ඇය නමින් නිරෝ එම්. පීරිස්ය. කලක් ඇය ජනප්‍රිය ඡායාරූප ශිල්පිනියකි. සේවක පිරිසකගේ සහාය ඇතිව මෙරට බොහෝ විවාහ උත්සව තම කැමරා කාචයෙන් සුන්දරව සටහන් කළ කාන්තාවකි. වරෙක ඇය ලේඛිකාවකි. නිසදැස් ලිවීමට වැඩි ඇල්මක් දැක්වූ නිරෝ, තමා අතින් ලියා මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව 15කට අධිකය. අද වනවිට ඇය ඉතා සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ව්‍යාපාරය ඇරුඹි දින සිට විවිධ බාධාවන්ට මුහුණ දුන් නිරෝ අද වනවිට ජීවිතය ජයගත් කාන්තාවක් ලෙස හැඳින්විය හැකිය.
''මගේ අලුත් ව්‍යාපාරයේ නම 'Eli'. එය ආහාර සම්බන්ධ ව්‍යාපාරයක්. කෘත්‍රිම වර්ණක සහ රසායනික ද්‍රව්‍යවලින් තොරව ආහාර කල් තබා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් මම පවත්වාගෙන යනවා. එය ශරීර සෞඛ්‍යයට ඉතාමත් හිතකර ආහාර නිෂ්පාදනයක්. මෙය බෝතල් කළ ආහාර කල් තබාගැනීමේ නිෂ්පාදනයක්. මෙම ව්‍යාපාරය මම ආරම්භ කළේ 2020 වසරේදීයි. කොවිඩ් වසංගතයෙන් පසුව ආරම්භ කළ ව්‍යාපාරයක්. ඊට පෙර මම ඡායාරූප ශිල්පිනියක්. කොවිඩ් නිසා හැමෝම මනසින් කඩාගෙන වැටෙද්දී මම නැගිටින්න උත්සාහ කළා. අපි වැටෙද්දි ඒ වැටෙන පැත්තෙන් අපිට අල්ලගන්න පුළුවන් වෙන්නෙ මොනවද කියල හොයල බලනවා නම් හොඳයි. අපේ දෙපැත්තෙත් අවස්ථා බොහොමයක් තියෙනවා. කොවිඩ් නිසා අපි මනසින් වැටෙද්දි මගේ දෙපැත්තෙ තිබුණු දේවල්වලින් හරි දේ මම තෝරාගත්තා කියලා අද මට හිතෙනවා.'' 'Eli' නිෂ්පාදනයේ නිර්මාතෘ නිරෝ එම්. පීරිස් දේශයට එසේ පැවසීය.
කොවිඩ් වසංගතයත් සමඟ රට පුරා පැවතියේ අඳුරු කාල පරිච්ඡේදයකි. නිරෝ එතෙක් බාරගත් සියලු විවාහ උත්සව ඇතුළු අනෙකුත් උත්සව ද දින නියමයක් නොමැතිව කල් දැමිණි. ඡායාරූප ශිල්පිනියක ලෙස කටයුතු කළ කාලයේදී ඇය ඉතා කාර්යශූර, කාර්යබහුල ඡායාරූප ශිල්පිනියක් වූවාය. ඇය යටතේ සේවය කළ ඡායාරූප ශිල්පීන් කණ්ඩායමක් ද වූහ. කොවිඩ් වසංගතයත් සමඟ ඔවුන් සියල්ලන්ගේම රුකියා අවදානමකට ලක් විය. එයින් ආදායමක් නොලැබුණද නිරෝ ඒ සියල්ලන්ව ආරක්ෂා කරන්නට උත්සාහ දැරුවාය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
කොවිඩ් වසංගතය රට පුරා පැවති මුල් කාලයේදී අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළ නිරෝ ''පොඩි විවේකයක් ගන්න පුළුවන්'' යැයි සිතුවාය. නමුත් සති මාස දක්වා වසංගතය දිගු වෙත්ම පවතින අවදානම ද ඇයට දැනුණි.
