2023 ජනවාරි 29 වන ඉරිදා

ණය නොගෙව්වොත් හෙට වෙන දේ

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 89

සංවර්ධන අවශ්‍යතා සඳහා විදේශ රටවලින් ලබාගත් ණය ගෙවන්නට අසමත් බව ප‍්‍රකාශ කළ ශ‍්‍රී ලංකාව නැවත එම ණය ආපසු ගෙවන සැලැස්මක් සඳහා සූදානම් වෙමින් සිටී. ඉන්දියාව හා චීනය යන ප‍්‍රධාන රටවල් දෙක මෙකී කාරණයේදී හැසිරෙන ආකාරය දෙස ජගත් ප‍්‍රජාව බලා සිටියේය. පැරිස් කණ්ඩායමට අයත් රටවල් හා විශේෂයෙන් ජපානය ඔවුන්ගේ තීන්දුව ඉන්දියාව සමඟ සමපාත කරන්නට උත්සාහ කරමින් සිටියේය. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණි අතර ඔහුට අනුව අනෙක් රටවල් ගන්නා තීරණ අනුව නොව, තමන්ගේම තීරණයක් ගැනීමට ඉන්දියාව සූදානම්ය. එම අදහස ප‍්‍රකාශයට පත් වහා චීනයේ අපනයන හා ආනයන බැංකුව තමන්ට අයවිය යුතු ණය වසර දෙකකට අත්හිටුවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ලෝකයේ රටවල් සෑහෙන ප‍්‍රමාණයක් දරුණු පීඩනයකට මුහුණ දුන් අතර, ආර්ථිකය කඩා වැටිණි. ණය ගෙවාගත නොහැකි බව ප‍්‍රකාශ කර ඇති රටවල් ගණනාවකි. ආසියානු පැසිපික් කලාපයේ පළමු රට ශ‍්‍රී ලංකාව බව දැක්වේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ සියයට දහයක පමණ ආර්ථික වර්ධනයක් පිට පිටම දෙවසරකදී ලබාගත් ශ‍්‍රී ලංකාව අනතුරුව ස්ථාවර තැනකට ගමන් කරමින් සිටියේය. මැදි ආදායම් මට්ටමක් කරා ළඟාවීම එහි  ප‍්‍රතිඵලය විය. එවැනි තැනක දී ආධාර අහිමිවේ. රටට අවශ්‍ය අවස්ථාවක වානිජ ණය ගැනීමට සිදුවේ. ණය ගැනීම හා ඒවා පාලනය කිරීම දුෂ්කර වූ අතර එහි ප‍්‍රතිඵලය අද අප හමුවේ ඇත.

• ජාත්‍යන්තරය ඉදිරියේ තරණය කළ යුතු ණය

පසුගිය අවුරුද්දේ අප්‍රේල් වනවිට මෙරට සම්පූර්ණ විදේශ ණයගැතිභාවය රුපියල් බිලියන 51ක්  බව අනාවරණය විය. කෙසේ වෙතත් ඉන්දියාව තවදුරටත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය හා ඛනිජ තෙල් මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 750ක් සපයා ඇත. එම මුදල් අයකරගන්නා ආකාරය මෙතෙක් පැහැදිලි නැත. රටවල් සමග කරන ලද ණය ගනුදෙනුවල එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 39කි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇමරිකානු ඩොලර් බිලියන 12ක් බව දැක්වේ. සංවර්ධන කටයුතු සඳහා බව ප‍්‍රකාශ කර නිකුත් කරන ලද බැඳුම්කර මිල දී ගත් විදේශිකයන්ට ගෙවිය යුතු ප‍්‍රමාණය එයට අයත්ය. 

මෙම ණයවලින් සියයට හතළිහක් ඉදිරි වසර දහය තුළ පියැවිය යුතුව ඇත. කෙසේ වෙතත් ඇතැම් ණය අඩු පොලියට පවතී. තවත් ණය සියයට හතකට ආසන්න වාර්ෂික පොලියකට බව දැක්වේ. මේවායේ පොලිය ගෙවන්නට වරින්වර සිදුවූ අතර එම පොලිය සහ කල් පිරුණ ණය ආපසු ගෙවීම සඳහාද ණය ගැනීම ශ‍්‍රී ලංකාවේ පිළිවෙළ වී තිබුණි.

