2023 ජනවාරි 29 වන ඉරිදා

විසඳුමක් නොපෙනෙන බිත්තරේ මිල ජරමරේ

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 87

බිත්තර මිල පිළිබඳ ගැටලුව මේ වනවිට තවදුරටත් ව්‍යාකූල වී ඇති අතර රජයේ පාලන මිලට පාරිභෝගිකයාට බිත්තර ලබාගත හැකිවේදැයි යන්න තවමත් අවිනිශ්චිතව පවතී. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ අමාත්‍යංශය මේ වනවිට බිත්තර ආනයනය පිළිබඳ කඹ ඇදීමක නිරත වෙමින් සිටින අතර බිත්තර ආනයනයට අවස්ථාව ලැබේදැයි යන්න ගැන දැනට ඇත්තේ දෙගිඩියාවකි. වෙළෙඳ අමාත්‍යංශය පවසනුයේ තමන් දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තු‍වෙන් සහ සත්ව නිෂ්පාදන අංශවලින් අනුමැතිය ලැබේ නම් බිත්තර ආනයනය කර රුපියල් 40කට අඩු මිලකට පාරිභෝගිකයාට අලෙවි කළ හැකි බවය. එහෙත් මේ එකකටවත් තවමත් නිසි තීරණයක් ලැබී නැත.

පසුගිය 25 වැනිදා පැවැති කෝප් කමිටුවේදී ද බිත්තර මිල පිළිබඳව අවධානය යොමු වී ඇති අතර එහිදී ද කිසිදු තීරණයක් ගත නොහැකි විය. බිත්තර නිෂ්පාදන පිරිවැය පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කෝප් කමිටුවට ඉදිරිපත් කළ දත්ත ගැන පරස්පරතා උද්ගත වී තිබුණි. මෙහිදී පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල විසින් බිත්තර ආනයනය කිරීම සුදුසු බව කෝප් කමිටුවේ අවධානයට ලක්කර තිබේ. ආනයනය කරන බිත්තර මෙරට කර්මාන්තකරුවන්ට නිකුත් කළ හැකි අතර දේශීය බිත්තර පාරිභෝගිකයන්ට පාලන මිලට අලෙවි කළ හැකි බවද හෙතෙම පෙන්වා දී තිබේ.

බිත්තරවල නිෂ්පාදන පිරිවැය නිවැරදිව ගණනය කර සතියක් තුළ කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ඇතුළු අදාළ පාර්ශ්වවලට කෝප් කමිටුව උපදෙස් දී තිබේ. මේ නිසා තව සතියක් පමණ යනවිට හෝ මෙම ගැටලුව නිරාකරණය වනු ඇතැයි යන්න බොහෝදෙනාගේ විශ්වාසය වේ.

පසුගිය 20දා පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 44ක්ද දුඹුරු බිත්තරයක් සඳහා වූ උපරිම මිල රුපියල් 46ක්ද විය. මෙයට පෙර බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල පිළිවෙළින් රුපියල් 43ක් සහ 45ක් විය. නව පාලන මිල අනුව තවත් රුපියල බැගින් වැඩිකර තිබේ. මුලින් පැවති මිල පාලනය අධිකරණය මගින් අත්හිටවූයේ බිත්තර නිෂ්පාදකයන් පැවරෑ නඩුවක අතුරු තහනමක් වශයෙනි. මෙම අලුත් පාලන මිල පැවරුවේ ඉන් අනතුරුවය. එසේ වුවද මේ එකම අවස්ථාවකදී හෝ බිත්තරයේ බර සඳහන් කර නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දිනවල පාලන මිලට අලෙවි කිරීමට ඉතා කුඩා බිත්තර වෙළෙඳ පොළට දමා තිබුණද, ගැසට් නිවේදනයේ බරක් සඳහන් නොවීම නිසා ඔවුන්ට එරෙහිව පියවර ගත නොහැකි බව බලධාරීහු පවසති. එසේ වුවද සති දෙකකට වඩා වැඩි කාලයක් බිත්තර ගබඩා කර තබාගත නොහැකි වීම නිසා වෙළඳුන්ට බිත්තර අලෙවි නොකර දිගටම තබාගත නොහැක.

වෙළෙඳ අමාත්‍යංශය පසුගිය 9දා බිත්තර ආනයනය සඳහා මිල ගණන් ලබාගැනීම අවසන් කළ අතර ඒ සඳහා මිල ගණන් 20ක් ලැබී තිබුණි. බොහෝ ඉල්ලුම්කරුවෝ ඉන්දියාවෙන් වූ අතර ඔවුහු ජාත්‍යන්තර ප්‍රමිති සහතිකද එවා තිබුණහ. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු 9 වැනිදායින් පසු ඊළඟ සතියේදී බිත්තර ආනයනයට පියවර ගෙන තිබුණි. ආනයනය කරන බිත්තර ස.තො.ස. ඇතුළු සුපිරි වෙළෙඳ සල්වලින් අලෙවි කරන්නට කටයුතු යෙදීය. මෙහිදී බිත්තර නිෂ්පාදකයන් පැවසුවේ ආනයන බිත්තරවලට වඩා කීයක් හෝ අඩුවෙන් තමන් බිත්තර විකුණන බවය.

