2023 පෙබරවාරි 05 වන ඉරිදා

මේ තමයි කේ.බී. හේරත්

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 141

හේරත් මුදියන්සේලාගේ කපුරුබණ්ඩා හේරත් හෙවත් කේ.බී. හේරත් නම් කෘතහස්ත නාට්‍යවේදියා නොබෝදා අප අතරින් වියෝ වූයේය. ඔහු ජාතික මට්ටමේ කරළියට "සුදු කරල්" නම් නාට්‍යය 1978දී ගෙන එන්නේ වසර ගණනාවක් නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවූ පරිණාමය සමීපව අත්විඳීමෙන් අනතුරුව හා ප්‍රාදේශීය මට්ටමින් කළ නාට්‍යමය පර් යේෂණවලින් අනතුරුව බව පැහැදිලිව පෙනී යයි.

හෙතෙම පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය ජීවිතය ගෙවන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යාලෝකය එකී සරසවිය තුළින් සමස්ථ දිවයින පුරාම විහිදෙන්නට පටන්ගත් කාලයේය. 1962 වසරේ ඔහු සරසවි පිවිසුම් වරම ලබන විට සිංහබාහු නාට්‍යය බිහි වී ගෙවී ගොස් තිබුණේ වසරක කාලයක් පමණකි. කේ.බී. හේරත් සිසුවා 1965 පේරාදෙණි සරසවියෙන් උපාධිය සමත් වනතුරු 1962-1965 කාලය තුළ සරච්චන්ද්‍රයන් ඒ වනවිට නිර්මාණය කර තිබූ නාට්‍ය සියල්ලම නරඹා තිබූ බවට සැක නැත. එහෙත් ඊට වසර දෙක තුනකට පෙර ශිෂ්‍ය ජීවිතය ගත කළ සෝමලතා සුබසිංහ, දයානන්ද ගුණවර්ධන, ලයනල් ප්‍රනාන්දු, සරත් අමුණුගම (පසුකාලීනව ජයලත් මනෝරත්නයන්) වැන්නන් මෙන් ශිෂ්‍ය ජීවිතය තුළ ඔහු නාට්‍යකරණයට යම්තමින් හෝ සම්බන්ධ වූ බවට තොරතුරක් දැනගන්නට නැත. ඔහුගේ නාට්‍ය නිර්මාණ පේරාදෙණි යුගයේ සාහිත්‍ය නිර්මාණවලටද නෑකම් කියන්නක් නොවේ.

සරසවියෙන් 1965 නික්ම යන ඔහු ගුරු වෘත්තියට බැඳේ. 1978/79 කාලයේ රාජ්‍ය නාට්‍ය උළෙලට "සුදු කරල්" නාට්‍යය ගෙන එන්නට පෙර ගම්පළ ප්‍රදේශයේ නිර්මාණ සංසදයක් පිහිටුවා නාට්‍ය 20ක් පමණ රචනා කොට ඇති බව වාර්තා වේ.

සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන පමණක් නොව, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, පරාක්‍රම නිරිඇල්ල යන නාට්‍යවේදීන් නිර්මාණකරණයට පිවිසෙද්දී ඔහු ජාතික මට්ටමේ නාට්‍යකරණයට නොපැමිණ දැඩි ඉවසිල්ලකින් ඔවුන්ගේ නිර්මාණ දෙස විමසුම් ඇසින් බලා සිටි බව පැහැදිලිය.

1979 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම රචනය සම්මානය සුදු කරල් නාට්‍යයට හිමිවන විට ඔහු සිටියේ වයස (37 පමණය) තිස් ගණන්වල අග භාගයේය. ඒ වනවිට 1970 ගණන්වල මුල් භාගයේ කරළියට පැමිණි, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ, හෙන්රි ජයසේනගේ දිරිය මව සහ ඇගේ දරුවෝ හා මකරා, සයිමන් නවගත්තේගමගේ පුස්ලෝඩං හා සුභ සහ යස, දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත, ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරි, ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකා අධිපති, ඩග්ලස් සිරිවර්ධනගේ අඹු සැමියෝ, (මේ සියල්ලම හැත්තෑව දශකයේ බිහිවූ නාට්‍යයන්ය) යන නාට්‍ය වේදිකාගත වී ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

