2023 පෙබරවාරි 05 වන ඉරිදා

අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ අපේක්ෂා ඉහළ නංවන්න අත්වැලක්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 110

මේ ගෙවී යන්නේ ජීවිතයේ අමාරුම කාල පරිච්ඡේදයකි. රටේ බහුතර ජනතාවක් වත්මන් සමාජයේ ජීවත්වන්නේ බොහෝ ආර්ථික අර්බුද රැසකට මුහුණ දෙමිනි. දිනෙන් දින මේ තත්ත්වය උග්‍රවෙද්දී ඒ අතරින් බොහෝ දෙනකු අද මෙරට අතහැර විදෙස්ගත වන්නේ වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ නැති බැවිනි. ගිනි පෙට්ටියේ සිට සෑම භාණ්ඩයකම මිල දැරිය නොහැකි ලෙසින් ඉහළ යද්දී රාජ්‍ය හා පෞද්ගලික ආයතනයක කිසිදු සාමාන්‍ය සේවකයකුගේ වැටුප වැඩිවීමක් වූයේ නැත.

මේ අතර දැරිය නොහැකි තවත් අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ ඖෂධවල මිල ගණන්ද දැරිය නොහැකි තත්ත්වයට ඉහළ යාමත්, ඇතැම් ඖෂධ හා වෛද්‍ය උපකරණවල හිඟතාවයන් නිසාය. මහරගම අපේක්ෂා රෝහලද දිනෙන් දින මේ තත්ත්වයට මුහුණ දෙමින් පවතී. දිවයිනේ නන් දෙසින් දිනපතා අපේක්ෂා රෝහලේ සායනවලට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අපේක්ෂාවන් බිඳ දමමින් අද වනවිට අපේක්ෂා රෝහලේ ඇතැම් ඖෂධවල හිඟය උග්‍රවෙමින් පවතී. මේ හා සාපේක්ෂව අනෙකුත් රජයේ රෝහල්වලද මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණපාමින් සිටී. මෙමඟින් තව තවත් අසරණ වන්නේද මේ රෝගීන්ය. 

මහරගම අපේක්ෂා රෝහලට නන් දෙසින් රෝගීහු දිනපතා ඔවුන්ගේ සායනවලට පැමිණෙති. රෝගී ප්‍රතිකාර හා උපදෙස්වලින් පසුව වෛද්‍යවරුන් ඖෂධ නියම කරද්දී ඒවායින් ඇතැම් ඖෂධ රෝහලේ නැත. ඒ අතර සමහරක් ඖෂධහල්වලට නැත. ඒ තරමට එම ඖෂධවල හිඟය රෝගීන්ට දරුණු ලෙසින් පවතී. මේ අතර ඖෂධහල්වල ඇති ඖෂධවල මිල ඉතා අධිකය. මෙතෙක් රජයේ රෝහලේ නොමිලේ ලැබුණ ඖෂධවලින් ජීවිතය බේරාගන්නට උත්සාහ දැරෑ රෝගීන්ගේ මේ බලාපොරොත්තු දැන් පවතින ආර්ථිකය සුනුවිසුණු කොට දමා තිබේ.

මේ හේතුවෙන් රෝහල තුළ සතිපතා පවතින ඖෂධවල හිඟය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අපේක්ෂා රෝහල ආරම්භ කොට ඇත. ඒ අනුව එම ඖෂධ රෝහලට ලබාදීමට හෝ ඒ සඳහා මුදල් ආධාර හෝ ලබාදීමට මේ වනවිටත් අප රටේ පරිත්‍යාගශීලී මිනිස්සු ඉදිරිපත් වී සිටිති.

මේ පරිත්‍යාගශීලී අය අතරින් වැඩිදෙනකු ධනපතියෝ නොවෙති. නමුත් ඔවුන් හදවතින් ධනපතීන්ය. මෙතරම් ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක තවත් කෙනකුගේ හුස්ම ගන්නා දිනය තවත් දිනකින් හෝ වැඩිකරලන්නට අත්වාරුවක් දෙන එවැනි සංවේදී මිනිස්සු තවමත් අප අතරේ සිටිති. මෙරට පමණක් නොව විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයෝද මහරගම අපේක්ෂා රෝහලේ පවතින මෙම ඖෂධ හිඟය නැතිකර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටිති.
රෝහලේ දැනුම්දීමට අනුව මේ සතිය තුළදී මහරගම අපේක්ෂා රෝහල තුළ පහත සඳහන් ඖෂධ හිඟව පවතී.

