතියට විරුද්ධ වූ භාරතීය ජනතා පක්ෂයද තමිල්නාඩු යෝජනාවට කොළ එළියක් දල්වා තිබේ. භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කුප්පුසාමි අන්නාමලෙයි ප්‍රකාශ ඇත්තේ. තමිල්නාඩු රජය, මධ්‍යම රජය සමඟ සාකච්ඡා කර, රාම් සේතු පාලමට බාධාවක් නොවන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් තම පක්ෂය සේතුසමුද්‍රම් යෝජනාවට සහාය ලබාදෙන බවටය. එහෙත් ඇතැම් හින්දු සංවිධාන යළි තම විරෝධය පළකරමින් සිටිති. ඔවුන් සඳහන් කර ඇත්තේ ඇතැම් පුද්ගලයන් තම මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් හින්දු දහමට හානිකරන මෙවැනි ක්‍රියා සිදු කිරීමට පෙළඹී සිටින බවයි. ඇතැම් සංවිධාන මෙය තම දහමට එරෙහි ක්‍රියාවක් බව පවසමින් හෙළා දැක තිබේ.

සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත්, ජාත්‍යන්තර නෞකාවලට ශ්‍රී ලංකාව වටා යාත්‍රා නොකොට කෙටි මාර්ගයකින් ලංකාව පසුකර යා හැකිය. එසේ වුවහොත් වාණිජ මෙහෙයුම් සියල්ල අහිමි වී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වනු නොවැළැක්විය හැකිය. දැනට ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම් රුසක් සිදුවන්නේ කොළඹ වරායෙනි. කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ඉන්දියාවට ඇදී යන අතර, ඉන් හම්බන්තොට සහ ත්‍රිකුණාමල වරායනටද දැවැන්ත අගතියක් සිදුවනු ඇත. ගැඹුරු කැණීම් හා නිරන්තර නෞකා ගමනාගමනය හේතුවෙන් මන්නාරම් බොක්කේ මත්ස්‍ය සම්පතද අපිට අහිමි විය හැකිය.

කාලගුණ විද්‍යාඥයන්ට අනුව මෙම කලාපය අනපේක්ෂිත සුළි කුණාටු හේතුවෙන් ඉතා අවදානමට ලක්විය හැකි කලාපයකි. පාරිසරික බලපෑම් තක්සේරුවට (Environmental Impact Assessment) අනුව මන්නාරම් බොක්කේ සාගර ජෛව රක්ෂිතය, කොරල්පර විශේෂ 117ක් සහ කඩොලාන විශේෂ 17ක් ඇතුළුව ශාක හා සත්ත්ව විශේෂ 3600 කට වඩා ඇත. තවද, මෙම ප්‍රදේශය මුහුදු කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් සහ මුහුදු ඌරන් (DUGONG) වැනි දුර්ලභ විශේෂවල නිවහනක් බව EIA වාර්තාවේ සඳහන් වේ. මුහුදු ඌරන් සෘතු වෙනස් වීමත් සමඟ සංක්‍රමණය වන දුර්ලභ හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයකි.

මන්නාරම් බොක්කේ සාගර ජෛව රක්ෂිතය පිහිටා ඇත්තේ ඉදි කිරීමට යෝජිත ඇළ මාර්ගයේ සිට කිලෝමීටර 20ක පමණ නුදුරිනි. එය අති සංවේදී සාගර කලාපයකි. නාවික ගමනාගමනය නිසා මෙයට හානි විය හැකි වන අතර ඉස්සන්, කැස්බෑවන් සහ මසුන්ට අවශ්‍ය මුහුදු තෘණ හා කොරල්පර අහිමි වීමෙන් ඔවුන් අනාරක්ෂිත වන බවද සාගර විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

ඉන්දීය පරිසර සංවිධානයක් වන ''පූවුලගින් නන්බර්ගල්'' නමැති සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය මගින් යහපතට වඩා අයහපතක් සිදුවන බවටය. ''මන්නාරම් බොක්ක ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මුහුදු ඌරන් සහ ඩොල්ෆින් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ක්ෂීරපායින්ද එම ප්‍රදේශයේ ජීවත්වන හෙයින් ඔවුන්ද වඳවීමට ඉඩ තිබේ. දේශගුණික විපර්යාස හා කොරල්පර විනාශ වීම හේතුවෙන්  මන්නාරම් බොක්කේ දූපත් 21න් 2ක් මේ වනවිටත් ජලයෙන් යට වී ඇති බවද එම නිවේදනයෙන් අවධාරණය කර ඇත. ඇළ මාර්ගය සකස් කිරීමේදී කොරල්පර ඉවත් කිරීම නිසා ඉතිරිව ඇති දූපත් ජලයෙන් යටවී යනු ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතියෙන් විශාල ආර්ථික වාසියක් හිමි නොවන බවයි. ''මෙම ඇළ මාර්ගය ඔස්සේ ගමන් කළ හැක්කේ ටොන් 30,000ට වඩා බරින් අඩු යාත්‍රාවලට පමණයි. ඇළ මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී වේගය අඩු කළයුතු බැවින් එය ඉන්ධන පිරිවැය වැඩි කරයි'' යනුවෙන් එම ප්‍රකාශය ගෙනහැර දක්වයි.

තවද මෙම ව්‍යාපෘතිය මගින් ගම්මාන 140ක ධීවරයන්ගේ ජීවනෝපායට බලපෑම් එල්ල වනු ඇති බවත් ඔවුන් ස්වයංපෝෂිත ආර්ථික රටාවක සිට පෞද්ගලික ආයතනවල සේවකයන් බවට පත් කෙරෙන බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි. 
මෙම ව්‍යාපෘතිය ඉදිවන්නේ අධිපාරිසරික කලාපයක බව ශ්‍රී ලාංකික පරිසර සංවිධාන පෙන්වා දෙයි. 1992 පරිසරය හා සංවර්ධනය පිළිබඳ රියෝ ප්‍රකාශනයේ 15 වැනි වගන්තිය උපුටා දක්වන ඔවුන් “පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා රාජ්‍යයන් විසින් ඔවුන්ගේ හැකියාවන් අනුව පූර්ව ආරක්‍ෂක ප්‍රවේශය පුළුල් ලෙස යෙදිය යුතු යැයි සඳහන් කරයි. සම්පූර්ණ විද්‍යාත්මක නිශ්චිතභාවයක් නොමැතිනම් බරපතල හෝ ආපසු හැරවිය නොහැකි හානියක තර්ජන පවතින විට, පරිසරයට හානිදායක වන ක්‍රියාමාර්ග වැළැක්වීමට කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති. 

සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2009 දී නතර වූයේ ජාතික සාගර විද්‍යා ආයතනය එහි ශක්‍යතාව සැකකරන බැවින්, එය ඉවත් කරන ලෙස ඉල්ලා 2009 දී භාරතීය ජනතා පක්ෂයේ සභාපති සුබ්‍රමනියන් ස්වාමි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම හේතුවෙනි. තමිල්නාඩු පරිසර දූෂණ පාලන මණ්ඩලයද ව්‍යාපෘතිය අත්හිටුවීමට නිර්දේශ කර තිබිණි. දැන් යළිත් හිස ඔසවමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවට දැවැන්ත පාරිසරික හා ආර්ථික හානියක් සිදුකළ හැකි එම ව්‍යාපෘතියයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා