මාස ගණනක ඉඳන් කුප්පි ලාම්පුවට දාන්න භූමිතෙල් ඇබිත්තක්වත් නැත්තේය. පහනක් පත්තු කරන්නවත් පොල්තෙල් බිඳක් ගේ අහලකවත් නැත. එහෙයින් මෙම ලිපිය කළුවරේම ලියමි. හරියට කෑමක් බීමක් නැත. වේල් තුනක් කාපු කාලයක්, එළකිරි වීදුරුවක් බීපු කාලයක් මතක නැත. එළදෙනුන්ට තණකොළ නැත. අපට එළකිරිද නැත. එහෙයින් මේ දවස්වල අපගේ මොළය වැඩ කරන්නේද අඩුවෙනි. බිත්තරයක් කාපු කාලයක් මතක නැත. කීරකොළවලත් හලාහල විෂය. අහල ගම් හතකවත් කිරිපිටි පැකට්ටුවක් හොයාගන්න නැත. එහෙයින් ඇස් පෙනීමත් හොඳටම දුර්වල වෙලාය. ලයිට් බිල එහෙමත් ඉස්සරට වඩා එක දෙක වී පෙනෙයි. බෙහෙත් ගන්න දොස්තර ළඟට ගියාම දොස්තර කීවේ ඒ උත්තමයටත් මේ දවස්වල එහෙමය කියාය. කෝටියක් ප්‍රශ්නවල නිමක් නැත්තේය. මේවාට සිනාවෙන්නද අඬන්නද කියාවත් අපට සිතාගත නොහැකිය.
ඒ මේ කතා මැද්දේ මෙවර උසස් පෙළ විභාගය නමෝ විත්තියෙන් පසුගියදා ආරම්භ විය. උසස් පෙළ විභාගය යනු දරුවකුගේ ජීවිතයේදී තීරණාත්මකම කඩඉම බව අමුතුවෙන් කිවයුතු නැත. එය අනාගත රැකියාව තීරණය කරන ප්‍රධාන සාධකයක්ද වෙයි. මාගේ මුනුපුරා මෙදාසැරේ උසස් පෙළ විභාගය ලියයි. මුනුපුරා පමණක් නොව අපේක්ෂකයෝ ලක්ෂ තුන හමාරක් මධ්‍යස්ථාන 2200ක මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටිති. සරසවි හීනය හිසේ තබාගෙන දරුවෝ කකුල් බේසම්වල ඔබාගෙන කාමරවල දොර වසාගෙන හරි හරියට පාඩම් කරති. එහෙත් මෙදාසැරේ දරුවන් විභාගයට පාඩම් කරනුයේ කළුවරේය. ඒ මන්ද යත් විදුලිය කප්පාදුවෙන් මේ දිනවල ගෙවල්වල පමණක් නොව දරුවන්ගේ හීනවලත් “ලයිට්” නිවිලාය.
බර පහ කරගන්න මහ රෑ කළුවරේ යන්න ගිය කොලුවා කකුල පුටුවක වද්දාගෙනය. විභාගය අස්සේ කරගන්නා වැඩ කියා කොලුවාගෙ අම්මා කොලුවාට බනී. කොලුවා මුළු දියවන්නාවම සිහිපත් කරයි. ගෙදර එකම යුද්ධයකි. කන්කරච්චලය අසා සිට බැරිම තැන සීයා වන මම මෙය ලියන්නට සිතුවෙමි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉකුත් 23 වැනිදා ආරම්භ වී පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර ආරම්භක දිනය වූ 23 වැනිදා සිට දිනකට පැය දෙකයි විනාඩි විස්සක් බැගින් විදුලිය කැපීම සිදුකරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබිණ. විභාගය පැවැත්වෙන කාලයේදී විදුලිය කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබූ අතර විභාග දෙපාර්තමේන්තුවද ලියුම් කඩදහියකින්ම ඉල්ලීමක් කළ බව කියයි. එහෙත් මේ වනවිට එම ඉල්ලීම් සියල්ල කුණු කූඩයට වැටිලා වගේය. ඇමැති හැසිරෙන්නේ දුම්මල වරම අතට ගත්තා සේය.
විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලිය කැපීමක් සිදු නොකිරීමට රුපියල් බිලියන 5ක මුදලක් වැයවන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය. ගමේ කඩයෙන් ණය පොතට බඩු ගන්නා සේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදුලිය ණයට නොගනිති. එහෙත් විදුලිය පාඩු ලබන්නේ ජනතාවගේ වරදකින්දැයි ප්‍රශ්නයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී විදුලිබල ඇමැති ළඟ තියාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසූයේ උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව හේතුවෙන් දරුවන් තැලෙන බවත් එය සිදු නොවිය යුත්තක් බවයි. එසේම ගලක් උඩට බිත්තරයක් වැටුණත් බිත්තරයක් උඩට ගලක් වැටුණත් සිදුවන්නේ එකම ප්‍රතිඵලයක් බවත් එහෙයින් පෞද්ගලික ආරවුල් හේතුවෙන් දරුවන් තලා පෙලා දැමීම සිදු නොවිය යුත්තක් බවත් හෙතෙම පැවසීය.
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසූයේ බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සහ නිසි සැලසුමක් නොමැති වීමෙන් විභාග කාලසීමාවේදී විදුලිය කැපීමට සිදු වී ඇති බවයි. මෙම විදුලි කප්පාදුව හේතුවෙන් විභාග අපේක්ෂකයෝ දැඩි දුෂ්කරතාවට පත් වී සිටිති.
