13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරියට හිඟන්නාගේ තුවාලය හා සමානය. හිඟන්නා ජීවත් වෙන්නේ, කීයක් හරි හොයාගන්නේ තුවාලය තියෙන තෙක්ය. ඒ හා සමානව 13 තියෙන තෙක් මේ රටේ පාලකයන්ගේ පැවැත්මට රජ මඟුල්ය. මැතිවරණයක් ළඟ එන විටත්, ආණ්ඩුවක් පිහිටුවන විටත් ඉන්දියාවෙන් සහායක් අවශ්‍ය මොහොතකත් හිඟන්නාගේ තුවාලය මෙන් ඉස්සරහට දමන්නේ මේ 13 වැනි සංශෝධනයයි. ඒ උතුරු නැගෙනහිර ජනතාව නම්මා ගැනීමටය.
ජේ.ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා හැර බලයට එන්න තැත්කළ සියලු දෙනාගේම දේශපාලන පොරොන්දුවක් විය. උතුරට ඉඩම් බලතලත්, පොලිස් බලතලත් වෙනම ලබාදීම සිදුකෙරෙන බව දකුණේ නායකයන්ගේ දේශපාලන වේදිකාවල රුව් පිළිරුව් දුන්නේය. 13ට එහා ගොස් 13 ප්ලස් දීමට මහින්ද රාජපක්ෂ මහතා පවා උතුරේ ඡන්ද ලබාගන්න පොරොන්දු ලබා දුන්නේය. ඒත් අද වනතෙක් ඒ කිව්ව පොරොන්දුව දකුණේ නායකයන් ඉෂ්ට කළේ නැත.
එපමණක් නොව ඉන්දියාවේ සංචාරය කරන්න යන අපේ නායකයනුත්, මෙරටට එන ඉන්දියානු නායකයනුත් මුහුණට මුහුණ හමුවූ සැමදාම කතාකළේ මේ 13 ගැනය. ඒත් කතාවට පමණක් සීමාවූ 13 අද වනවිට උතුරේ ජනතාවගේ ඡන්දය ගැනීම සඳහා ලබාදෙන කැරට් අලයක් හා සමාන වී ඇත.
කෙසේ වෙතත් නැවතත් 13 සංශෝධන කරළියට එන්නේ පසුගිය මාසයේ තෛපොංගල් දිනයේදීය. එනම් උතුරේ සංචාරයක් සඳහා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේ කීවේ 13 ව්‍යවස්ථා සංශෝධනය හරහා වූ බලය උතුරට ලබාදෙන බව කියාය. මෙය හුදෙක් ප්‍රකාශයක් පමණක් වුවත් සැබවින්ම ඔහු නැවත කොළඹ පැමිණි පසුව මෙම 13 වැනි බලය ලබාදීමේ ඉඩ කඩ ගැන පක්ෂ අතර සාකච්ඡා ආරම්භ කළේය.
පූර්ණ සහාය ලබාදීම පිළිබඳ එකඟත්වයේ සිටියේ දෙමළ ජාතික සන්ධානය පමණි. ඊට අමතරව කුමාර වෙල්ගම සහ රාජිත සේනාරත්න මහතාද එකඟත්වයේ සිටියහ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පැවතුණු අතර උණුසුම් සාකච්ඡාව පැවතුණේ පසුගිය සතියට පෙර සතියේ සර්ව පාක්ෂික රුස්වීම පැවති මොහොතේය. රාජිතත්, වෙල්ගමත් 13ට කැමති වූවාට ප්‍රථමයෙන් සිය විරෝධය ගෙනාවේ සරත් වීරසේකර විසින්ය. ඔහු එකහෙළා ඊට විරුද්ධ විය. ඉන්පසුව පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම්ද විරුද්ධ විය. මේ අතර රතන හිමියන් සඳහන් කළේ වනාන්තර ගහනයෙන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිර ඇති නිසා උතුරට ඉඩම්, පොලිස් බලතල ලබාදීම ඉතාම දරුණු බව කියාය.
මේ අතර සංවාදයේ උණුසුම්ම ගැටුම ගෙවිඳු කුමාරතුංගත් ජනාධිපතිවරයාත් අතර විය. ගෙවිඳුගේ තර්කය වූයේ බලය බෙදීමට අකැමැති ජනතාව ලක්ෂ 69 ඡන්දය ලබාදී ගෝඨාභය රාජපක්ෂ පත්කළ බවත් ගෝඨාභයගේ ඉතිරි ධුර කාලය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වී ඇති නිසා ඔහුට 13 ක්‍රියාත්මක කිරීමට ජනවරමක් නැති බව කියාය. ඒ නිසා එම මැතිවරණ පොරොන්දුව හරහා ජනාධිපතිවරණයකට තරග වැදී ඉන්පසුව ජනවරමකින් එය සිදුකරන ලෙස ඔහු කීවේය.
මේ කතාව ජනාධිපතිවරයාගේ ඉවසීම පන්නන අවස්ථාවක් විය. එකවරම ඔහු කීවේ ජනවරමක් තමාට පමණක් නොව ගෙවිඳුටත් නැති බව කියාය. ඒ දෙදෙනාම ලැයිස්තුවෙන් පැමිණි නිසාය. එසේම ජනවරමක් නැති බව කීවත් තමාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේද කැමැත්තෙන් බව කීවේය. අවසානයේ එම සංවාදය අවසන් වුණේ ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රකාශයක් හරහාය.