''සති ගාණක් ගත වුණාට පස්සේ වැඩ නොකර ගෙවල්වලට හිරවෙලා ඉන්න අමාරුයි කියලා මට දැනුණා. මේ තත්ත්වය හැමදාම තිබුණොත් අපි කට්ටියටම රැකියාවල් නැතිවෙනවා. එහෙම රුකියා නැතිවුණොත් අපි මොකද කරන්නේ කියලා මට හිතුණා. ඒ නිසා මම වෙනත් විකල්පයකට යොමුවිය කාලය ඇවිත් කියලා මට හිතුණා. ජීවිතේ යම් තැනක කඩා වැටෙද්දි අපි එය හරි විදිහට බාරගත යුතු වෙනවා. ඒ නිසා පවතින තත්ත්වයට මුහුණ දෙමින් එතනින් එහාට යන්න උත්සාහ කළා.'' ඇය කියන්නීය.
කොවිඩ් වසංගතය හමුවේ නිවෙසට කොටුවී සිටි නිරෝට කැමරාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නොවීය. ඒ නිසාම කැමරාවට තාවකාලිකව සමුදුන් ඇය වෙනත් විකල්පයකට යොමු වූවාය. ඒ වනවිට පැවතුණේ කිසිම ද්‍රව්‍යයක් හෝ භාණ්ඩයක් ගැනීමට නිවෙසෙන් පිටතට යාමට නොහැකි සමයකි. රට පුරා භාණ්ඩවල හිඟයක් ද පැවතිණි. නමුත් ඇය තමා ළඟ තිබූ අවම පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට සමත් වූවාය. ඇගේ වාසනාවට නිවෙස තුළ ඔලිව් තෙල් සහ සුදු ලූනු තිබුණි. එමෙන්ම ඇයට ආහාර පිසීමේ හැකියාවක්ද විය. ඒ අනුව නිරෝ, තම නිවෙස තුළදී සුදු ලූනු පේස්ට් (Garic spread) එකක් සෑදුවාය. ඇය එයින් කොටසක් තමන්ට ද තබාගෙන දන්නා හඳුනන හිතවතුන්ටද රස බැලීමට ලබා දුන්නාය. ඔවුන්ගෙන් ද ඇයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණි. සමහරු එහි අඩුපාඩු ද පෙන්වා දුන්හ. දෙවැනි වර සෑදූ Garic spread ඇය පෙරටත් වඩා සාර්ථකව සෑදුවාය. ඒ අනුව ඒවා විකල්ප මාර්ග ඔස්සේ වරින් වර අත්හදා බලමින් ඇය අවසානයේදී සාර්ථක Garic spread නිෂ්පාදනය කළාය. ඒ කිසිම මොහොතක ඒවා කල් තබාගැනීමට හෝ රස වැඩිකර ගැනීමට හෝ කිසිදු කෘත්‍රිම රසකාරකයක් යොදා නොගැනීමට ඇය කටයුතු කළාය.
තමාට තිබුණු කුඩා ඉඩ ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඇය සමත් විය. පසුව මෙය නිෂ්පාදනය භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය කිරීමට නිරෝ අදහස් කළාය. පළමුව ඇය කුඩා බෝතල් පහළොවක් ගෙන පේස්ට් එක බෝතල් කළාය. වර්තමානය වනවිට ඇය මසකට මිලදී ගනු ලබන මෙවැනි බෝතල් සඳහා විශාල මුදලක් වැය කරන්නීය. එම බෝතල් අසුරා තැබීම සඳහා වෙනම ඉඩක් වෙන් කර ඇත.
කොවිඩ් වසංගතය පහව යද්දී ඇයගේ නිෂ්පාදනයට හොඳ ඉල්ලුමක් ද ලැබෙමින් පැවතිණි. ඒ සමඟම නිරෝ, ඒ නිෂ්පාදන සඳහා නමක් ද ලියාපදිංචි කළාය. ඒ 'Eli' නමිනි. ඒ කාලය ඇතුළත ඇය අඩුපාඩු සියල්ල සපුරා ගනිමින් හොඳ නිෂ්පාදනයක් නිම කර තිබුණි.
''කොවිඩ් අවසන් වන සමයේදීත් 'Colombo City Center' එකේ වෙළෙඳ කුටි වෙන්කර තිබුණා. ඒ 'Can market' නමින්. මගේ යාළුවෙක් ''අපි මේකෙ කුටියක් අරගෙන කරමු.'' කියලා කිව්වා. හැබැයි මුලදි මගේ හිතේ චකිතයකුත් තිබුණා. ඡායාරූප ශිල්පිනියක් විදිහට වැඩ කරපු මුල ඉඳලම ''බඩු විකුණන්නෙ කොහොමද..'' කියන සිතුවිල්ල මගේ හිතේ තිබුණා. නමුත් ඒ අභියෝගය බාරගන්න මගේ යාළුවා මට ගොඩක් ධෛර්යය දුන්නා. ඒ ආරම්භය ඉතා සාර්ථක වුණා. ඒ තැනින් මගේ නිෂ්පාදනවලට හොඳ ආරම්භයක් ලැබුණා. එක දවසකට මම සාමාන්‍යයෙන් බෝතල් හතළිස් පහක් පමණ එතනට අරගෙන ගියා. හැබැයි සවස හතරහමාර විතර වෙද්දි ඒ ටික විකිණුනා.'' නිරෝ එම්. පීරිස් වැඩිදුරටත් පැවසීය.