රටේ මුදල් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් බව යමක් කමක් තේරෙන ඕනෑම දරුවකුට පවා පැහැදිලිය. එහෙත් එකී ප්‍රශ්නවලට දරුවන්ගේ අනාගතය බිල්ලට ගැනීම රටක් හැටියට නිර්ලජ්ජිත ක්‍රියාවකි. හතර වටෙන් නැගෙන විරෝධය හමුවේත් බලධාරීන් සිටිනුයේ ගොළුවන් කසාය බීලා වගේය. වර්තමානයේ දරුවන් අපහසුතාවට පත් කරමින් සිදුවන විදුලිය කැපීම සම්බන්ධයෙන් විමසීමට අප විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සම්බන්ධ කරගැනීමට විශාල පරිශ්‍රමයක් දැරුවද පිළිතුරු ලබාදීමට ඔහු සමත් නොවීය.
විභාගය අවසන් වනතුරු විදුලිය කැපීම වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලොක්කන් කිහිපදෙනකුට මානව හිමිකම් කොමිසමට යන්නත් සිදුවිය. එහිදී 25 වැනිදා සිට උසස් පෙළ විභාගය අවසානය වන පෙබරවාරි 17 වැනිදා දක්වා විදුලිය කැපීම අත්හිටුවීමට මානව හිමිකම් කොමිසමෙන් බලධාරීන්ට නිර්දේශ කෙරිණ. ඒ සඳහා කොමිසම හමුවේ බලධාරීන් එකඟ වුවද එකී නිර්දේශය ලබාදුන් ඉකුත් 25 වැනිදා රාත්‍රියේදීත් විදුලිය විසන්ධි වූයේ බීරි අලින්ට වීනා වයන්නාක් මෙනි.
අතීතයේදී වරක් රජුගේ රාජ භෝජනයට මස් මදි වූ විට සත්ත්ව මාංශ වෙනුවට සොහොනකින් මිනීමස් ගෙනත් උයා කැවූ, පාලකයන්ට කිඹුල් කඳුළු හෙළන ගෝලයන් සිට ඇති බව ජාතක පොතේ සඳහන් වෙයි. අතීතයේ සිසුන් විභාගවලට පාඩම් කළේ ලයිට් තිබිලාද?, උසස් පෙළ වගේද විදුලිය, මිනිසුන්ට ලයිට් ඕනෑමද? ලයිට් නැතුව බිල පමණක් ගෙවා සිටින්නට බැරිද? ආදී පාණ්ඩිත්ව අදහස්, යෝජනා පාලකයන්ට ඉදිරිපත් කරන කේවට්ට අවතාර මේ මිහිපිට වසන වග වර්තමානයේ සිදුවන සන්තෑසිවලින් සපථ වන්නේය. මහපොළොවේ පය නොගැසූ එවැනි ගෝල බාලයන්ගේ තීරණවලින් සිදුවූ වින්නැහි පසුගිය කාලයේ උගත් පාඩම්වලින් පවා ඉගෙන ගත හැකි වන්නේය.
එක්තරා සමයක රජ කෙනකු රාජ්‍ය පාලනය කළ අතර ඔහුගේ උපදේශකයා වූයේ අත්තෙන් අත්තට පනිනා වඳුරෙකි. රජතුමා රටේ නායකයාට වූවාට රටේ සෑම තීරණ ගන්නේත් උපදෙස් දෙන්නේත් වඳුරාය. රජු කරනුයේ වඳුරා කියන දෙය කිරීමය. රජතුමා වඳුරාගේ උපදෙස් අසා මුළු රටම හිතූ හිතූ විදිහට පාලනය කළේය. මෙයින් රටවැසියෝ මහත් පීඩාවකට පත් වී සිටියහ. රජුට කිසිවකුට දඬුවමක් දීමට අවශ්‍ය වුවහොත් වඳුරු උපදේශකයා හිස සොලවන අතර එසේ හිස සෙලවුවහොත් රජතුමා ඒ කීම අසා ඕනෑම කෙනකු මරා දැමීමට දෙවරක් කල්පනා නොකළේය. දිනක් රජු සිය උපදේශකයා සමඟ රාජතාන්ත්‍රික ගමනක් යමින් සිටින අතරමගදී රජුට නින්ද ගියේය. රජුට අබමල් රේණුවකවත් හිරිහැරයක් නොවීමට වඳුරා තරයේ වගබලාගත්තේ පූර්ණ ආරක්ෂාවක් ලබාදෙමිනි. රජු නිදාසිටි අවස්ථාවේ රජුගේ දේහයට මැස්සෙක් වැහුවාලු. සද්දන්තයන්ගෙන් පවා බේරෑ රාජකීය දේහයට මැස්සෙක් වැහීමෙන් වඳුරු උපදේශකයාට යක්ෂයා ආරෑඪ වූයේය. මදුරුවා පලවා හරින්නට කිසිදු ආයුධයක් සෙවුවද හමුනොවූ අතර රජුගේ මඟුල් කඩුව පසෙක තිබෙනවා දුටු උපදේශකයා රජුගේ බෙල්ලේ වසා සිටි මැස්සාට පාඩමක් උගන්වන්න සිතා මඟුල් කඩුව ගෙන රජුගේ බෙල්ලට කෙටුවේය. රජු එතැනම මරණයට පත්විය. මේ ආකාරයට වඳුරන්ගෙන් උපදෙස් ගෙන රට පාලනය කළ රජතුමාට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවුණේය.
මෙය කාලෙකට ඉස්සර අපේ ආච්චි මට කියා දුන් කතාවකි. එය ආච්චි මට එදා කියා දුන්නේ ඒ කාලයට ගැලපුණු නිසා බව පසුකලෙක මට වැටහිණි. ආච්චි මට කියාදුන් කතාව මෙවර උසස් පෙළට පෙනී සිටින මගේ මුනුපුරාටත් මම මේ ළඟකදී කියා දුන්නෙමි.
I සසංක චලන ගිම්හාන