2023 ජනවාරි 22 වන ඉරිදා

ජනතාවට කරුමයක් වූ විදුලි බිල

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 83

යළිත් වරක් විදුලිය ගාස්තුව යළි වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් රටේ සියලු පුරවැසියන් තුළ ඇත්තේ කෝපය මුසු හැඟීමකි. පසුගිය අගෝස්තු මාසයේ විදුලිය බිල 76%කින් වැඩි කිරීමෙන් තමන් දැඩි පීඩාවකට පත්ව සිටින අතර ජනතාව පිළිබඳ කිසිදු හැඟීමක් නොමැතිව යළි විදුලි බිල වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාක් වැනි යැයි ඔවුහු පවසති. විදුලිය ගාස්තුව යළි වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එම කොමිසම ආරම්භයේ සිටම ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයට යළිත් වරක් විදුලිය බිල වැඩි කිරීමට අවශ්‍ය නොමැති බවටය.

විදුලිය ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවටය.

"2023 වසරේ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා සාමාන්‍යයෙන් ඒකකයක් සඳහා වියදම රුපියල් 48.42ක් පමණ වෙතැයි උපකල්පනය කර තිබෙනවා. ගාස්තු සංශෝධනයක් නොකර විදුලිය ලබාදීමට නම් ආණ්ඩුවට තිබෙන විකල්පය වන්නේ බදු වැඩි කිරීම හෝ මුදල් මුද්‍රණය කිරීමයි. එසේ නොමැති නම් තවත් පැය කිහිපයකට විදුලිය කප්පාදු කරන්න සිදුවෙනවා."යි ඔහු කියා තිබිණි.

විදුලි බිල යළි වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේ විදුලිය ගාස්තුව වැඩි කිරීමෙන් තොරව තවදුරටත් අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති යැයි අමාත්‍යංශයේ උසස් නිලධාරීන් හා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් පෙන්වා දී ඇතැයි සඳහන් කරමින් විදුලිබල අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 2023 විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවටය. ඒ අනුව ඉදිරියේදී විදුලිය බිල වැඩිවන අතර මෙම තත්ත්වයෙන් ගැලවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට ගත හැකි යම් සහන තිබේ නම් එම සහන නිර්දේශ කිරීම සඳහා 2023 පෙබරවාරි 15 දින දක්වා කාලය ලබා දුන්නේය.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණ බවත් එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවත් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේය. එයට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ මේ අවස්ථාවේ විදුලිය ගාස්තුව ඉහළ නැංවීම නොසුදුසු බවත්, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බවත්ය. ඒ බව සඳහන් කරමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්තනායක මහතා පසුගිය ජනවාරි 13දා කැබිනට් මණ්ඩලයෝ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එහෙත් පසුගිය ජනවාරි 17 වැනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ලිපියක් කැබිනට් මණ්ඩලයට ලැබී නොමැති බවටය. "විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා තමාට හෝ කැබිනට්  මණ්ඩලයට හෝ මහජන උපයෝගිතා කොමිසමේ එකඟතා පිළිබඳව කිසිදු ලිඛිත දැනුම්දීමක් මෙතෙක් කර නැතැයි කියලා. ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එවැනි ලිපියක් යැවූ බව පවසනවා නම් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යලේඛන නිවැරදි නොවන බව පෙන්වා දෙමින් ක්‍රියාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් නිර්දේශ කිරීමට එතුමාට යුතුකමක් තිබෙනවා.

අඛණ්ඩව විදුලිය සැපයීමට නම් විදුලි ගාස්තුව වැඩි කළ යුතුයි. කැබිනට් මණ්ඩලය ජනවාරි 1දා සිට විදුලිය ගාස්තු සංශෝධනය කිරීමටත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය සඳහා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙසටත් එම අවස්ථාවේ නියම කළා. එම දැනුම්දීමට මෙතෙක් ප්‍රතිචාර ලැබිලා නැහැ. ජනතාවට විදුලිය ලබාදීම අත්‍යවශ්‍ය වන බැවින් විදුලිබල අර්බුදය තුළ වෙන විකල්පයක් නොමැති හෙයින් පිරිවැය පිළිබිඹු වන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දීමට තීරණය කළා. විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ගෙව්වේ නැත්නම් විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් ලබාගත නොහැකියි. සූර්යබල සැපයුම්කරුවන්ට නොගෙව්වොත් ඔවුන්ගෙන් විදුලිය ලබාගන්න බැහැ. අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 14ක කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයිය යුතුයි. ඒ සඳහා දිනකට මිලියන 357ක් අවශ්‍ය වෙනවා. මුළු කාලය සඳහා අවම වශයෙන් බිලියන 5ක් අවශ්‍යයි. විදුලිබල මණ්ඩලය මුහුණ දෙන අර්බුදය තමයි ඒ සඳහා මුදල් සොයා ගැනීම" යනුවෙන් සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් දේශයට ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලය ලාබ උපදවන ආයතනයක් නොව සේවාවක් බැවින් විදුලි බිල වැඩි කළ නොහැකි බවයි. "විදුලිබල පනතේ කොහේවත් නැහැ විදුලි බල මණ්ඩලය වාණිජ ආයතනයක් කියලා. එය අත්‍යවශ්‍ය සේවාවක්. විදුලිබල මණ්ඩලයේ මුඛ්‍ය පරමාර්ථය රටේ ජනතාවට සේවාවක් ලබාදීම සහ රටේ සංවර්ධනයට රුකුලක් වීමයි. විදුලිබල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් නොවෙයි. එය අධික ලාබ ලබන ආයතනයක්. ඒ ලාබෙ හොරා කන නිසයි රටට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඉඩම් දෙකක් ගන්න ණය දෙනවා. ඒකෙ ගෙවල් හදන්න ණය දෙනවා. එම ණය පොලියෙන් තුනෙන් දෙකක් විදුලි බල මණ්ඩලය ගෙවනවා. රෝහල් ගාස්තු ගෙවනවා. ඊට අමතරව සේවකයකුගේ දරුවන්ගේ විවාහකට, අධ්‍යාපනයට ලබාදෙන ණයවලට ඇප වෙන්නෙත් විදුලි බල මණ්ඩලයයි.