1. Inj. Oxaliplatin 100mg 
2. Inj. Docetaxel 80mg 
3. Inj. Daunorubacine 20mg 
4. Inj. Vinblastin 10mg 
5. Inj. Cyclosphosphomide 1g 
6. Cap. Lenolidamide 5mg/ 10mg 
7. Inj. Methotrexate 1g
8. Inj. Carboplatin 450mg
9. Inj. Irrinotican 100mg
10. Inj. 5 Fluorouracil 1g
11. Inj. Cisplatin 50mg
12. Cap. Imitinib 100mg/ 400mg

මීට අමතරව අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ලබාදෙනු ලබන ආහාරපාන සඳහාද පරිත්‍යාගශීලීන්ට උදව් කිරීමේ හැකියාව පවතී. මේ දිනවල පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් මිල අධික ආහාර පාන පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැති වුවද තමන්ට හැකි අයුරින් මේ සඳහා දායකත්වය ලබාදීමට හැක. උදාහරණයක් ලෙසින් මේ දිනවල දෙළුම් මිල ඉතා අධිකය. සාමාන්‍ය දෙළුම් ගෙඩියක මිල රුපියල් අටසියයක් දාහත් අතර මිලක් වේ. එබැවින් තමන්ට හැකි අයුරින් එවැනි මිල අධික ආහාරපාන ලබාදීමෙන් අසරණ රෝගීන් වෙනුවෙන් පිහිටවීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව තිබේ.

පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී කීර්ති පැස්කුවල් මහතාගේ ''මනමාල හැන්දෑව'' සංගීත ප්‍රසංගයද මෙවැනි පුණ්‍ය කටයුත්තක ආරම්භයකි.

''මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීම සඳහා ප්‍රතිපාදන මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට නැහැ. ඒ නිසා එවැනි රෝගීන් සඳහා කරනු ලබන සැත්කම් සඳහා තියෙන ඉඩ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ සඳහා මිල අධික පරීක්ෂණ බොහෝමයක් කරන්න තියෙනවා. තවත් පරීක්ෂණ ඉන්දියාවට යවා සිදුකළ යුතු වෙනවා. ඒ සඳහා ලබාදෙනු ලබන ඖෂධවල මිල ඉතා අධිකය. ඒ නිසා මේ සඳහා ඉතා ඉක්මනින් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු නිසාම මේ වෙනුවෙන් අරමුදලක් රුස් කිරීමට අපි තීරණය කළා. ඒ අරමුදල ආරම්භ කරන ලද්දේ ''මනමාල හැන්දෑව'' ප්‍රසංගය දවසේදියි. ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකිකයින් හරිම සංවේදී මිනිසුන්. මොන නැතිබැරිකම් තිබුණත්, එදා වේල කන්න නැති අය පවා මේ වෙනුවෙන් උදව් කරන්නට කැමැති වුණා. හැමෝගේම අවශ්‍යතාව වෙනුවෙන් අපි මේ විදිහට එකතුවීම, අසරණ රෝගීන් හුස්ම ගන්නා වාර ප්‍රමාණය තව වැඩිකර ගන්නට අපිට හැකි දේ අපි කළයුතු වෙනවා. දැන් ඒ වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා තියෙනවා.'' යැයි ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඉතින් ඔබත් මේ පුණ්‍ය කටයුත්ත සඳහා දායක වීමට කැමැත්තේ නම්  077 3023697 නැමැති දුරකථන අංකය ඔස්සේ කීර්ති පැස්කුවල් මහතා සම්බන්ධ කර ගැනීමට හැකිය. එමෙන්ම මුදල් පරිත්‍යාග Help Circles (Guarantee) Limited ලංකා බැංකුව (Corporate branch) 83688366 නම් ගිණුම් අංකයට බැර කිරීමට හැකියාව ඇත.

ඊට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ සතිපතා හිඟ ඖෂධ ලැයිස්තුව හෝ ලබාදිය හැකි ආහාරපාන සම්බන්ධයෙන් 011 2850252 – 253 නම් දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකියි.


I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02