එහෙත් මෙහිදී හරහට හිටියේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවලය. ඇය පැවසුවේ ඉන්දියාවේ සහ පකිස්තානයේ මේ දිනවල කුරුලු උණ රෝගය පවතින නිසා කෙසේවත් එම රටවලින් බිත්තර ආනයනයට අනුමැතිය නොදෙන බවය. අවශ්‍ය නම් කුරුලු උණ නැති ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, මැලේසියාව ආදී රටවල්වලින් ආනයනය කිරීමට අවසර දිය හැකි බව ඇය කීවාය. සතෙක් හෝ සත්ව නිෂ්පාදනයක් ආනයනය කරන විට රට තුළට රෝග ඇතුළුවීම වැළැක්වීමට 1992 අංක 59 දරන සත්ව රෝග වැළැක්වීමේ පනත අනුව කටයුතු කළ යුතු බවටද ඇය තරයේ පැවසීම නිසා කඩිමුඩියේ කරන්නට ගිය ආනයනද ප්‍රමාද විය.

පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජේසිංහ:

බිත්තර වැඩිමිලට අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ආදී වැරදි සඳහා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කරනවා. මේ වනවිට වැටලීම් 50ක් සිදුකර තිබෙනවා. එම වැටලීම් කළේ 22, 23 හා 24 දිනවලයි. වැඩි මිලට අලෙවි කිරීම් පිළිබඳ නඩු 35ක්, මිල ප්‍රදර්ශනය නොකිරීම පිළිබඳ නඩු 13ක් සහ තොග සඟවා ගැනීම් පිළිබඳ නඩු 2ක්ද ඒ අතර වෙනවා. ඉදිරියටත් නඩු පැවරීම දිගටම කරනවා. කොළඹ මෙන්ම අපේ ප්‍රාදේශීය කාර්යාලවලද වැටලීම් කරනවා. ලබන සතිය වනවිට මෙම නඩු අධිකරණයේ ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ රුපියල් ලක්ෂයක දඩයක් සහ හය මසකට නොවැඩි සිර දඬුවමක්ද වෙළෙඳ සමාගම් සඳහා උපරිම ලක්ෂ 5ක දඩයක්ද අයකර ගැනීමට අධිකරණයට බලය තිබෙනවා. අපේ වැටලීම්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන අතර බොහෝ තැන්වල සුදු බිත්තරයක් රුපියල් 44ට සහ රතු බිත්තරයක් රුපියල් 46ට අලෙවි කරනවා දකින්නට ලැබෙනවා. මිල ප්‍රදර්ශනය කිරීම්ද සිදුකර තිබෙනවා.
කෙසේ වුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව පෙනෙනවා. මෙයට හේතුව රටේ බිත්තර හිඟයක් ඇතිවීම නොව නිෂ්පාදකයන් සහ තොග වෙළෙඳුන් බිත්තර සැපයීම වුවමනාවෙන් අඩු කිරීමයි. ඔවුන් බිත්තර අලෙවියට දීම ප්‍රමාද කරන්නේ ඉදිරියේදී මිල පිළිබඳ යම් වෙනසක් සිදුවේ යැයි යන බලාපොරොත්තුවෙන් විය හැකියි. එහෙත් මෙම ගැසට්ටුව ඉදිරියේදී වෙනස් වේ යැයි කියලා සිතන්න බැහැ. නිෂ්පාදකයන් සතු බිත්තර අලෙවි නොකර දිගටම තබාගන්න බැහැ. සති දෙකකට වඩා තබා ගැනීමට අපහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අලෙවි කරන්න වෙනවා. ඉදිරියේදී සොයාබලා හිඟයක් ඇති නොවීමට අධිකාරිය කටයුතු කරනවා. දැනට ආහාර, බෙහෙත්, රසායන ඇතුළු අමුද්‍රව්‍යවල මිල යම් පමණකට අඩුව ඇති නිසා අප ගැසට් කළ මිලට ලාබයක්ද තබාගෙන අලෙවි කළ හැකියි. මිල අඩු වූ විට යම් පමණකට ඉල්ලුම ප්‍රසාරණය වෙනවා. එවිට ලාභ වැඩිකර ගත හැකියි. කෙසේ වුවත් බිත්තර සංගම් දෙක තුනකට කෘත්‍රිම මිලක් තනන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. වැටලීම් දිගටම සිදුවන විට හිඟයද නැතිව ගොස් මිල සාමාන්‍යකරණය වේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. නඩු පවරා අයකර ගත් දඩ මුදල් පිළිබඳ ඉදිරියේදී ප්‍රකාශ කිරීමට හැකිවේවි.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් බිත්තර ආනයනයට එරෙහිව කරුණු දක්වයි.