මේ රටේ නිවැරදි පාලනයක් තිබෙනවා නම් විදුලි බිල වැඩි කිරීම නොවෙයි දැන් ගෙවන බිලෙනුත් 50%ක් අඩුවෙන් විදුලිය ලබාදිය හැකියි. ඒ කාලේ අපිට ලාබදායක බලාගාර වූයේ ඉන්ධන බලාගාරයි. එවක ඉන්ධන මිල ඉතා පහළ මට්ටමක පැවතියේ. මේ ගොල්ලෝ එම ඉන්ධන බලාගාර ටික පෞද්ගලික අංශයට දුන්නා. ගල්අඟුරු ලාබදායි එකක්. මේවා දැන් මාෆියාවක් බවට පත්වෙලා.

සූර්ය හා සුළං බලයෙන් අපට ලාබෙට විදුලිය සපයාගන්න පුළුවන්. එහෙත් ඒවාට එතරම් උනන්දුවක් නැහැ. කොළඹ නගර සභා ප්‍රදේශය තුළ ඇති නිවාස විශාල සංඛ්‍යාවක් විදුලිය බිල්පත් ගෙවන්නේ නැහැ. ඔවුන් සූර්ය බලයෙන් විදුලිය නිපදවාගෙන දවල් කාලයේ එය විදුලි බල මණ්ඩලයට අලෙවි කරනවා. විදුලි බල මණ්ඩලයෙන් විදුලිය ලබා ගන්නේ රාත්‍රි කාලයට පමණයි. දවල්ට 100%ක් දීලා රාත්‍රියට ගන්නේ 50%ක් පමණ ප්‍රමාණයක්. ඔවුන් දිවා කාලයේ විදුලිබල මණ්ඩලයට සපයන විදුලිය සඳහා විදුලි බල මණ්ඩලය ඔවුන්ට යුනිට් එකකට රුපියල් 22 ගණනෙ මාසෙකට හැටදාහක් හැත්තෑදාහක් ගෙවනවා. ඇයි මේ සූර්ය බලය යොදාගෙන නිවෙස්වලට විදුලිය ලබා දෙන්න බැරි. එය කළ යුත්තේ ආණ්ඩුවයි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අවශ්‍ය උපකරණ සපයන්නේ නැතිව ඔවුන් කොහොමද එවැනි දේ ක්‍රියාත්මක කරන්නේ. හැකිතරම් සුළං බලාගාර සහ සූර්ය බලාගාර ප්‍රවර්ධනය කරන්නේ නම් ජනතාවට විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවන්නෙත් නැහැ. ලයිට් කැපිලිත් නැහැ. සමස්ත ඉන්ජිනේරුවො නෙමෙයි  ඒත් මේකට විරුද්ධ ටික දෙනෙක් ඉන්නවා. පුත්තලමේ හදපු සුළං බලාගාරයට ඒකකයකට යන්නේ රුපියල් අටයි. ඉන්නේ සේවකයන් 38යි.

දැන් විදුලි බිල ඉහළ දමන්න දෙන්නේ නැහැ කියල මහජන උපයෝගිතා කොමිසම කියනවා. ඔවුන් කරන්නෙත් රඟපෑමක්. ඉදිරියේදී කියයි විදුලි බල මණ්ඩලය පවත්වා ගෙන යා යුතු නිසා විදුලිය බිල වැඩි කරන්නට අනුමැතිය දුන්නා කියලා කියයි. විදුලිබල මණ්ඩලය ගල්අඟුරු සහ ඉන්ධන සඳහා වන පිරිවැය අනුව මිල සූත්‍රයක් සකස් කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. එහෙම එකක්  වෙන්නේ නැහැ. ඔවුන්ගේ එකම මිල සූත්‍රය සියයට ගණනකින් විදුලි බිල වැඩි කිරීම පමණයි." යනුවෙන් සඳහන් කළේය.

විදුලි බිල වැඩි කිරීමෙන් රටේ සියලුම කර්මාන්ත කඩා වැටෙන බව කර්මාන්තකරුවන්ගේ අදහසයි. මේ වනවිට තේ කම්හල්, ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හල්, සංචාරක හෝටල් කර්මාන්තය, වෙළෙඳ ව්‍යාපාර පමණක් නොව සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර රැසක් වසා දමා ඇති අතර රුකියා විරහිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. පසුගිය කාලය පුරාම කිසිදු පුද්ගලයකුගේ ආදායම් වර්ධනයක් සිදුවූයේ නැත. අධික ලෙස භාණ්ඩ මිල ඉහළ ගිය අතර ජනතාවට ආහාර වේල් ගණන අඩු කිරීමට හා පෝෂ්‍ය ගුණයක් නොමැති ආහාරයකින් දිවි රුක ගැනීමට සිදුව ඇත. ඇතැම් ව්‍යාපාර ගොඩනැඟිලි බැංකුවලට සින්න වී තිබේ. ජනතාව පවසන්නේ තමන්ට අවශ්‍ය ආහාර ටික ඖෂධ ටික ලබාගන්නට නොහැකි වාතාවරණයක් තුළ යළිත් වරක් විදුලිය බිල වැඩි කළහොත් මහමග සිඟාකෑමට සිදුවන බවයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා