2023 ජනවාරි 29 වන ඉරිදා

අමුතු තාලේ තනි අකුරේ සැණකෙළිය

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 90

තනි අකුරේ දේශීය පානය ''රා'' මෙරට දේශීය මද්‍යසාර අතරේ ප්‍රමුඛයාය. එහෙත් ස්වභාවික ''රා'' මෙරට මද්‍යසාර අතරේ ගැරහුම් ලබන පානයකි. දේශීයව නිෂ්පාදන කෙරෙන කෘත්‍රිම මද්‍යසාර සහ ආනයනික විදේශීය මද්‍යසාර නිසාවෙන් බොහෝ මත්ලෝලීහු රා පහත් කොට සලකති. එහෙත් මෑතක සිට අසන්නට ලැබෙන තොරතුරු අනුව එම තත්ත්වය නොදුරේදීම එම තත්ත්වය වෙනස් වීමට නියමිතය. මත්ලෝලීන්ගේ බසින්ම කියතොත් හෙට අනිද්දාට ''රා'' සුපිරි බ්‍රෑන්ඩ් එකක් වනු ඇත.

''රා අපනයනය'' සහ ''රා සැණකෙළියක්'' පිළිබඳ  සුභ ආරංචි කිහිපයක්ම ඉකුත් මාස කිහිපයේදී අපට අසන්නට ලැබුණි. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රකට ආයතනයක් කොළඹදී රා සැණකෙළියක් පැවැත්වීමට සූදානමින් සිටියි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහාය දක්වන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉකුත්දා පැවසීය.

ශ්‍රී ලංකාවේ නිපදවන පොල්, කිතුල් සහ තල් රා සඳහා දෙස් විදෙස් වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම තවත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සැණකෙළිය පවත්වන බව අමාත්‍යවරයා පවසා තිබුණි. කෙසේ වෙතත් මෙම සැණකෙළිය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කීර්තිමත් ආයතනයකි. ඒ සඳහා වන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් ඇතැයි කියැවේ.

දැනට දැනගැනීමට ලැබෙන පරිදි සැණකෙළියේදී පොල්, කිතුල් හා තල් ආශ්‍රිතව නිපදවන අනෙකුත් නිෂ්පාදනද අලෙවි කිරීමට දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව ලබාදීමට නියමිතය. කෙසේ වෙතත් මෙම රා සැණකෙළිය විවෘත වන්නේ විදේශිකයන්ට පමණි. රා බීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට මෙහි ඉඩකඩ වෙන් නොවෙනු ඇත.

අප මේ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවෙන් සිදුකළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ රා සැණකෙළි පිළිබඳ අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. කෙසේ වෙතත් දෙපාර්තමේන්තුව පවසා සිටියේ සැණකෙළිය සංවිධානය කරනු ලබන්නේ තමන් නොවන බවයි. ඇතැම් වෙබ් අඩවි සුරාබදු දෙපාර්තමේන්තුව සහ රජය විසින් මෙම සැණකෙළිය සංවිධානය කරනු ලබන බව වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් අදාළ ඉල්ලීම තමන් වෙත ඉදිරිපත් වූ පසු, දැනට රටේ පවතින නීති ප්‍රකාර ඊට අවසර ලබාදිය හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියි. තම ආයතන කටයුතු කරන්නේ නියාමන ආයතනයක් ලෙස පමණක් බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර රා අපනයනය සම්බන්ධවද විශල උනන්දුවක් මේ දිනවල නිරීක්ෂණය වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා පවසා තිබූ පරිදි දැනට දේශීය මද්‍යසාර ලෝකයේ රටවල් 35කට පමණ අපනයනය කරයි. 2021 වසරේදී දේශීය මද්‍යසාර අපනයනයෙන් ලැබුණ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 20ක් පමණ බව කියැවෙයි. එය 2022දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගොස් ඇත.

පොල් රා වලට අමතරව විශේෂයෙන්ම කිතුල් රා සහ තල් රා සඳහා විදේශීය වෙළෙඳ පොළේ හොඳ ඉල්ලුමක් පවතියි. පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල තල් සංවර්ධන මණ්ඩලයේ සහ තල් 
පර් යේෂණ ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ සැලකිය යුතු තල් රා අපනයනයක් සිදුව තිබුණි.

ඒ අනුව තල් සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි අපනයන ආයතනය විසින් ප්‍රංශයට සහ එක්සත් ජනපදයට තල් රා අපනයනය කරනු ලැබ තිබේ. ප්‍රංශයට අපනයනය කළ ඇණවුමේ වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් 45,000කි. ගෙවී ගිය නත්තල් සමයේ තල් සංවර්ධන මණ්ඩලය, එංගලන්තයේ බෙදාහැරීමේ නියෝජිත ආයතනය සමඟ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලන්ඩනයේ ක්‍රියාත්මක කර තිබේ.

2021 වසරේ කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීම සහිතව ''රාගා'' සන්නාමය යටතේ කිතුල් රා කෑන් වෙළෙඳ පොළට හඳුන්වාදීම සිදුවිය. ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම විසින් මෙම හඳුන්වා දීම සිදුකර තිබුණි.

අපනයනය කෙරෙන තල්, කිතුල්, පොල් රා ඇතුළු අනෙකුත් මත්පැන් වර්ගවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා දැනටමත් බලධාරීන් විසින් ප්‍රමිතීන් හඳුන්වා දී තිබේ. අපනයනකරුවන් දිරිමත් කිරීමට සඳහ අපනයන බදු නිදහස් කිරීමද පසුගිය වසරේ සිදුකර තිබුණි. ඒ අනුව තල්, කිතුල්, පොල් රා ඇතුළු ප්‍රමිතියෙන් ඉහළ දේශීය මත්පැන් නිෂ්පාදන පිටරට යැවීමෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක ආදායමක් මෙම වසරේ ලබාගත හැකි වෙතැයි රජය අපේක්ෂා කරයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉකුත්දා පවසා තිබුණේ පසුගියදා සයිඩර් සහ කිරි පොම්සා නම් බීම වර්ග අපනයනටද අවසර ලබාදුන් බවයි. ඉල්ලුමක් සහිත දේශීය මද්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසරදීම විදේශ විනිමය ගැටලුවටද විසඳුමක් බව ඇමැතිවරයා සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් නිසි නියාමනයක් සහිතව මෙම කටයුතු සිදුවිය යුතු බව අවසානයේ සඳහන් කළ යුතුය. අවශ්‍ය නීති රෙගුලාසි ලිහිල් කර දෙනවා සේම, වංචනිකයන්ට වැට බැඳීමද මීට සමගාමීව සිදුවිය යුතුය. කෘත්‍රිම රා හේතුවෙන් රා කර්මාන්තය වැනසී යමින් ඇති බවද මෙහිලා සිහිපත් කරමු. එසේම රජයේ ලොකු ලොකු තැන්වල ආධාර උපකාර සහිතව ක්‍රියාත්මක වන හොර අරක්කු ජාවාරම්ද මෙරට ඇති බව සිහිපත් කරමු.

රා කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳ කතිකාවද මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා නොවේ යැයි අවසානයේ අපි පතමු.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04