2022 දෙසැම්බර් මස 18 වැනිදා පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල 2023 ජනවාරි මස 25 වැනිදා නිකුත් විය. මෙම විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 334805 දෙනකු අයැදුම් කළ අතර ඒ අතරින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 329668 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. මෙවර විභාගයේ වැඩිම කඩඉම් ලකුණ ලෙස සිංහල මාධ්‍ය සඳහා ලකුණු 153ක් සහ දෙමළ මාධ්‍ය සඳහා ලකුණු 144ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික්ක මෙම ඉහළ කඩඉම් ලකුණු සීමාවට ඇතුළත් වේ. අවම කඩඉම් ලකුණ ලෙසින් සිංහල මාධ්‍ය සඳහා ලකුණු 145 සහ දෙමළ මාධ්‍ය සඳහා ලකුණු 141 ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගත් සිසු සිසුවියන් පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැත.
ශිෂ්‍යත්ව විභාගය සමත්ව ශිෂ්‍යාධාර ලබාගැනීමට සුදුසුකම් ලත් සිසුන් සංඛ්‍යාව 20,000ක් වන අතර, එයින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර ඇත. කෙසේ වෙතත් මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ත්‍රික්කයෙන් කී වැනියාද යන්න හෝ දිවයිනෙන් කී වැනියාද යන්න නිකුත් කර නොමැත.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹන්පිටිය විශේෂ මහ විදුහලේ ඉගෙනුම ලබන චානුක දේවින්ද සිසුවා ලකුණ 160ක් ලබාගනිමින් ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් විය. චානුක බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය හදාරන දෑස් අන්ධ සිසුවෙකි.
''මගේ ජයග්‍රහණය ගැන මට ගොඩක් සතුටුයි. මම වගේ දරුවන්ට අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාවක් වගේම විශ්ව විද්‍යාලයේ උගන්වන්නත් අවස්ථාවක් ලැබෙන්න ඕනෙ.'' යැයි චානුක දේවින්ද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
චානුක දේවින්ද සිසුවාගේ පියා ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඔහුට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙක් වෙති. චානුක දෑස් සම්බන්ධයෙන් ඇතිවූ රෝගී තත්ත්වයක් සඳහා කොළඹ ප්‍රධාන රෝහල්වල ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලැබුවද එයින් සුවයක් නොලැබිණි. මෙය අක්ෂි පිළිකාවක් යැයි ප්‍රකාශ කළ වෛද්‍යවරු මහරගම අපේක්ෂා රෝහලේදී ඔහුට ප්‍රතිකාර ලබා දුන්හ. කෑගල්ල පාසලක දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී චානුකගේ මව ඔහුව අඹන්පිටිය විශේෂ මහ විදුහලට ඇතුළත් කළාය. එතැන් සිට බ්‍රේල් ක්‍රමය මගින් තම අධ්‍යාපනය හදාරමින් සිටින චානුක පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙකි.
''මට මේ ජයග්‍රහණය ලබාගන්න මගේ අම්මා, තාත්තා, මගේ අයියා අක්කා ගොඩක් උදව් කළා. ඒ වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයෙන්ද විශාල සහයෝගයක් ලැබුණා. මම පාසලේදී එදිනට උගන්වන දේ ගෙදර ඇවිත් අම්මා තාත්තා එක්ක ආයෙත් අධ්‍යයනය කළා. මම විභාගය ඉවරවෙලා ලකුණු 120ක් වගේ තියේවි කියලයි හිතුවෙ. හැබැයි දැන් මට ලකුණු 168ක් තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි.'' යැයි චානුක දේවින්ද වැඩිදුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ විභාගයක් වුවද ඒ සඳහා වැඩි වශයෙන් උනන්දු වන්නේ දෙමව්පියන්ය. මේ නිසාම ඇතැම්හු මෙය 'දෙමව්පියන්ගේ විභාගය' ලෙසින් ද හඳුන්වති. ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීමට ඇති කඩඉමක් ලෙසින් ශිෂ්‍යත්ව විභාගය හැඳින්වුවද සැබැවින්ම මෙය දරුවන්ට මානසික පීඩනයකි. ඉගෙනීමට දස්කම් දක්වන දරුවන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙර සූදානමකින් පෙනී සිටියද ඇතැම් දරුවන් දෙමව්පියන්ගේ බල කිරීම නිසාම විභාගයට මුහුණ දෙන අවස්ථා ද නැතිවාම නොවේ.
ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරාගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ අරමුණින් පවත්වන මෙම විභාගය දරුවකුගේ මූලික කඩඉම් විභාගය ලෙසින් ද හැඳින්විය හැකිය. කෙසේ වෙතත් ජනප්‍රිය පාසලක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැක්කේ දිස්ත්‍රික්කයේ අවම කඩඉම් ලකුණු සීමාව හා ඊට වැඩි ලකුණු ලබා %QUALIFIED^ යනුවෙන් සඳහන් සිසුන් පමණක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම අයැදුම්පත් අදාළ සිසුවා හෝ සිසුවිය ඉගෙනුම ලබන පාසල අයත් කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මගින් බත්තරමුල්ල, ඉසුරාපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවට යොමු කළ යුතුය. ඊට අමතරව ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලත් සිසුන්ගේ නම් ඉදිරියෙන් ඇති ආදායම් තීරුවේ %BELOW'' යනුවෙන් සඳහන්ව ඇති බවත් එවැනි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබාගැනීම සඳහා නියමිත අයැදුම්පත් (බී ආකෘතිය) කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යම් සිසුවකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් 2023 පෙබරවාරි මස 28 වැනි දින දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
I දිශානි ජයමාලි කරුණාරත්න