2023 පෙබරවාරි 05 වන ඉරිදා

බදුබර උහුලනු බැරුව රට අතහැර යන වෘත්තිකයෝ

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 413

නව බදු ප්‍රතිපත්තිය තුළ වෘත්තිකයන් විශාල පිරිසක් රට හැරයමින් සිටිති. රට පත්ව සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට යැයි පවසමින් ආණ්ඩුව ජනතාව වෙත අධික බදු බරක් පටවා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරු, ගුවන් නියමුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, තොරතුරු තාත්ෂණ ඉංජිනේරුවන්, බැංකු නිලධාරීන් වැනි වෘත්තිකයන් විශාල ලෙස රටින් බැහැර වීමේ තර්ජනයක් මතුව තිබේ. මෙලෙස බුද්ධි ගලනය නිසා අවසානයේ රටේ සාමාන්‍ය ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකිය.

මෙම නව බදු ප්‍රතිපත්ති පැනවීමට ආණ්ඩුවට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමක් ලෙසිනි. බදු පැනවීම සහ ආර්ථික අර්බුදය නිසා රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්ත්වය මත තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්ගෙන් 10%ක් පමණ විදේශ රැකියා සොයා ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපතිවරයාද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි.

පසුගිය වසරේ පළමු මාස 8 ඇතුළත පමණක් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව රට හැර ගොස් ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 477 පමණ වේ. වෙනත් වසරවල මෙලෙස වෛද්‍යවරුන් විදේශ ගත වූයේ පුහුණුව සඳහා වුවද මේ වන විට තත්ත්වය වෙනස්ය. බොහෝ වෛද්‍යවරුන් තුළ පවතින්නේ  සේවයෙන් ඉවත්ව රට යාමේ මානසිකත්වයකි. 2019 සිට 2022 දක්වා වෛද්‍යවරුන්  4143ක් රට හැරගොස් තිබේ. වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දළ වශයෙන් ලක්ෂ 60ක් පමණ වැයවෙයි. වෙනත් වෘත්තිකයන් සඳහාද වැය කෙරෙන මුදල ඊට ආසන්නය. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉංජිනේරුවන් සංඛ්‍යාව දහසකට අධිකය. ඉන් දහයෙන් එකක් මේ වන විට රට හැර ගොසිනි. බැංකු ක්ෂේත්‍රයේද පළපුරුදු වෘත්තිකයන් විශාල පිරිසක් විදෙස් ගත වී ඇතැයි බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

''රටේ බදු මේ අයුරින් ඉහළ දැමීමට සිදු වූයේ රාජ්‍ය ආදායම අර්බුදයට ලක්වීම නිසයි. 2019 වනවිට අපේ බදු ලිපිගොනු සංඛ්‍යාව දාසය ලක්ෂ හතලිස් හතර දහස් තුන්සිය විසි හතක් තිබුණා. 2020 වන විට එය හාරලක්ෂ දහනවදහස් එකසිය තිහ දක්වා අඩු වුණා. එය සියයට 75ක අඩුවීමක්. බොහෝ විට මේ අලුත් බදු විදියට පෙනෙන බදු කලින් තිබුණු ඒවම තමයි. රටේ වෘත්තිකයන්ට පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරු 225ටත් මේ බදු පනවනවා. අපි යථාර්ථයට මුහුණ දී. මේ රට නගාසිටුවිය යුතුයි'' යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