''බිත්තර රටින් ගෙන්වීමට තීරණය කළහොත් කුඩා සහ මධ්‍ය පරිමාණ බිත්තර කර්මාන්තය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ නිසා ආනයනය වැළැක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට බලාපොරොත්තු වෙනවා. සත්ව සහ ශාක නිරෝධායන පනතට අනුව විදේශ රටවලින් බිත්තර ගෙන්වන්න බැහැ. මේ වනවිට ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල කිකිළියන්ට විවිධ වෛරස් රෝග තිබෙන බව හෙළිවෙලා. බිත්තර දමන කිකිළියන්ට දෙන ආහාර සහ ඖෂධවල මිල ඉහළ ගිහින්. එසේම මව් සතුන්ගේද මිල වැඩිවෙලා. මේ වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර ගොවිපළවල් සැලකිවයුතු ප්‍රමාණයක් වැහිලා.

මෙම තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන මහා පරිමාණ බිත්තර ගොවිපළ හිමියන් කිහිප දෙනෙක් බිත්තර මිල විශාල ලෙස නග්ගලා. මේ නිසා වගකිවයුත්තන් කළ යුත්තේ කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සහය දී දේශීය කර්මාන්තය නගා සිටුවීමයි. රජය උත්සාහ කරමින් සිටින්නේ රටින් බිත්තර ගෙනැවිත් දේශීය බිත්තර කර්මාන්තය විනාශ කර දමා රටට වෛරස් රෝග බෝ කිරීමටයි. එවිට රටේ කුකුළු සම්පතද මෙයින් විනාශ වෙනවා. මෙය එක්කෙනෙකු දෙන්නකගේ පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් කරන ප්‍රයෝගයක්. එහෙම නැතුව ජනතාවට ආදරයෙන් කරන දෙයක් නොවෙයි. ඒ නිසා අපි ඉදිරියේදී රටින් බිත්තර ගෙන්වනවාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.

ජාතික සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සංජීව ධම්මික:

''මේ වනවිට කුකුළු කෑමවල මිල අඩු වී ඇති නිසා රජයේ සහතික මිලට බිත්තර දෙන්න පුළුවන්. එහෙත් ගැටලුව ඇත්තේ එම මිලට දෛනික අවශ්‍යතාවලට සරිලන සේ බිත්තර දෙන්න නොහැකිවීමයි. කුකුළු ආහාර මිල සහ මව් සතුන්ගේ මිල විශාල ලෙස ඉහළ යාම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළවල් රැසක් වැහිලා ගිහිං. ඒ අයට කර්මාන්තය කරගෙන යන්න අමාරුයි. ප්‍රධානම ගැටලුව වී ඇත්තේ අවශ්‍ය මව්සතුන් ලබාගන්න බැරිවීමයි. මව් සතුන් රජය මගින් සපයනවා නම් අපට බිත්තරයක් රුපියල් 30 ගණනේ දෙන්න පුළුවන්.

අපේ රටට දෛනිකව බිත්තර ලක්ෂ 80ක් අවශ්‍ය වෙනවා. මෙයින් සියයට 40ක් මහා පරිමාණ ගොවිපළවලින් ලැබෙන අතර ඉතිරි සියයට 60 ලැබෙන්නේ කුඩා සහ මධ්‍ය පරිමාණ ගොවිපළවලින්. කුඩා සහ මධ්‍ය පරිමාණ ගොවිපළවල් වැසී යාම නිසා මේ වනවිට දෛනික අවශ්‍යතාවලින් ලැබෙන්නේ සියයට 10ක් වැනි සුළු ප්‍රමාණයක් පමණයි. මව් සතුන් සාධාරණ මිලකට ලබා දෙනවා නම් කුඩා හා මධ්‍ය පරිමාණ ගොවිපළවල් යළි නගා සිටුවා අඩු මිලට බිත්තර සහ කුකුළු මස් දෙන්න පුළුවන්. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ රටෙන් බිත්තර ගෙන්වීමට කරන සැලසුම් අවලංගු කර දේශීය ගොවියාට පහසුකම් සලසන ලෙසයි. එවිට පෝෂණ ගුණයෙන් වැඩි දේශීය බිත්තර සාධාරණ මිලකට පාරිභෝගිකයාට සපයන්න පුළුවන්.''

සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර පවසන්නේද සෙසු නිෂ්පාදකයන් දක්වන අදහස්වලට සමාන අදහස්ය. ඔහු පවසන්නේ ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමේදී එරට කිකිළිගෙන් වෛරස් රෝග අපේ රටට බෝ වුණොත් ඔවුන්ගේ ව්‍යාපාර මුළුමනින්ම විනාශ වන බවයි.  ඒ නිසා පාරිභෝගිකයාට සහන සලසනවා සේම නැගීගෙන එන දේශීය නිෂ්පාදකයන් ගැනද සලකා බැලීම වගකිවයුත්තන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ඔහු කියයි.
''ඉන්දියාවෙන් බිත්තර ආනයනය නොකරන ලෙසට අපේ සංගමය සහ බිත්තර ගොවිපොළ හිමියන් නියෝජනය කරන සංගම් නියෝජිතයන් ඒකාබද්ධව පසුගිය 17දා ජාතික සත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුවට සංදේශයක් බාරදුන්නා. පැලැස්තර නොදමා පවතින බිත්තර හිඟයට දිගුකාලීන විසඳුම් ලෙස ගොවිපළ හිමියන්ට අවශ්‍ය මව් සතුන් සහ ආහාර සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කළහොත් දේශීයව නිෂ්පාදනය කරන බිත්තර රුපියල් 25-30 වගේ දෙන්න පුළුවන්. එසේ නැතුව අපට රෝග බෝවුණොත් බිත්තර කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටෙනවා. පාලන මිල දැමීමට පෙරද බිත්තරයක මිල රුපියල් 46 දක්වා අඩුවෙලා තිබුණා. ඒ නිසා ඉදිරියේදී ස්වයංක්‍රීයව බිත්තර මිල පහළ යාවි. පාරිභෝගිකයා සහ දේශීය ගොවියා යන දෙපාර්ශ්වයම මෙයින් ආරක්ෂා වෙනවා.''

සත්ව ආහාර නිෂ්පාදකයන් පවසන්නේ ආහාර තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට 70ක් පමණ වන්නේ බඩඉරිඟු බවය.

''රටේ බඩඉරිඟු අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක්. එය ප්‍රමාණවත් නැති නිසා තවත් ලක්ෂ 1 ½ ආනයනය කරනවා. ඒ සඳහා වසරකට මිලියන 1000ක් වැයවෙනවා. පසුගියදා පැවැති තත්ත්වය මත බඩඉරිඟු ආනයනය සීමාවීම සහ රසායනික පොහොර තහනම නිසා දේශීය බඩඉරිඟු නිෂ්පාදනය බිඳ වැටුණා. 2018 ඇතිවූ සේනා දළඹු උවදුරද අස්වැන්නට බලපෑවා. එසේම රසායන පොහොර ආනයන තහනමද වගාවලට අහිතකර වූවා. ඒ නිසා තමයි රුපියල් 20-25 වික්ක බිත්තර රුපියල් 60-65 දක්වා ඉහළ ගියේ. තවමත් බඩඉරිඟු ඉතාම මිල ඉහළයි. රුපියල් 30-35 ගණනේ අලෙවි කළ තම්බාපු බඩඉරිඟු කරලක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 100කට පමණයි.

බීජ මිල කිහිප ගුණයකින් ඉහළ යාම නිසා පොහොර මිටියක මිල රුපියල් 1500 සිට 20,000 දක්වා වැඩිවූවා. එසේම පළිබෝධනාශක සීමාවීමද අස්වැන්නට අහිතකර ලෙස බලපෑවා. බිම් සකස් කිරීමේ කුලිය වැඩිවීම, ඉන්ධන හිඟය වන අලි තර්ජන ආදිය නිසා බඩඉරිඟු නිෂ්පාදනය අඩාල වුණා. වාර්ෂික බඩඉරිඟු වගාව මේ වනවිට හෙක්ටයාර 40,000-50,000 පමණ වෙලා තියෙන අතර එම ප්‍රමාණයෙන් කොහොමවත් සෑහීමකට පත්වෙන්න බැහැ.

බස්නාහිර බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නිලේෂ් රෑපසිංහ පවසන්නේ කුකුළු ගොවිපළ සඳහා ආනයනය කරන ඖෂධ සහ ආහාර වර්ගවල බදු ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 40 දෙන්න පුළුවන් බවකි. ඩීසල් පෙට්‍රල්, වී කුඩු හා බඩඉරිඟු මිල ඉහළ ගොස් ඇති නිසා ඒ අනුව බිත්තර මිල ඉහළ ගොස් ඇතැයි කියන ඔහු පසුගිය දිනවල බිත්තර මිල ඉහළ ගියේ නිෂ්පාදනය අඩු වී ඉල්ලුම ඉහළ යාම නිසා බවත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බිත්තර ආනයනය කරන්න යන්නේ කොමිස් ගහන්නදැයි සැකයක් ඇතිවී තිබෙන බවත් පෙන්වා දෙයි.

I යසවර්ධන රුද්රිගු