2023 ජනවාරි 29 වන ඉරිදා

ගෙඩිය පිටින් ගලවාගෙන ගිය ගම්පොළ ATM එක

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 193
මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබූ අලුයම් වෙලාවකි. ගම්පොළ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට රථ ගාලට වේගයෙන් පැමිණ නැවැත්වූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකි. දඩි බිඩියේ බිමට බැසගත් තුන් හතර දෙනෙක් බැංකුව තුළට කඩා වැදුණෝය. බැංකු දොරකඩම අසුනකට බරව උන් ආරක්ෂක නිලධාරියා තිගැස්සී නැගී සිටියේ ක්ෂණිකවමය.

මැරයකු සේ හැසිරුණු අයකු අත වූයේ පිස්තෝලයකි. ඔහු එම අවිය ආරක්ෂක නිලධාරියාගේ හිසට එල්ල කොට තර්ජනය කරමින් ඔහුගේ අත පය සමඟ පුටුවටම තබා ගැටගසන්නට කටයුතු කළේය. එසැණින් දෙතුන් දෙනෙක් බැංකුවේ ATM යන්ත්‍රය පිහිටි කුටියට කඩා වැදී කලබලයෙන් හැසිරෙන්නට වූහ. වැඩි වෙලාවක් නොගත් පිරිස බැංකුව සතු ATM යන්ත්‍රය ගලවාගෙන වෑන් රථයට පටවාගෙන ගොස් තිබුණේ රුපියල් හැත්තෑ හය ලක්ෂයකට අධික මුදලක් ද සමඟය.

ATM යන්ත්‍රය ගලවාගෙන පලා ගිය වෑන් රථය ආ ගිය අතක් හෝ දුටුවෙක් හෝ නොවීය. නමුත් අදාළ බැංකු පරිශ්‍රය පිහිටි ස්ථානය ආසන්නයේම තවත් බැංකු ආයතන කිහිපයක් පිහිටා තිබිණ. එම බැංකුවල ආරක්ෂක නිලධාරින්ට මේ මහා පරිමාණ කොල්ලය සිදුවන බවක් දකින්නට ලැබී නැත්තේ කේ.ඩී.එච්. රථය ATM යන්ත්‍ර පිහිටි කුටිය අවහිර වන සේ නවත්වා තිබූ බැවිනි.

මරණ බිය හමුවේ සිටි ආරක්ෂක නිලධාරියා ගැටගසා තිබූ රැහැන් ගලවාගෙන තිබුණේ අසීරුවෙනි. පසුව බැංකුවේ සවිකර තිබූ අනතුරු ඇඟවීමේ නලාව නාද කරන විටත් මුදල් කොල්ලය සිදු වී මිනිත්තු ගණනාවක් ගත වී තිබිණ. නගර මධ්‍යයේම ගම්පොළ පොලිසිය පිහිටා තිබූ නිසා නිලධාරින්ට අදාළ ස්ථානයට ළඟා වීමට කාලයක් ගත වී නැත. මර බියෙන් පසුව සිටි බැංකුවේ ආරක්ෂක නිලධාරියා කෙසේ හෝ කොල්ලකරුවන් පැමිණි රථය මතකයේ තබාගෙන සිට එහි විස්තර පොලිසිය වෙත ලබා දී තිබිණ.

සැක කටයුතු වෑන් රථය පිළිබඳව විමර්ශන අරඹා හෝරා දෙක තුනක් ගතවන්නට ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් 119 අංකයට ලද ඇමතුමක් යොමුකර තිබුණේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙතය. ඇමතුම හරහා ලබා දුන් තොරතුර මගින් කියා තිබුණේ පේරාදෙණිය ගලහ හන්දිය ආසන්නයේ කේ.ඩී.එච්. වෑන් රථයක් අතහැර දමා ඇති බවය. ඒ අසල දෑස් සහ අත පය ගැටගැසූ පුද්ගලයකු දමා ගොස් සිටින බවද දන්වා තිබිණ. මේ තොරතුර අනුව ක්‍රියාත්මක වූ පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ බිම වැටී සිටි පුද්ගලයා භාරයට ගනු ලැබීය. මේ අතරතුර පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු හරහා ගම්පොළ පොලිසිය විසින් දන්වා තිබූ සැක සහිත වෑන් රථ අංකය හේතුවෙන් පේරාදෙණිය පොලිසිය මගින් එම වෑන් රථය හඳුනාගෙන තිබිණ. පසුව අදාළ රථය ගම්පොළ පොලිසිය වෙත බාර කර ඉදිරි විමර්ශන සිදු කරන්නට පියවර ගැනිණ.

බැංකුවේ කොල්ලය සඳහා පැමිණි සැකකරුවන් මුහුණ හා සිරුර ආවරණය කොටගෙන සිටි නිසා ආරක්ෂක නිලධාරියාට ඔවුන් පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැත. කෙසේ වෙතත් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී වෑන් රථය සමඟ දමා ගිය පුද්ගලයා තොරතුරු රැසක් හෙළි කර ඇතැයි පැවසේ. ඒ අනුව ඔහු පවසා ඇත්තේ එම පුද්ගලයා අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය. 