විදේශ ණය ගැනීමට සිදුවූ පසුබිමද පැහැදිලි කරගත යුතුය. ආධාර කරන සංවිධාන හා රටවල් වලින් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන මුදල් චක‍්‍රීයකරණය නොවන පසුබිම තුළ විදේශ වෙළෙඳාම සඳහා පියවර ගත යුතුව තිබුණි. අනෙක් අතට වහාම ආදායම් උත්පාදනය නොවන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම අවදානමක් විය. හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ, අධිවේගී මාර්ග, නෙළුම් කුලුන යනාදී අංශ එහි ඇත.

• ණය සම්බන්ධයෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග

විදේශ විනිමය ප‍්‍රමාණවත් නැති පසුබිම තුළ අත්‍යවශ්‍ය ආනයන සහ සේවා වියදම් සඳහාද විදේශ ණය වලින් පියවන ක‍්‍රම අනුගමනය කර ඇති බව පෙනේ. එහි අවසානය ණයට මුදල් ගෙන රට සතුටින් පවත්වාගෙන යන තත්ත්වයකි. කරන ලද ආයෝජනවල ප‍්‍රතිඵල සැලැස්මකට අනුව ලැබෙන්නට ඉඩ තිබුණි. එහිදී සාමාන්‍ය රාමුවකට රට කරගෙන යා හැක. එහෙත් හදිසියේ එල්ල වූ පාස්කු ප‍්‍රහාරය සංචාරක කර්මාන්තයේ ආදායම අහිමි කළේය. ඉන්කිබිතිව මතු වූ කොවිඩ් වෛරසයේ පැතිරීම දෙවැනි ප‍්‍රහාරයක් ලෙස විදේශ සම්පත් ලැබීම අන්තිම දුබල තැනකට තල්ලු කරන ලද බව සිහිපත් කළ යුතුය.

ශ‍්‍රී ලංකාවට ණය සපයන ලද රටවල් හා පුද්ගලයන් තමන්ගේ ණය අහෝසි කර දැමීමට එකඟවුවහොත් හැර ඒවා ආපසු ගෙවන අනිවාර්ය වගකීම රටට ඇත. ආණ්ඩු හෝ දේශපාලනඥයන්ගේ වැරදි බව පෙන්වා මගහැර යා හැකි ස්වභාවයක් කිසිසේත්ම නැත. ණය සම්බන්ධ තීරණ දෙන, ජාත්‍යන්තර ණය වෙළෙඳ පොළ හැසිරීම බලා සිටින ආයතන අනුගමනය කරන ප‍්‍රතිපත්ති හේතුවෙන් ණය නොගෙවන රටකට අනාගතයේදී කවරාකාරයේ හෝ පිටිවහලක් නොලැබෙන්නට ඉඩ තිබේ. එය අනාගත පරම්පරාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවකි. 

සාමාන්‍යයෙන් රටක ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ක‍්‍රම තුනකට සිදුවේ. ගිවිසගත් කාලය දිග කිරීම හෝ ණය හුවමාරු කරගැනීම එක අංශයකි. ණය හිමියන්ගේ එකඟතාවයෙන් එහි කොන්දේසි හා කාලය වෙනස් කර ලිහිල් ප‍්‍රතිපත්තිවලට හැරවීම අනෙක් ක‍්‍රියාමාර්ගයකි. එහිදී ඇතැම් කොටස් සඳහා වාසිදායක කොන්දේසි ඇතුළත් වනු ඇත. අනෙක පොලිය හා මූලික ණය ආපසු ගෙවීම සුදුසු කාලයක් දක්වා අත්හිටුවීමකි. 

• ණය සම්බන්ධයෙන් මැදිහත්වීම

ණය නිකුත් කළ රටවලට හෝ පුද්ගලයන්ට තමන්ගේ සම්පූර්ණ ණය අහිමිවීමේ අවදානමට වඩා ලැබෙන කොටසක් හෝ ආරක්ෂා කරගැනීමට සිදුවේ. එය සතුටුදායක විසඳුමක් නොවේ. ශ‍්‍රී ලංකාවට අඳුරු පැල්ලමකි. අනාගතයේදී නැවත වතාවක් වාණිජ ණය සඳහා උත්සාහ කරන සෑම අවස්ථාවක මෙම හැසිරීම සලකා බැලෙනු ඇත. එහිදී ණය අවදානම ප‍්‍රශ්නයක් වනු ඇති අතර එයට සමානුපාතිකව පොලිය නියම කරන්නට ඉඩ ඇත.