සුදු ලූනු නිෂ්පාදනයෙන් ඇරඹූ Eli products වලට අද වනවිට විවිධ වූ නිෂ්පාදන එක්වී තිබේ. ජින්ජර් බියර් ඇතුළු ඉඟුරු සහිත නිෂ්පාදන බොහොමයක් ඇය නිෂ්පාදනය කරයි. නොබෝ දිනකින් කොච්චි සමඟ සුදු ලූනු (Galic with Kochchi) නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතය. කොච්චි අච්චාරු, කරවිල අච්චාරු, කැරට් අච්චාරු ඇතුළු අච්චාරු වර්ග බොහොමයක් එම Eli නිෂ්පාදන අතරට එක්වනු ඇත.
අද වනවිට නිරෝ සමඟ 'Eli' ආයතනයේ සේවකයෝ තිදෙනෙකි. නමුත් Eli ආරම්භ වී වසරක් යනතුරු මේ සියලු කටයුතු සිදු වූයේ ඇයගේ තනි අතිනි. මේ වනවිට Eli වෙනුවෙන්ම වෙන්වුණු කුඩා කර්මාන්ත ආයතනයක් තලවතුගොඩ පිහිටා ඇත. නිෂ්පාදන කටයුතු සිදු වන්නේ එහිදීය. Eli නිෂ්පාදන 'Colombo City Center' හි මෙන්ම 'One Galle face' හරහා ද මිලදී ගත හැකිය. 'Made in Sri Lanka' වෙළෙඳ කුටි ප්‍රදර්ශනාගාර හරහා Eli නිෂ්පාදනවලට Good market වෙළෙඳ ප්‍රදර්ශනයට එකතු වන්නට අවස්ථාව උදා වී තිබේ. එය ඉතා අනගි අවස්ථාවකි. අද වනවිට කොළඹ 'Good market' හරහා Eli නිෂ්පාදන මිලදී ගැනීමට හැකියාව ලැබී තිබේ. එපමණක් නොව නුවර 'ආයුර්වේද බෝවත්ත' තුළින් ද මෙම නිෂ්පාදන මිලදී ගත හැකිය. මේ වනවිට ඉතා හොඳ ඉල්ලුමක් මේ සඳහා ලැබෙන බව නිරෝ පවසයි.
''ඡායාරූප ශිල්පිනියක් ලෙස භාවිත කළ මගේ කිසිදු භාණ්ඩයක් අයින් කරලා නැහැ. ඒ හැමදේම මා ළඟ තියෙනවා. ඡායාරූප ශිල්පය මගේ ජීවිතේ එක් කොටසක් වගෙයි. කැමරා ශිල්පිනිය තවමත් මගේ ජීවිතය ඇතුළේ ජීවත් වෙනවා. අවුරුදු පහක් මම මංගල ඡායාරූප ශිල්පිනියක් විදිහට වැඩ කළා. ඒ නිසා තෝරා ගැනීමකින් මම ඒ කටයුත්තෙ නිරත වෙනවා. අද වනවිට මම අමෙරිකාවට මගේ නිෂ්පාදන අලෙවි කරලා තියෙනවා. ඊට අමතරව විදෙස් ගතවන බොහෝ දෙනා මගේ නිෂ්පාදන රුගෙන යනවා. මේ දිනවල තවත් විදෙස් රටවල් කිහිපයකටම යවන්න සැලසුම් කරමින් ඉන්නවා. ඇත්තටම ඡායාරූප ශිල්පිනියක්ව සිටි මම අද ව්‍යාපාරිකාවක් වීම ගැන සතුටුයි. මගේ ව්‍යාපාරය ගැන මට සතුටක් තියෙනවා.'' නිරෝ එම්. පීරිස් වැඩිදුරටත් දේශයට පැවසුවාය.
I දිශානි ජයමාලි කරුණාරත්න