2023 ජනවාරි 22 වන ඉරිදා

බෙන්තරදී වෙස්සන්තරලා වූ සුද්දෝ

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 222

දන්සල් සම්ප්‍රදාය මෙරට සංස්කෘතික පොහොසත්කම ප්‍රදර්ශනය කරනු ලබන විශේෂාංගයකි. එනිසාම විටක අපි 'අපි දන්සල් දෙන ජාතියක්' යැයි උදම් අනමු. එහෙත් දන්සල් දෙන්නේ අප පමණද? මේ කතාව ශ්‍රී ලාංකිකයන්ට දන්සලක් දුන් විදේශිකයන් පිරිසක් පිළිබඳවයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ බෙන්තර සංචාරක පුරවරයෙනි. පසුගිය සෙනසුරාදා (14) වැනිදා බෙන්තර පරණ ගාලු පාරේ මෙම සුවිශේෂී දන්සල පවත්වා තිබුණි. මෙම දන්සලේ කැපී පෙනෙන සිදුවීම වූයේ සාමාන්‍යයෙන් මෙරට දන්සල් නොපැවැත්වෙන සමයක එය සංවිධානය වීමයි. අවාරයේ පැවති දන්සලට පැමිණි බොහෝදෙනා මවිත කරවන සුළු තවත් දසුනක් එහිදී දැකගත හැකි විය.

මෙම දන්සල සංවිධානයට මූලිකත්වය ගෙන සිටියේ විදෙස් සංචාරකයන් පිරිසකි. දන්සල බුක්ති විඳීමට පැමිණි පිරිසට සියලු සංග්‍රහ කටයුතු සිදුකළේ මෙම පිරිසයි. ඔවුන් අප දේශීය ජනතාවට ආහාර පිළිගන්වමින් පිඟන් සෝදමින් කටයුතු කරනු දැකගත හැකිවිය.

ප්‍රංශ ජාතිකයන් වූ මෙම කණ්ඩායම මෙම දන්සල පැවැත්වීමට අදාළ බරපැන දැරූ බවද දැනගන්නට ලැබුණි. මැදියම් රුය වනතුරු පැවති මෙම දන්සලට පැමිණි බොහෝ දෙනා සතුටින් ආහාර භුක්ති වින්දෝය. මෙහි පැමිණ සිටි අති විශාල ජනතාව අතරින් දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ව ප්‍රමුඛතාවය ලබාදීමටද සංවිධායකයන් කටයුතු කිරීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙය සංවිධානය කළ විදේශිකයන් පිරිස දන්සල අවසන් වනතුරුම එහි රුඳී සිටියහ. මෙය සැබවින්ම අපූරු සිදුවීමක් විය. දන්සල් සංස්කෘතියෙන් පොහොසත් වූ රටක් වුව මෙම පිරිසෙන් අපහට ලබාගැනීම ආදර්ශ බොහෝවිය. පිළිවෙළට සංවිධානාත්මකව කටයුතු මෙහෙයවීම ඉන් පළමුවැන්නයි. මෙරට සෙසු දන්සල්වල මෙන් අසාධාරණ පෝලිම් මෙහි නොවීමද විශේෂ කරුණකි.

මේ දිනවල  ආර්ථික අගහිඟකම්වලින් පීඩාවිඳින ජනතාවට මේ හරහා සැලකිය යුතු සහනයක් ලැබුණි. එක් වේලක් හෝ පිරිමසා ගැනීමට ලැබීම මේ දිනවල සහනයක් බව ඇතැම්හු කීහ. සංවිධායකයන්ට ස්තුතිවන්ත වීමටද ඔවුහු අමතක නොකළහ. මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන්ගේ ඇගයුම්ද ලැබුණි.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමට අපි තීරණය කළෙමු. සැබැවින්ම මෙම කටයුත්තට මුලපුරා තිබුණේ මෙරට සුභසාධන කටයුතුවල යෙදෙන විදේශීය සංවිධානයකි. ඔවුන් මේ වනවිටත් මෙරට තුළ බොහෝ සුභසාධන කටයුතු කරමින් සිටියි. ඒ අනුව මෙම කටයුතු දේශීය වශයෙන් සංවිධානය කිරීමට මූලිකත්වය ගත් එස්.ඕ.එස්. ආසි සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිත පී.ඒ. රත්නසිරි මහතා අපි සම්බන්ධ කරගතිමු. මෙම අපූරු දන්සලේ යථා තතු ඒ මහතා අප වෙත හෙළි කළේය.

''මේ කටයුතු සංවිධානය කළේ එස්.ඕ.එස්. ආසි සංවිධානය. මම මේ සංවිධානයේ දේශීය නියෝජිතයා විදියට කටයුතු කරනවා. මේ දිනවල සංවිධානය ලංකාවට පැමිණිලා ඉන්නේ. මගේ යෝජනාවක් එක්ක, සංවිධානයේ පිරිස තීරණය කළා මේ දන්සල පවත්වන්න. රටේ ආර්ථික අපහසුතා තියෙන අවස්ථාවක, ජනතාවට ඉතා හොඳ කෑම වේලක් දෙන්න ඕනෑ කියලා කියන අරමුණ තමා මෙතැන තිබුණේ.''

නිහඬවම මෙරට තුළ සුබසාධන කටයුතු රැසක් සිදුකරන එස්.ඕ.එස්. ආසි සංවිධානයේ සභාපති ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මෙම කටයුත්ත සංවිධානය කිරීමට මූලිකත්වය ගත් බව රත්නසිරි මහතා පවසයි. ඔහු පවසන පරිදි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් සෘජුවම මෙම කටයුත්ත සංවිධානය කිරීමට මැදිහත් වී ඇත.

සාමාන්‍යයෙන් මෙරට දී නම් මෙවන් කටයුතු සංවිධානය කරන ලොකු චරිත සිටින්නේ තිරය පිටුපසය. දානපතීන් නම කියා ගැනීමට උපකාර කළද වැඩ කිරීමට නොඑති. එහෙත් මෙම සංවිධානයේ විදේශිකයන් පිරිස ඊට ඉඳුරා වෙනස් ලෙස කටයුතු කරනු දැකීම ගෞරවයකි.

''දන්සල් දීම පමණක් නෙවෙයි අපි රටතුළ විශාල සුභසාධන කටයුතු ප්‍රමාණයක් සිදුකරලා තිබෙනවා. ඉඩම් ලබාදීම්, නිවාස ඉදිකරදීම් මේ දක්වා සිදුකර තිබෙනවා. ඒ වගේම ළමයි දොළොස් දහසකට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබා දෙනවා. සැත්කම් සඳහා ඖෂධ සඳහා වියදම් දරනවා. මේ වගේ කියන්න බැරි තරම් විශාල ප්‍රමාණයක කටයුතු මේ අයගේ මැදිහත්වීම සිදුකරලා තියෙනවා.''

උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හදාරන දරුවන්ට, ණය තුරුස්වලින් මිරිකී සිටින පවුල්වලටද මෙම සංවිධානය හරහා හා උපකාර කර ඇතැයි රත්නසිරි මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුබසාධන කටයුතු විශාල ප්‍රමාණයකට මෙම පිරිස මැදිහත් වී ඇති බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙම මැදිහත්වීම් පිළිබඳ අපිට දැනගැනීමට ලැබුණේ අවාරේ දන්සල නිසාවෙනි. මෙම දන්සල ඉදිරි වසරවලදීද ලබාදීමට අවධානය යොමුවී ඇති බව කියැවේ.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04