2023 ජනවාරි 22 වන ඉරිදා

ඉන්දියානු බිත්තර අලකලංචිය

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 137

මෙරට ජනතාවගේ ප්‍රමුඛ අඩු මිල ප්‍රෝටීන සැපයුම් ආහාර ඒකකය ලෙස සැලකෙන බිත්තර මිල අහසට උසට නැග තිබීම  පසුගිය සතියේත් දැඩි  කතාබහට ලක්ව තිබුණි. ඉහළ යන සත්ත්ව ආහාර මිලට සාපේක්ෂව ඉහළ නැග ඇති බිත්තර මිලට පාලන මිලක් ගෙන එන්නටත් රජයට සිදුවුවද ඒ මිලට බිත්තර දක්නට ඇත්තේ ලිපිලේඛන සහ ගැසට් නිවේදනවල පමණි. මේ නිසා බිත්තර මිල පාලනයට විසඳුමක් ලෙස ඒවා පිටරටින් ගෙන්වීමට යෝජනා ඉදිරිපත්ව ටෙන්ඩර් කැඳවීම්ද සිදුව තිබුණි. නමුත් ඒ පිටරට බිත්තරයද සිතූ තරම් ලෙහෙසියෙන් මෙරටට ගෙන්විය නොහැකි බව ඒ ගැන වගකීමක් ඇති ආයතනවල විද්වතුන්ගේ තීන්දුව දැන් පැහැදිලි කර දී තිබේ.

බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් පසුව ඉන්දීය පෞද්ගලික සමාගම් දෙකක් තෝරාගෙන තිබූ අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින්, ලබාදෙන නිර්දේශ ලද වහාම, බිත්තර ආනයනයට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගත හැකි බව ඒ සඳහා ඉදිරිපත්ව ඇති රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබුණි. නමුත් ඉන්දීය බිත්තර මෙරටට ගෙන්වීම කෙතරම් සෞඛ්‍යසම්පන්න වූ යෝජනාවක්ද යන්න ගැන විවිධ විසංවාද ඉදිරිපත් වීමත් සමඟ ඒ බිත්තර ගෙන්වීමේ වැඩපිළිවෙළද අඩපණව තිබේ.

මෙරටට ගෙන්වන බිත්තර නිසා මෙරට තුළට ආගන්තුක රෝගකාරක ද්‍රව්‍ය විෂබීජ  ඇතුළු විය හැකිද යන්න පිළිබඳ අවදානම කිරා මැනීම මෙරට  සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර් යේෂණ අංශයේ වගකීමකි. ඒ අනුව ඔවුන්ගේ විද්වත් නිර්දේශය බිත්තර මෙරටට ගෙන්වීමේදීද ප්‍රමුඛ වැදගත්කමක් දරයි. ඒ ආයතන ප්‍රධානියෙක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර දීමට බාධාවක් ඇති බව  පසුගියදා පෙන්වා දී තිබුණි.

එහි පර් යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය හේමාලි කොතලාවල සඳහන් කර තිබුණේ වෙනත් රටකින් බිත්තර ආනයනය කිරීමට කිසිදු සීමාවක් නොමැති නමුත්, බිත්තර තොග සපයන රටක පසුගිය මාස 06ක කාලය තුළ කුරුලු උණ වාර්තා නොවී තිබිය  යුතු බවයි.

ඇය පෙන්වා දෙන පරිදි  සත්ව සෞඛ්‍ය සඳහා වූ ලෝක සංවිධානයට (WOAH) අනුව, එම සතුන් හෝ නිෂ්පාදන ආනයනය කරන රට පසුගිය මාස හය තුළ කුරුලු උණ පැතිරීම වාර්තා නොකළ යුතුය. පසුගිය මාස හයක කාලය තුළ තම රටට කුරුලු උණ වැළඳී නැති බවට සහතිකයක් එම රට ලබාදිය යුතුයි. පසුව එම සහතිකය මත ආනයන අපනයන පාලක ජනරාල්වරයා සත්ව නිෂ්පාදන ආනයනයට අවසර ලබාදීම ගැන සලකා බලනු ඇත.

කෙසේ වෙතත්, මෑතකදී ඉන්දියාව දරුණු ලෙස කුරුලු උණ රෝගයට ගොදුරු වූ බැවින් ආනයන අපනයන පාලක ජනරාල්වරයාට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට ඉඩ දීමට එය බාධාවක් බව ඇය පෙන්වා දී තිබුණි. ඉන්දියාවෙන් ලැබුණු තොරතුරුවලට අනුව පසුගිය මාස හය තුළ රට තුළ කුරුලු උණ පැතිර ගිය බවද තහවුරු වේ.

අවාසනාවකට මෙන් බිත්තර ආනයනය කිරීමට ගෙන ඇති තීරණයෙන් පසු ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද ටෙන්ඩර් දැන්වීමට ප්‍රතිචාර දැක්වූ ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90ක්ම ඉන්දියාවෙන් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට ඇත. මේ නිසා කුරුලු උණ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සහේතුක තර්කය පටු ඉන්දියානු විරෝධයක් ලෙස අහේතුක අර්ථ දැක්වීමකටද මුල්වී හමාරය.

පසුගිය 12දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොසිකෝඩ් දිස්ත්‍රික්කයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන කුකුළු ගොවිපළක කුරුලු උණ පැතිරීමක් වාර්තා වී ඇති අතර, එම ආසාදනයෙන් කුකුළන් 1,800ක් පමණ මියගොස් ඇති බව නිල ආරංචි මාර්ග වාර්තාකර තිබුණේ මේ විසංවාදය රට තුළ ඇවිළ යද්දීමය.

මේ වනවිට කුරුලු උණ වසංගතය හේතුවෙන් බටහිර රටවල ද බිත්තර නිෂ්පාදනය සහ අලෙවිය අණතුරුදායක මට්ටමකට පැමිණ හමාරය. අමෙරිකාවේ පවා බිත්තර සිල්ලර මිල 60% කින් ඉහළ ගොස් ඇත. වසරක් ඇතුළත අමෙරිකාවේ බිත්තර මිල 60%කින් මෙලෙස ඉහළ ගොස් ඇත්තේ 1973 වසරින් පසු පළමුවරටය. බිත්තර මිල අධික වීමට පසුගිය මාස කිහිපයේදී එරට ව්‍යාප්ත වූ කුරුලු උණද හේතුවක් වූ බව ව්‍යාපාරිකයෝ   පෙන්වා දෙති.

කුරුලු උණ බලපෑමෙන් පහත වැටුණු අමෙරිකාවේ බිත්තර ව්‍යාපාරය නැවත හිස එසැවීමට තවත් මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයිද, ඒ අනුව මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකුට අනුව, අධික ව්‍යාධිජනක කුරුලු ඉන්ෆ්ලුවෙන්සා පැතිර යාමෙන් 2021 පෙබරවාරි සිට කිකිළියන් මිලියන 40කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති අතර, එක්සත් ජනපද කුකුළු රුළෙන් සියයට පහක් මියගොස් ඇත. ඒ අනුව 2021 වසරේ සිට බිත්තර නිෂ්පාදනයද සියයට 4කින් පහත වැටී ඇත. ලංකාවට රටින් බිත්තර ගෙන්වන්නට යන්නේ මෙබඳු තත්ත්වයක් යටතේදීය.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03