69 ලක්ෂයක ජනවරමෙන් ආණ්ඩුවක් පිහිටුවූ පොහොට්ටුව අද සිටින්නේ බිඳුණු වීදුරු බඳුනක් හා සමානවය. සී සී කඩ විසිවුණු පොහොට්ටුවේ සාමාජික ඇතැම් අය පක්ෂ පිටින්ම සහ තවත් අය කණ්ඩායම් ලෙසත්, තවත් පිරිස් තනි තනිවත් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූහ. අද පොහොට්ටුව එජාපය සමඟ එක ගමනක් යන්න තීරණය කිරීමත් සමඟ එසේ ඉවත් වූ අයට යම් ගැලවිල්ලක් ලැබුණු බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ පොහොට්ටුවට එල්ලවිය හැකි ජනතා විරෝධය හමුවේ තමන් ඒ විරෝධයෙන් ගැලවී බේරී යාම නිසාය.
කෙසේ වෙතත් ඒ ජනතා අපවාදයෙන් බේරුණත් ඔවුන්ට ජනතා කැමැත්ත හිමිවූ බවට පිළිගත හැකි සාක්ෂියක් තවම නැත. ඔවුන්ගේ මතය වන්නේ පොහොට්ටුවෙන් ඉවත්වීම හරහා තමන්ව ජනතාව පිළිගන්නා බව නම් එය තමන් විසින් තමන්ම රැවටීමක් හැර වෙනත් දෙයක් නොවේ. කෙසේ වෙතත් පොහොට්ටුවෙන් ගැලවී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාදාමයන් විවේචනය කිරීම හරහා ඔවුන් බලාපොරොත්තු වූයේ පොහොට්ටුවෙන් ගිලිහෙන පිරිස තමන් වෙත අද්දා ගැනීමය. ඒ හරහා යම් උත්තේජනයක් ගෙන පොහොට්ටුවේ ආධාරකරුවන්ට තවත් කඳවුරක් ගොඩනැගීම ඔවුන්ගේ මූලික අරමුණ විය. එය ප්‍රසිද්ධියේ නොකීවත් ඔවුන්ගේ මූලික අරමුණ වූයේ එය බව කවුරුත් දන්න රහසකි.
පළාත් පාලන ඡන්දය කැඳවීමත් සමඟ ''බළලා මල්ලෙන් පැන්නාක් මෙන්'' එම කණ්ඩායමේ අරමුණ එළියට ආවේය. ඒ ඔවුන් වෙනම දේශපාලන සන්ධානයකින් තරග කිරීමට සන්ධාන ගතවීමත් සමඟය. ඒ අනුව ශ්‍රීලනිපය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, අතුරලියේ රතන හිමියන් ඇතුළු කණ්ඩායම නිදහස් ජනතා සන්ධානය නමින් සන්ධාන ගතවිය. විශාල උත්සවයකින් ආරම්භ වුණු මෙම නව සන්ධානය ගැන ඔවුන් පැවසුවේ මෙය විශාල පෙරළියක් බව කියාය.
වැටුණු රට නැගිටුවීම සඳහා එක්වූ බව කියන මේ සන්ධානය ගැන ජනතාව කෙසේ විශ්වාස තබනු ඇතිදැයි අප කියන්නට දන්නේ නැත. ආණ්ඩු ගණනාවක් කළ මෙම කණ්ඩායම විසින් රට ආයේ නැගිටුවන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක්ද ඇත. අන්ත අනන්තයට තල්ලු කළ රට නගා සිටුවීම ගැන බලාපොරොත්තු ඔවුන්ගෙන් තබාගත හැකිදැයි ඇත්තටම ප්‍රශ්නයක් ඇත.
කෙසේ වෙතත් ශබ්ද ඝෝෂා ගොඩක් මැද පටන්ගත් එම සන්ධානයේ පළමු ප්‍රවෘත්තිය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වන බව කියාය. ඒ සඳහා විවිධ හේතු සඳහන්ව තිබූ අතර එහෙත් ඇත්ත හේතුව කුමක්ද යන්න අපි සොයා බැලුවෙමු. එහිදී සඳහන් වුණේ සැබැවින්ම ශ්‍රීලනිපය සංවිධායකවරුන් විසින් සිදුකළ බලපෑම් බවය. එනම් ශ්‍රීලනිපයට තනිව තරග කර ජයගත හැකි ආසන තුළ ඔවුන්ගේ නම් ඉවත්කර සන්ධානයේ අනෙකුත් පක්ෂ සාමාජිකයන් දැමීම නිසා මේ ගැටලුව ඉස්මතු වී ඇත. මේ හේතුවෙන් සංවිධායකවරුන් ශ්‍රීලනිප පක්ෂයේ ප්‍රධානීන් වෙත පැමිණිලි කර සඳහන් කර ඇත්තේ පක්ෂය වෙනම තරග නොකළහොත් නව ලංකා නිදහස් පක්ෂය ලෙස හෝ ස්වාධීනව හෝ තරග කරන බව කියාය.
මෙම අසාධාරණය ගැන සන්ධානය තුළ කතා වුණත් හත් හවුල හේතුවෙන් අනෙකුත් සමාජිකයන්ටද අවස්ථාව ලබාදිය යුතු නිසා එම ප්‍රශ්නයට විසඳුම් ලැබුණේ නැත. මේ නිසාම අවසානයේ ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට තීරණය කළේ සංවිධායකවරුන්ගේ බලපෑම නිසාය. ඒ අනුව ආයතන 218ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද 61ක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තරග කිරීමට අවසානයේ තීරණය විය. මෙම සිදුවීම සංධානයෙන් ශ්‍රීලනිපය ඉවත්වන බවට අවසානයේ පුවතක් ලෙස මැවුණේය. කෙසේ වෙතත් ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවත් වුණේ නැත. සන්ධානය සමඟ ඇතැම් ආයතන සඳහා තරග වැදීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම සන්ධානයට නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලු පමණක් නොව ඇතැම් පුද්ගලයන් සොයාගැනීම පවා අසීරු වූ බව දැනගන්නට ඇත. ඒ නිසාම ශ්‍රීලනිපයට ජයගත හැකි බව පැවසෙන ඇතැම් ස්ථාන ලබානොදීම ශ්‍රීලනිප සංවිධායකවරුන්ගේ කෝපයට හේතු වී ඇත.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මාධ්‍ය අමතා කීවේ අත සන්ධානයෙන් ඉවත් නොවන බව කියාය. වෙනම තරග කළත් ශ්‍රීලනිපය නිදහස් ජනතා සන්ධානය (හෙලිකොප්ටරය) සමගින් ඉදිරියට යන බව ඔහු දැනුම් දුන්නේය. දැනගන්නට ඇති පරිදි සන්ධානයේ ඇතැම් නායකයන් අතර ඇතැම් සාමාජිකයන් කෙරෙහි ප්‍රශ්න සහගත තත්ත්වයන් මතුව ඇත. එම සාමාජිකයන් සිටින ආසනවලට සුදුස්සන් යෙදීමට උත්සාහ කළත් සන්ධානයේ අභ්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ. මේ තත්ත්වය නිසාම ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායම තම අණසක සන්ධානය තුළ පතුරවන්න යන බවද එම සන්ධානයේ ඇතැම් අයගේ චෝදනාව වී ඇත.
තවම නායකයෙක් නැති නායකත්ව මණ්ඩලයක් සිටින මෙම සන්ධානයේ අවසන් අරමුණ සහ අවසන් නැවතුම කොතැනද යන්න අප දන්නේ නැත. එසේම ඔවුන් නව පෙරළියක් සිදුකරන බව කීවත් ඒවා ජනතාව පිළිගන්නවා දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් මේ සන්ධානද තවත් කාලයක් ඔවුන්ට බලයේ සිටීම සඳහා සකස් කරගත් තැනක් මිස රටේ සැබෑ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය හැකි සන්ධානද යන්න ගැනත් අප දන්නේ නැත. මොන දේ නිර්මාණය වුණත් ඒ සියල්ලේ ආයුකාලය තීරණය කරන්නේ ජනතාව නිසා මේ සියල්ල ජනතාව තීරණය කොට පිළිගන්නා තෙක් මෙය තවත් සන්ධාන ගේම් එකක් පමණි.
I ගයාන් ගාල්ලගේ