ශ‍්‍රී ලංකාවේ ණය ගැන සොයාබලන අතර හිමිකරුවන් සමඟ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීම සඳහා ජාත්‍යන්තර මැදිහත්කරුවෝ කටයුතු කරමින් සිටිති. ලෙසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් යන ආයතන දෙකක් මෙහිදී තෝරාගෙන ඇත. ඉදිරි මාස හය තුළ සැලැස්මකට පැමිණිය හැකිවනු ඇති බව දැක්වේ. එයින් අනතුරුව පිළිවෙළකට ගෙවන්නට නියම වේ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අනුව ණයවාරික හා පොලිය ගෙවිය හැකිද? පසුගිය මාස දෙක තුළ අපනයන ආදායම පහත වැටිණ. නැවත වතාවක් ගෙවුම් ශේෂ පරතරය වැඩි වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර හතරක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක් සපයන බව කියා ඇත. එම මුදල රටට ප‍්‍රමාණවත් එකක් නොවේ. අනෙක එය සහතිකයක් පමණකි. ශ‍්‍රී ලංකාව වත්කම් උත්පාදනය කරගත යුතුය. ණය නැවත ගෙවන්නට කටයුතු කරන අතරවාරයේ කවර හෝ ක‍්‍රියාමාර්ගයකින් විනිමය උත්පාදනය සඳහා වෙහෙස වෙන්නට සිදුවේ. 

• ණය අහෝසි කරන හඬක්

ශ‍්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සලකා බලන ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥයන් කණ්ඩායමක් ජනවාරි මුල් සතියේදී ලියැවිල්ලකට අත්සන් කර තිබුණි. ඔවුහු ණය අහෝසි කරන සේ සංවර්ධන බැඳුම්කර හිමියන්ට දන්වති. දැනටමත් විශාල ලාභයක් උපයාගෙන ඇති පදනම අනුව ඉතිරි ණය හෝ පොලිය අත්හරින ලෙස ප‍්‍රකාශ කරති. එය විශාල මතයක් ඇති කරන හඬක් වූයේ නැත. අවශ්‍යතාව පදනම් කරගෙන ලබාගත් ණය තුන්වැනි පාර්ශ්වයක සාධාරණ හෙට්ටු කිරීමකට හැර අත්හරින්නට යෝජනා කිරීම පදනම් විරහිත තර්කයකි. 

නොගෙවන ණය හෝ අහෝසි කරන ණය වශයෙන් වෙනසක් නැත. පළමු අවශ්‍යතාව අලුත් සැලැස්මකට අනුව නියමිත දිනවලට ණය ආපසු ගෙවන කාලසටහනක් සකස් කැර ගැනීමය. එසේ නොකළහොත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන නැවත නැවතත් අවදානම ප‍්‍රකාශ කරන්නට ඉඩ තිබේ. අනාගතයේදී විදේශ ණය ගැනීමට පමණක් නොව ආයෝජනවලටද එය අවහිරයකි. විනිමය අර්බුදයක සිටින රටකට ආයෝජන ලැබෙන්නේ නැත. එය අනෙක් අවදානමකි. ජාත්‍යන්තරයේ නැගෙන මතවාදය කෙසේ වෙතත් ණය ගෙවිය හැකි පරිදි සැලසුම් කර ඉදිරියට ගමන් කරන පිළිවෙළක් රටට අවශ්‍යය. පටු දේශපාලන අරමුණු පසෙක තබා සියලු පාර්ශ්ව එකතු වී වැඩ පිළිවෙළක් සකස් කරගත යුතුව ඇත. බලයේ සිටින ආණ්ඩුව පමණක් නොව බලයට එන්නට සිටින ආණ්ඩුවටත් මෙම ණය ආපසු ගෙවීමේ වගකීම ගැන අවබෝධයක සිටිය යුතුය. 

සිස්ටම් චේන්ජ් කරන ලෙස බලකරන ලද අරගලය පසෙකට වී සිටී. නැවත වතාවක් ඡන්ද අරගලය ඉහළට පැමිණ ඇත. පළාත් පාලන ඡන්දයකට සටන් කිරීම වෙනුවට ණය අර්බුදය ගැන සලකා බැලීමේ වගකීමක් නායකයන්ට තිබේ. එකවතාවක් බැට කෑ රටට ජාත්‍යන්තර ණය ඉදිරියේ නැවත වතාවක් පාඩමක් ඉගෙන ගන්නට සිදුවන තැනට පත් කිරීම කිසිසේත් සුදුසු නැත. 

I සාරා කන්දෙගොඩ