ඔහු පේරාදෙණිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයක සේවය කරන්නෙකි. ඔහුට කුලී රථ සපයන ආයතනය හරහා ලැබුණු අවස්ථාවකි. කුලී ගමනක් සඳහා කතා කළ පුද්ගලයා දන්වා තිබුණේ වෑන් රථය පදවාගෙන ගලහ ප්‍රදේශයට එන ලෙසය. එසේ ගිය අතරමගදී ගලහ ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනකු රථයට නැගී තිබුණේ රථය ගෙන්වාගත් පුද්ගලයා ද සමඟිනි. ඔහුගේ මගපෙන්වීම මත දෙල්තොට නගරය දෙසට ගිය වෑන් රථයට තවත් පුද්ගලයන් දෙදෙනකු ගොඩ වී තිබිණ. අනතුරුව ගම්පොළ දෙසට රථය පැදවිය යුතු බව දන්වා තිබිණ. මේ අයුරින් දෙල්තොට ප්‍රදේශය පසුකර ටික දුරක් යන අතරතුර වෑන් රථයේ සිටි පිරිස බලහත්කාරයෙන් රථයේ රියැදුරු අල්ලා දෑත් දෙපා ගැටගසා යම් ස්ථානයක රඳවා ඇතැයි කියති. ඔහුගේ ආරක්ෂාව සඳහා යම් පුද්ගලයකු එතැන තබා ගිය බවත් ඇස් ගැටගසා තිබූ බැවින් පුද්ගලයා හෝ ස්ථානය හඳුනාගත නොහැකි වූ බවත් එම පුද්ගලයා පොලිසියට කියා තිබිණ. 

මේ සිදුවීමෙන් පැය දෙක තුනකට පසුව, එනම් 24 වැනිදා අලුයම කාලයේදී ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකට අයත් ATM යන්ත්‍රය ගලවාගෙන ගොස් තිබුණේ මෙම වෑන් රථයෙන් පැමිණි කොල්ලකරුවන් පිරිසක් විසිනි. ATM යන්ත්‍රය සමඟ එහි තිබූ රුපියල් 76,46,700ක මුදලක් සොරාගෙන ඇතැයි කියති. මේ සම්බන්ධයෙන් අදාළ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල ඊට පෙර දින (23) ගනුදෙනුකරුවන් විසින් යන්ත්‍රය  තුළ තැන්පත් කළ මුදල් බවය.

මංකොල්ලය සිදු කළ පසුව අදාළ වෑන් රථය දෙල්තොට හා ගම්පොළ අතර යම් තැනකට නැවත ගොස් තිබෙන අතර එතැනදී වෑන් රථයේ රියැදුරු ඇස් බැඳ තිබියදීම නැවත රථයට නංවාගෙන ගොස් මග දමා ගොස් ඇත. එසේ ගලහ හන්දිය ප්‍රදේශයේ රියැදුරු සමඟ වෑන් රථයක් සොයා ගැනුණු අතර එතෙක් වූ සිද්ධිය විස්තර කොට තිබුණේ පොලිසිය බාරයට ගත් රියැදුරකු බව කියන පුද්ගලයා විසිනි. බැංකුවේ කොල්ලයට පසුව එම පුද්ගලයා පවසන කතාව පිළිගන්නට විමර්ශන නිලධාරීන් සූදානම් නැත. ඊට හේතුව සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී එකිනෙකට පරස්පර තොරතුරුද හෙළිවීම හේතුවෙනි. මේ නිසා සැකකාර රියැදුරුගේ කතාව ගොතන ලද එකක් බවට පොලිසිය සැක කරයි. මෙම සැකකරු ගුවන් හමුදා සෙබළකු බවටද හඳුනාගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

එම පුද්ගලයා පිළිබඳව ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරන අතර මංකොල්ලය පිළිබඳ විමර්ශනය සඳහා පොලිසියේ කණ්ඩායම් 5ක් පත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තොරතුරු අනුව මංකොල්ලය සඳහා පුද්ගලයන් සිව්දෙනකු සහභාගි වී ඇති බවකි. ගිනිඅවි භාවිතය පිළිබඳව ඇත්තේ එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා සිදු කළ ප්‍රකාශය පමණි. ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශන සඳහා බුද්ධි අංශවල සහාය ලබාගන්නා බවද නිහාල් තල්දූව මහතා කීය.

සැක කටයුතු කේ.ඩී.එච්. රථයේ හිමිකරු කලකට පෙර පොලිසියේ සේවය කොට ඉවත්ව ගිය අයකු බවද ඔහු අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටද හඳුනාගෙන ඇත. ඔහු දැනට බේකරි ආයතනයක් පවත්වාගෙන යන්නෙකි. සී.සී.ටී.වී දර්ශන, දුරකථන විශ්ලේෂණ වාර්තා, ඇසින් දුටු සාක්ෂි, ප්‍රකාශ, තාක්ෂණික වශයෙන් ලබාගත් තොරතුරු හා ඇඟිලි සලකුණු ඇසුරෙන් ඉදිරි විමර්ශන සිදු කරයි.

මෙවැනි ATM යන්ත්‍රයක් පැහැර ගැනීමේ සිදුවීමක් 2000 වසරේදී වාර්තා වී තිබුණි. ATM යන්ත්‍රය ලණුවකින් ගැටගසා අනෙක් කෙළවර ලොරි රථයක ගැටගසා එමගින් ATM යන්ත්‍රය කුටියෙන් ඇද සොරකම සිදු කර තිබුණු අතර ජාවාරම සිදු කර තිබුණේ නයිජීරියානු ජාතිකයන් කිහිප දෙනකු විසින් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කොට තිබිණ. 

I සමන්ත විල්තෙර