2023 ජනවාරි 22 වන ඉරිදා

දේශපාලන කරළිය හෙල්ලූ ඓතිහාසික නඩු තීන්දුව

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 36

පසුගිය සතියේ ඉතාම සුවිශේෂ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණි. මෙම තීන්දුව නිකුත් කළේ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් වන අතර එම මණ්ඩලයේ ප්‍රධානියා වූයේ අග්‍ර විනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාය. බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සෙසු සාමාජිකයෝ වූහ. තීන්දුව ප්‍රකාශයට පත් වූයේ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය පරිදිය. 

මෙම නඩුවට නඩු නිමිත්ත වන මූලික අයිතිවාසිකම් පෙත්සම් දොළහක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ කොළඹ 02 හි පදිංචි ජානින් විතානගේ, ජූඩ් පෙරේරා යන අය ඇතුළු පිරිසක් විසිනි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මෙම පෙත්සම්වල ප්‍රධාන චෝදනාව වූ අතර ඒවායේ වගඋත්තරකරුවන් කරනු ලැබ තිබුණේ රටේ ප්‍රධානතම වගකිවයුත්තන් පස් දෙනකු වීම සුවිශේෂ සිද්ධියක් විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන පස්දෙනා මෙහි වගඋත්තරකරුවන් කර තිබුණි.

මෙම පාස්කු ත්‍රස්ත ප්‍රුහාරය එල්ල වූයේ දැනට වසර හතරකට පෙර 2019 අප්‍රේල් මස 21 වැනිදා ඉරිදා උදෑසනය. පාස්කු දේවමෙහෙය පැවැති අවස්ථාවේ පල්ලිවලට යන ක්‍රිස්තු භක්තිකයන් එල්ල කරගෙන මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණු අතර එහි අරමුණ බොහෝ දුරට ඉටු වී තිබුණි. දේවස්ථාන ගණනාවක එක් දින සිදුවූ පිපිරීම් නිසා විදේශිකයන්, කුඩා දරුවන් ඇතුළු 269 දෙනකු මිය ගොස් සිටි අතර තවත් 500කට අධික පිරිසක් සදාකාලික අබ්බගාතයෝ බවට පත් වූහ.

මෙම මහා දරුණු අපරාධය පිළිබඳ බලාපොරොත්තු වූ තරම් ඉක්මනින් විමර්ශන සිදු නොවූ අතර වගකිව යුත්තන් කර අරින බවක් දක්නට ලැබුණි. මේ පිළිබඳ කතෝලික රදගුරුතුමා ඇතුළු පාලක සභාව මගින් ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කළ අතර මෙලෙස විමර්ශන ඇල්මැරුණු ස්වභාවයෙන් පවත්වාගෙන යාම ගැන කතෝලික ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටි බවක් දක්නට ලැබුණි. පසුගිය රජය මගින් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සෙවීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක්ද පත් කර තිබුණු අතර එහි වාර්තාව ප්‍රකාශයට පත් කර තිබුණද වගකිව යුත්තන් පිළිබඳව පියවර ගැනීම දිගින් දිගටම ප්‍රමාද විය.

මෙම නිද්‍රාශීලී පියවර පිළිබඳ ජාති, ආගම් භේදයකින් තොරව රටේ ජනතාව කලකිරී සිටියදී ජනාධිපති ඇතුළු හිටපු උසස් නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් රුසක් ඉදිරිපත් කෙරුණි. එම රජයේ අග්‍රාමාත්‍ය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පෙත්සම් ගොනු කිරීමේදී වගඋත්තරකරුවකු කර තිබුණද, හෙතෙම ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපති මුක්තිය හිමිවීම නිසා ඔහුගේ නම ඉවත් කිරීමට විනිසුරු මඩුල්ල සැප්තැම්බර් මස 26දා නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පැය 1 විනාඩි 20 ක් ගතවී තිබුණු අතර පසුගිය 13 වැනිදා අගවිනිසුරුවරයා කියවූ නඩු තීන්දුව පිටු 122 කින් සමන්විත විය. පෙත්සම්කරුවන්ට පෞද්ගලිකව නියෝග කළ දඬුවම්වලට අතිරේකව මියගිය අයකුට ලක්ෂ 10 බැගින් සහ මියගිය කෙනකුට ලක්ෂ 5 බැගින් ද මාස 6 ක් තුළ ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියම කිරීම කැපී පෙනේ. වන්දි මුදල් බැර කිරීම සඳහා වෙනම අරමුදලක් පිහිටුවා මෙම වන්දි මුදල් එයට බැර කරන ලෙසද නියෝග කෙරුණි. එසේම මුදල් ආධාර කළ හැකි අය වෙතොත් ඒ සඳහා කොටස්කරුවන් වන ලෙසට නියෝගයක් මගින් මහජනතාවට නිකුත් කර තිබීම වැදගත්ය. එපමණක් නොව එම අරමුදල පිළිබඳ කටයුතු නිසි පරිදි සිදුවේද යන්න අධීක්ෂණය කිරීමට නීතිපතිටද නියෝගයක් නිකුත් කර තිබුණි.

නඩු තීන්දුව සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික බුද්ධි තොරතුරු අංශයට සුදුසුකම් ලැබූ නිලධාරීන් පත් කර, ඔවුන්ට නිසි ආකාරයෙන් පුහුණුව ලබා දී බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ මෙසේ ද සඳහන් විය.

''2019 අප්‍රේල් 21දා සිදුවූ මෙම සිද්ධිය ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය වශයෙන් සැලකිය හැකි වේ. මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ජීවිත රුසක් විනාශ වී තවත් පුද්ගලයෝ ගණනාවක් සදාකාලික අබ්බගාතකයෝ බවට පත් වූහ. පෙත්සම්කරුවන් දක්වා ඇත්තේ ප්‍රහාරය වළක්වා ගැනීමට වගඋත්තරකරුවන් පියවර නොගැනීමෙන් ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද පුද්ගල නිදහස රටේ ජාතික ආරක්ෂාව ද වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇත. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)ඇ වගන්තිය යටතේ මෙම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව ව්‍යවස්ථානුකූල නීතිය යටතේ රටේ විධායකයෙහි කාර්යභාරය පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) හා 46(1) වගන්තිය යටතේ 2018 දෙසැම්බර් 28 දින අංක 2013/ 33 සහ ගැසට් නිවේදනයට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බල අධිකාරිය සහ කාර්යභාරය පැහැදිලිව විස්තර කර තිබේ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා සහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, පොලිසිය සහ රටේ අභ්‍යන්තර ආරක්ෂාව භාර වේ. තවද රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිසිය වෙන වෙනම දෙපාර්තමේන්තු වශයෙන් කටයුතු කරයි. ඒ අනුව මෙම සියල්ල සුපරීක්ෂණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වේ. ඒ හේතුවෙන් මුළු රටේම ආරක්ෂාව පිළිබඳ වගකීම භාර වන්නේ ආරක්ෂක අමාත්‍යවරයාටය. රටේ ආරක්ෂාවට අදාළ සියලු පියවර ගැනීම ආරක්ෂක අමාත්‍යවරයාගේ ව්‍යවස්ථාදායක වගකීම වෙයි.

මෙම වගකීම ඉටු කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසමත්ව ඇතැයි ඒකමතිකව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් කෝටි 10 ක වන්දියක් වින්දිතයන්ට ගෙවන ලෙස නියෝග කළේය. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මෙම සිද්ධිය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඔහු අදාළ ආරක්ෂක අංශවලට සහ ජනාධිපතිවරයාට ඒවා ලබා දීමට ක්‍රියා කර නැත. පූජිත ජයසුන්දර සතුව සිද්ධිය පිළිබඳ වාර්තා 97ක් තිබියදී කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය කනස්සල්ල පළ කර ඇත. ඔහු ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර ගත්තා නම් මෙම විනාශය සිදු නොවනු ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස වේ. ඒ අනුව පූජිත ජයසුන්දර සිය රාජකාරි සහ යුතුකම ඉටු නොකිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) වගන්ති උල්ලංඝණය කර ඇති බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් කෝටි 75 ක වන්දි මුදලක් සිය පෞද්ගලික මුදලෙන් ගෙවන ලෙස හිටපු පොලිස්පතිට නියෝග කර තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සිය දිවුරුම් ප්‍රකාශය මගින් තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු කිසිවක් ජනාධිපතිවරයාට ලබා නොදුන් බව පිළිගෙන තිබේ. එසේම 2019 අප්‍රේල් 9දා පැවැති බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රුස්වීමේදී මේ පිළිබඳ කිසිදු සාකච්ඡාවක් පවත්වා නැත. බුද්ධි සේවයේ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධනට මේ සිද්ධිය ආරක්ෂක අමාත්‍ය ජනාධපතිවරයාට දැනුම් දීමේ වගකීමක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කළ හැකිද? තමන්ට ලැබුණු තොරතුරු ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තා කිරීම නිලන්ත ජයවර්ධන බැඳී සිටින බව අධිකරණයේ මතය වේ. මේ පිළිබඳ වගකීම බැහැර කරමින් ඔහු ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය නෛතික හෝ ව්‍යවස්ථාපිත පදනමක් නොමැති බව ප්‍රකාශ කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පිළිගනිමින් රුපියල් කෝටි 75 ක වන්දියක් වින්දිතයන්ට ගෙවන ලෙස නියෝග කර ඇත.