''13 කියන්නේ මේ රටේ නීතියක්. නීතිය ක්‍රියාත්මක කිරීම විධායකයේ වගකීමක්. ඒකට විරුද්ධ නම් ව්‍යවස්ථාදායකය විසින් පරද්දන්න'' යැයි ජනාධිපතිවරයා කීවේය.
මේ අතර මෙම 13 සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාද සිය අකමැත්ත පළකර ලිපියක් යොමුකර තිබුණේය. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා ත්‍රෛනිකායික නායක හිමිවරුන් ලිපියක් මගින් දන්වා සිටියේ 13 ක්‍රියාත්මක නොකරන ලෙසය. එය ක්‍රියාත්මක කළොත් බරපතළ අවුල් රුසක් නිර්මාණය වන බවත්, එසේම ඉඩම් බලතල ලබාදීම හරහා උතුරු නැගෙනහිර පෞරාණික ස්ථාන අනතුරකට පත්වන බවත් නායක හිමිවරුන් විසින් එම ලිපිය මගින් දන්වා තිබිණි.
කෙසේ වෙතත් මේ තත්ත්වය මත 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ මෙය ඉටුවේද නැද්ද යන්න අප දන්නේ නැත. සමහරවිට මෙය හුදෙක් ප්‍රකාශයක් පමණක් වනු ඇත.
එහෙත් මේ කතාව කරළියට ඒමේ යම් සැකසහිත හේතු කාරණා දෙකක් ඇත. එකක් එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයා තරග වැදීමට අපේක්ෂා කරන නිසා මෙයා එක්තරා පැත්තකින් කැරට් අලයක් විය හැක. එපමණක් නොව එම ඡන්ද සටනට දෙමළ සන්ධානයෙත් ඉන්දියාවෙත් සහාය අවශ්‍ය නිසා ඒ සැවොම සැනසීමට මෙය තව ඡන්ද ගුණ්ඩුවක් ලෙස දැම්මා විය හැකිය. එහෙත් එය සාර්ථකද නැද්ද යන්න අප දන්නේ නැත. කෙසේ වෙතත් මේ මොහොතේ 13 ක්‍රියාත්මක කිරීම ගැන කතා කිරීම අවාරයේ මල් හටගන්නා හා සමාන සිදුවීමකි. ඒ නිසා ඇත්ත කුමක්ද යන්න තවම ගැටලුවකි.
ඒත් කාටත් හොරා සිදුවූ කාරණයක් දැන් ඇත. එනම් ඉන්දියාවේ මධ්‍යම රජයට ශ්‍රී ලංකාව පාලනය කර ගැනීමට ඇති එකම තුරුම්පුව වන්නේ උතුරු නැගෙනහිර ජනතාවය. සෑම මොහොතක උතුරේ මිනිස්සු පෙන්වා ආණ්ඩුවට තර්ජනයක් දැමීම ඉන්දියාවේ ක්‍රමය වුවත් දැන් උතුරේ ජනතාව ඉන්දියාව තඹයකට මායිම් නොකරන තත්ත්වයකට පැමිණ සිටිති. ඒ ඔවුන් බලාපොරොත්තු වූ 13 ඉන්දියාව විසින් මෙරට ආණ්ඩුව හරහා ක්‍රියාත්මක නොකිරීම නිසාය. ඒ නිසා උතුරේ ජනතාවගේ විශ්වාසය ඉන්දියාවට අහිමී වී ඇත.
මේ තත්ත්වය දන්නා චීනය ඉක්මණින් ගොස් උතුරේ තානාපති කාර්යාලයක් දා ගත්තේය. ඒ උතුරේ ජනතාවගේ හිත දිනාගෙන උතුරේ ජනතාව වෙනුවෙන් බොහෝ වැඩකටයුතු සිදුකිරීමේ අරමුණු ඇතිවය. විශේෂයෙන් ඉන්දියාවෙන් ඈත්වුණු ජනතාව සමීප කරගන්නටය. මේ තත්ත්වය ඉන්දියාවට කනේ පාරක් හා සමානය. ඒ නිසා ඉන්දියාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කර ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. ඒ අයි.එම්.එෆ්. ණය සඳහා ණය ප්‍රතිව්‍යුහගත ගත කරන්න චීනයට පෙර ඉන්දියාව කැමැති වූ නිසා මේ මොහොතේ ඉන්දියාව ශ්‍රී ලංකාවට කියා කලගුණ සලකා ගැනීමට උත්සාහ ගන්න බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. ඉන්දීය විදේශ ඇමැතිගේ සංචාරයත් සමඟ මේ සියල්ල ඉතාම ලස්සනට සිදුවුණු බව අවධානයෙන් බලන අයකුට පෙනෙන දෙයකි. ඒ නිසා ඉන්දියාව උත්සාහ ගන්නේ බොරදියේ මාලු බාන්නටය. ඒත් ඒ මාලු බෑමේ වාසියක් ජනාධිපතිවරයාටද ඇත. ඒ ඊළඟ ජනාධිපතිවරණයෙදී උතුරේ ඡන්ද ඉබේම ඔහුට ලැබෙන නිසාය. ඒ නිසා මෙය හොඳම අවස්ථාවකි. එහෙත් ජනාධිපතිවරයා දකින හීනය ඉෂ්ට වේද යන්න අප දන්නේ නැත. බහුතරයක් මේ සඳහා අකැමැති වන නිසා 13 ක්‍රියාත්මක වේද යන්න ගැන සැකයක් ඇත. එසේ නොමැති වුවහොත් 13 තවත් අවස්ථාවක ලබාදුන් පොරොන්දුවක් පමණක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
I ගයාන් ගාල්ලගේ