වෛද්‍යවරුන් රට හැර යාම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. ''වෛද්‍යවරුන් රටහැර යාමෙන් බොහෝ ප්‍රාදේශීය රෝහල් වැසීයාමේ අවදානමක් තිබෙනවා. එයින් සිදුවන්නේ අහිංසක රෝගීන්ට විශාල බලපෑමක් සිදුවීමයි. අපේ වෛද්‍යවරුන්ට විදේශ රටවල ඕන තරම් රුකියා අවස්ථා තිබෙනවා. එහෙම තියෙද්දි තමයි ඔවුන් අපේ රටේ රෝගීන්ට සේවය කරන්නේ.  රටේ ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාත්  මෙලෙස රට හැර යන වෛද්‍යවරුන් බලහත්කාරයෙන් නවත්වාගන්නේ කොහොමද කියල කතාකරනව මිසක් ඇයි වෛද්‍යවරුන් හා අනෙකුත් වෘත්තිකයන් රට හැර යන්නේ කියල සොයාබලා ඒවා නිවැරදිකරන්න උත්සාහ කරන්නේ නැහැ. උපයන විට ගෙවීමේ බද්ද මගින් වෘත්තීයවේදීන් බිත්තියට හේත්තුකරල තියෙන්නේ. එහෙම හිරකරල බදු අය කළත් ආණ්ඩුවට අවුරුද්දකට උපයා ගන්න පුළුවන් රුපියල් බිලියන 8ක් හෝ 9ක් වගේ ප්‍රමාණයක් පමණයි. මේ බිලියන 8 හෝ 9ය එකතුකර ගන්නට ගොස් අවසානයේ රටට වන හානිය අපට සිතාගන්නවත් බැහැ. වෛද්‍යවරු රට හැර යන්නේ ඇයිද යන්න පිළිබඳව වෘත්තීය සමිතියක් විදිහට අප සොයා බැලූවිට අපට පැහැදිලි වූ ප්‍රධාන කරුණු කිහිපයක් තිබෙනවා.'' එකක් රටේ ඇතිවී තිබෙන අස්ථාවරභාවය නිසා දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවී තිබෙන බිය, දෙවැනුව ඔවුන්ගේ සමාජ මට්ටම පවත්වාගෙන යාමට නොහැකි වීම. බැංකු පොලී අනුපාත ඉහළ නිසා ඔවුන්ට නිවෙසක් තනාගන්න, වාහනයක් ගන්න එක සිහිනයක් බවට පත්වෙලා තිබෙනවා. තමන්ට වෙනත් රටවල අවස්ථා ඕනතරම් තියෙද්දි මෙහි රුඳී සිටියිද? ඇතැම් වෛද්‍යවරු තම ගෙවල් දොරවල් පවා විකුණා දමා නැවත ලංකාවට නොඑන්නම පිටරටවලට යන ප්‍රවණතාව දිනෙන් දිනම වැඩිවී තිබෙනවා. පසුගිය කාලයේ රටේ පැවැති ක්‍රමවේදය අනුව අලුතින් එකතුවන වෛද්‍යවරුන්ගේ සිහිනය වුණේ  පශ්චාද් උපාධියක් කිරීමයි. එහෙත් වර්තමානයේ එය වෙනස් වී තිබෙනවා. ඔවුන් බලන්නේ කෙසේ හෝ රට අතහැර දමා ඔස්ට්‍රේලියව, එංගලන්තය, මැද පෙරදිග වැනි රටකට යෑමටයි. රටහැර යන වෛද්‍යවරුන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කරනවා වෙනුවට ඔවුන් මෙහි රඳවා ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ යුතුයි. බහුතරයක් වෛද්‍යවරු තවමත් මේ රටට සේවය කිරීමේ කැමැත්තෙන් සිටිනවා. ඒ බහුතරයේ මානසිකත්වය බිඳදමන්නේ නැතිව ඔවුනට රටතුළ සේවය කිරීමට අවශ්‍ය මානසික තත්ත්වය ඇති කළ යුතුයි.'' යනුවෙන් සඳහන් කරයි.

හම්බන්තොට රෝහලේ වෛද්‍ය අමිල නුවන් ජයසූරිය සඳහන් කරන පරිදි එම රෝහලේ වෛද්‍යවරුන් දස දෙනකු පමණ මේ වන විට රටහැර ගොස් තිබේ. තවත් වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන්  පිරිසක්ද නුදුරේදීම රට හැර යාමට හෝ වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ඔහු  සඳහන් කළේය.

පසුගිය කාලයේ විවිධ බදු වංචා පිළිබඳව අසන්නට ලැබිණි. එවැනි බදු වංචාකරුවන්ගෙන් බදු අය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන වෘත්තිකයන් මත මෙලෙස බදු පැටවීම මත කළකිරීමට පත්වන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යාමට තීරණය කිරීමෙන් රටේ බුද්ධිමතුන්ගේ හිඟයක් ඇතිවීම වළක්වාලිය නොහැකිය. මෙලෙස බුද්ධි ගලනයට ප්‍රධාන සාධකය ජනතාව අපේක්ෂා කරන ආර්ථික හා  මානසික නිදහස වර්තමානයේ අහිමි වීමයි. 

රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල පාඩු නොලබනවා නම් ජනතාව මත මෙතරම් බදු බරක් පැනවීමට සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. ''විශාල බදු බරක් පැටවී තිබෙන බව ඇත්ත. ආණ්ඩුව හැකි තරම් සහන දිය හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරනවා. පසුගිය ජනවාරි මාසයේ ආණ්ඩුවට ආදායම ලෙස ලැබුණේ බිලියන 158.7යි. වියදම බිලියන 377.6ක්  මේ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  ගිවිසුම් ගත නොවුණහොත්, අපේ ණය ආපසු ගෙවන්න වැඩ පිළිවෙළක් සකස් කර නොගතහොත් ආර්ථිකමය වශයෙන් මාසයක් හෝ සති දෙකක් හෝ අපේ රට පවත්වාගෙන යා නොහැකියි. අන්තර් ජාතික වශයෙනුත් අපි කිසිදු ගනුදෙනුවකට සුදුසුකම් ලබන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි ලෙස කිවුවා. මාසික ආදායම 45,000ට වැඩි සියලු දෙනාගෙන් බදු අයකරගන්න කියලා. බොහොම අමාරුවෙන් තමයි එය ලක්ෂය දක්වා ගෙන ආවේ. 

ශ්‍රී ලංකාව තුළ සිදුවන බුද්ධිගලනය ශ්‍රී ලංකන් ගුවන් සේවයට ද බලපා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයේ නිරත ගුවන් නියමුවන්ගෙන් වැඩි පිරිසක් සමාගම හැර යමින් සිටින බවට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් නටාල් පසුගියදා තහවුරු කළේය. මෙම තත්ත්වය පිළිබඳව ගුවන් සමාගමේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුවන් නියමුවන් රඳවා ගැනීම සඳහා ගත හැකි පියවර පිළිබඳව අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටී. රජය සතු ආයතනයක් ලෙස, ජාතික ගුවන් සේවයට ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා සීමාවන් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට ගුවන් නියමුවන් සඳහා ලොව බොහෝ රටවල විශාල ඉල්ලුමක්  පවතී.

පසුගිය වසරේ ගුවන් නියමුවන් 24 දෙනෙකු ඉල්ලා අස්වී විදේශ රුකියා සඳහා ගොස් ඇති අතර මේ වසරේ දී තවත් 40 දෙනකු පමණ රට හැර යාමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලට අනුව වාර්තා වෙයි. ගුවන් නියමුවකු පුහුණු කර සේවයට බඳවා ගැනීමට රුපියල් මිලියන 8 ක් පමණ වැය වන අතර මේ සඳහා ඔවුන්ගේ ඇපකරයක් ලබාගන්නා නමුදු රටේ පවතින වාතාවරණය මත ඇතැම් ගුවන් නියමුවන් ඇපකරය ගෙවා විදේශ ගත වන බවද පැවසේ.  ගුවන් නියමුවන් පමණක් නොව ගුවන් ගමන් පාලකවරුන් ද සේවය හැර යන බවට වාර්තා වේ. පසුගිය වසරේ පාලකවරුන් 38 දෙනකු පමණ රට හැර ගොස් තිබේ. 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02