2019 අප්‍රේල් 8 දින පස්වරුවේ නිලන්ත ජයවර්ධන සිද්ධිය පිළිබඳ බුද්ධි තොරතුරු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ලබා දී තිබේ. ඔහු මේ පිළිබඳ බුද්ධි අංශ ප්‍රධානියා සමඟ සාකච්ඡා කර තිබුණද, පුදුමයකට මෙන් කිසිවක් බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රුස්වීමේදී සාකච්ඡා කර නැත. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය යුතුකම් සහ වගකීම් පැහැර හැර ඇති බව ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය වෙයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(ඇ) වගන්ති උල්ලංඝණය කර ඇති බව නිගමනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් කෝටි 5ක වන්දියක් ගෙවන ලෙස නියම කෙරුණි. එයට අමතරව රාජකාරි පැහැර හැරීම පිළිබඳ ඔහුට එරෙහිව විනය පියවර ගැනීමද නිර්දේශ කර ඇත.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට ද සිද්ධිය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබුණද ඒවා හමුදා බුද්ධි අංශවලට දැන්වීමේ වගකීම පැහැර හැර ඇත. මේ පිළිබඳ බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රුස්වීමේදී සාකච්ඡා නොකළ බවද පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු සිය යුතුකම් සහ වගකීම් පැහැර හැරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු රුපියල් කෝටියක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට නියෝග කර තිබේ.

මෙම නඩු තීන්දුව පිළිබඳ සමාජයේ විවිධ කතාබහට ලක්වූ අතර දේශපාලනඥයන්, විද්වතුන් සහ දේශපාලනඥයන් නොයෙක් මත ප්‍රකාශ කරන්නට යෙදුණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද තමාට අදාළ චෝදනා හා දඬුවම් පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළ බව දක්නට ලැබුණි. කෙසේ වුවද දැනටමත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර අවසන් නිසා තීන්දුව අනුව ක්‍රියා කරනු විනා ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් පලක් නොවන අතර එය ඇතැම්විට අධිකරණයට අපහාස කිරීමක් වනු ඇති බවටද ඇතැම්හු සැක පළ කරති.

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව පිළිබඳ ගත හැකි පියවරක් තිබේද යන්න පිළිබඳ අදහස් පළ කරන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ අධිකරණය නියෝග කර ඇති පරිදි මාස හයක් තුළ වන්දි නොගෙව්වොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා කටයුතු කළ හැකි බවය.

''මෙය අපරාධ නඩුවක් නොවෙයි. මූලික අයිතිවාසිකම් නඩුවක්. ඒ නිසා අභියාචනයක් කරන්න බැහැ. එසේ වුවත් විනිසුරුවරුන් නම දෙනකුගෙන් සමන්විත පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළි විභාග කරන ලෙස ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙත් ඒ විනිසුරු මඩුල්ලට පත්වන්නේද මෙම නියෝගය දුන් විනිසුරු මඩුල්ලේම සාමාජිකයන් නිසා එයින් අමුතු දෙයක් සිදුවන්නේ නැහැ. අගවිනිසුරු ඇතුළු ප්‍රබල විනිසුරුවරුන් කණ්ඩායමක් නියෝගය නිකුත් කර ඇති මෙම තීන්දුව ස්ථාවරයි.''

මෙම තීන්දුව පිළිබඳ අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා අවධාරණය කරන්නේ නියෝගය අනුව චූදිතයන් කටයුතු නොකළහොත් ඔවුන්ගේ දේපළ ලැබෙන වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය තහනම් කළ හැකි බවය. නොගෙවා සිටීමේ කිසිදු නීතිමය අයිතියක් ඔවුන්ට නැහැ යැයි ඔහු කියයි. එසේම මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා වෙනත් ස්ථානයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක්ද නැති අතර අනිවාර්යයෙන් නියෝගය අනුව මාස 6ක් තුළ කටයුතු කළ යුතුයි. නොගෙව්වොත් දඩයක් ලෙස අයකර ගැනීමේ හැකියාව ද ඇති අතර රජය ද නියමිත දිනයට පෙර වන්දි ගෙවිය යුතු අතර නියෝගයේ සඳහන් සෙසු කරුණු ද සම්පාදනය කළ යුතු බව නීතිඥවරයා අවධාරණය කරයි.

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03