2023 ජනවාරි 29 වන ඉරිදා

ඇයි මේ දවල්ටත් සීතල?

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 87

දිවයින පුරා මේ දිනවල පවතින ඊසානදිග මෝසම් තත්ත්වය හමුවේ සවස් කාලයේදී ඇතැම් ප්‍රදේශවලට තරමක් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුළං හැමීම ඊසාන දෙසින් සිදුවන අතර කාලගුණ රටාවේ සිදුවන වෙනස්වීම නිසා යම් කැළඹිලි සහගත ස්වභාවයක් සුළු වශයෙන් හෝ ඇතිවිය හැකිය. මෙසේ සාමාන්‍ය කාලගුණ රටාව වෙනස් වීමත් සමඟ දහවල් කාලයේදී අහස වළාකුළුවලින් බරවීමක් දැකිය හැකිය.

''මෙවැනි වළාකුළු වර්ධනය වීමෙන් දහවල් කාලයේදී හිරු එළිය අඩුවීමක් සිදු වෙනවා. දහවල් කාලයේදී සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වන්නේ හිරු එළිය වැටීමත් සමඟයි. නමුත් දහවල් කාලයේදී හිරු එළිය අඩුවීමෙන් උෂ්ණත්වය අඩුවීමක් සිදුවෙනවා. මේ තත්ත්වය නිසා ජනතාවට දහවල් කාලයේදී මඳ සීතල ගතියක් දැනෙන්න පුළුවන්.'' යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් දේශයට පැවසීය.

පසුගිය සති කිහිපය තුළදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක දහවල් කාලයේදී පැවති මඳ සීතල හා අඳුරු ස්වභාවයට හේතු වූයේ ද මෙම කාලගුණ තත්ත්වයේ වෙනස් වීමයි. රාත්‍රී කාලයේදී පවතින වළාකුළුවල අඩුවීම හේතුවෙන් පොළොවේ දිගු තරංග ඉහළට පිටවීම නිසා පොළොවේ උෂ්ණත්වය ද අඩුවීම අලුයම කාලයේ ඇතිවන සීතල ස්වභාවයට හේතුව වශයෙන් දැක්විය හැකිය. වලාකුළු අඩුවීම හේතුවෙන් අලුයම කාලයේදී දැඩි සීතලක් පවතී. එහෙත් ජනවාරි මාසය සාමාන්‍යයෙන් සීතල මාසයක් ලෙසින් දැක්විය හැකිය.

ඊසානදිග මෝසම් තත්ත්වයත් සමඟ ශක්තිමත් සුළං ධාරාව අඩුවීම නිසා අකුණු සහිත වර්ෂාවක් ඇතිවේ. එයට විවිධ වායුගෝලීය සාධක බලපායි. මෙම සාධකවල බලපෑම හමුවේ ඊසානදිග මෝසම් සුළඟේ ප්‍රබලත්වය අඩුවීමෙන් (දුර්වල ඊසානදිග මෝසම් රටාව) සවස් කාලයේදී වැසි සහිත කාලගුණයක් පැවතිය හැකිය. මෙයට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ද බලපායි. සුළං රටාව වෙනස් වීමත් සමඟ මෙම තත්ත්වය දිනෙන් දින වෙනස් විය හැකිය.

කාලගුණ තත්ත්වය වෙනස් වීමත් සමඟ පසුගිය දිනවලදී බස්නාහිර, සබරගමුව පළාත්වලද, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද සවස් කාලයේදී තැතින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු වාර්තා විය. ඇතැම් ස්ථානවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද පැවතිණි.

ඉදිරි කාලයේදී මෙම කාලගුණික තත්ත්වයේ වෙනස් වීමක් ඇතිවිය හැකිය. නැගෙනහිර, ඌව පළාත්වලට ඉදිරි සති කිහිපයේදී මඳ වශයෙන් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව අනෙකුත් පළාත්වලද සවස් කාලයේදී ඉඳහිට මඳ වර්ෂාවක් ඇතිවිය හැකිය. පෙබරවාරි මාසය වැසි සහිත මාසයක් ලෙසින් හැඳින්වේ. නමුත් ඝර්ම කලාපීය රටක් වන අප රටේ කාලගුණික තත්ත්වය මඳ වශයෙන් වෙනස් විය හැකිය. මේ නිසා ඉදිරි මාසයේ අඩු වර්ෂාවක් පැවතිය ද නියං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

I දිශානි ජයමාලි කරුණාරත්න