එපමණක් නොව ඔහු ජාතික මට්ටමේ කරළියට නිර්මාණ ඉදිරිපත් කරන විට 1971 අප්‍රේල් කුරුල්ලෝ ද අනතුරුව සමගිය සටන්පාඨ නාට්‍ය රැල්ලද හමාගොස් හමාරය. සුදු කරල් නාට්‍යයට තේමාව වන්නේ 1971 තරුණ කැරැල්ලයි. එකී තරුණ අරගලය පිළිබඳව වඩාත් පරිණත දෘෂ්ටියකින් හා ශික්ෂණයකින් ඔහු 1971 අරගලය දැක තිබේ. මෙයින් පෙනී යන්නේ ඔහු රැල්ලට හමා ආ නිර්මාණකරුවෙක් නොවන බවය. ජීවිත කාලය තුළ රැලි පිට රැලි හමා ආ සාහිත්‍ය හා නාට්‍ය ප්‍රවණතා දැඩි ඉවසිල්ලකින් හා ශික්ෂණයකින් නිරීක්ෂණය කොට අධ්‍යයනයක යෙදී, හෙතෙම පරිණත වියේදී නිර්මාණකරණයට පිවිසි බව ඔහුගේ නිර්මාණ ජීවිතයෙන් පෙනේ. පේරාදෙණි සාහිත්‍ය රැල්ල, සටන්පාඨ නාට්‍ය රැල්ල, මනමේ හා සිංහබාහු නාට්‍යයේ හෙවණැල්ල මෙන් වැඩුණු නාට්‍ය රැලි ආදිය දැඩි ශික්ෂණයකින් ඔහු නිරූපණය කොට තමාගේ නිර්මාණ යාත්‍රාව නිසි පදමට දැනුම ලබා දියත්කොට ඇති බව පැහැදිලිව දිස්වේ.

1981 සිරිබෝ තට්ටුව නම් නාට්‍ය කරළියට ගෙන ආ පසුව ඔහු අති විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් වූ මායාදේවි නාට්‍ය 1985දී කරළියට ගෙන එයි. එවකට ඔහුගේ වයස අවුරුදු 43කි. එය වේදිකාවට එන්නේ '80 කණ්ඩායමේ නිෂ්පාදනයන් ලෙසයි.
('80 කණ්ඩායමේ සියලු ශිල්පීහු ඒ වනවිට නිර්මාණවේශයේ උපරිම තලයකට පැමිණ සිටියහ.)

වාණිජකරණයට ලක්වූ ව්‍යාපාරික ලෝකය තුළ මානවයාගේ මෘත ක්ලේබරය පවා කිසිදු චාරයකින් තොරව ධන ලෝභය සංසිඳුවා ගැනීමට ඉවහල් කරගන්නා ආකාරය මායාදේවි නාට්‍යයෙන් ඔහු පෙන්වා දුන්නේය.

ඒ සඳහා ඔහු කේන්ද්‍ර කරගන්නේ මිනී පෙට්ටි සාප්පුව හා එහි හිමිකරුවා ජීවත්වන නිවෙසයි. මිනී පෙට්ටි සාප්පුවට මිනියක් ගෙන ආ විට ඉවෙන් මෙන් දිවගෙන එන එහි හිමිකරුවා "මිනියක් ගෙනාවාදැයි" කඩිමුඩියේ විමසන්නේ, මළකුණකට ඉව අල්ලන ගිජු ලිහිණියකු සිහිපත් කරවමිනි. මිනීපෙට්ටි සාප්පු හිමිකරුවාගේ දියණිය උමතු අයෙකි. සිවුරේ සිටි ඔහුගේ නැගණියගේ පුත්‍රයා සිවුරු අරවා ගෙන නිවසට එන්නේ දුවණියට විවාහ කර දෙන්නටය. ඔහුගේ පුත්‍රයා හර්ස් එකේ කෙල්ලන් දමාගෙන රවුම් ගසනා විනෝදකාමියෙකි. විදුලි සැර වැදී ස්නායු රෝගයකින් පීඩා විඳින මිනී කාක්කෙකුගේ චරිතයක්ද එම නාට්‍යයේ ඇත. එම නාට්‍යයේ චරිත, දෙබස්, තේමාව යන සියල්ල එක්ව ව්‍යාපාරික චේතනාවේ මජර බව කියාදෙන විදුලි සැරයක් ප්‍රේක්ෂක මනසට කා වද්දනු ලැබුවේය. මායාදේවි නාට්‍යය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නොමද ප්‍රශංසාවට භාජනය වූයේය.

පරිවර්තන නාට්‍යකරණයට ඔහු විරුද්ධ නොවන බව එක් සම්මුඛ සාකච්ඡාවක පවසා ඇති බව දුටිමි. එහෙත් ඔහු කරළියට රැගෙන ආ සියලු නාට්‍ය තමා විසින්ම රචනා කළ ස්වතන්ත්‍ර නාට්‍යයන්ය. සිද්ධි අනුපිළිවෙළට ගලායන සරල කතා වින්‍යාසයක් එම නාට්‍යයන් තුළ තිබිණි. විකාරරෑපී, එපික් හෝ පමණට වඩා යථාර්ථවාදී රංග රීතිය රැගත් රංග ශෛලීන් ඒවා තුළ දකින්නට නොතිබිණි. ඒවායේ තිබූ සැහැල්ලු රංග ශෛලිය පොදු ප්‍රේක්ෂක මනසට නිරායාසයෙන්ම ග්‍රහණය වූයේය. රාජ්‍ය නාට්‍ය උළෙලට ඔහු ඉදිරිපත් කළ 10ක් පමණ වූ නාට්‍යවලින් හොඳම රචනය සම්මානය නොලැබී ගියේ එකකට පමණි.

පසුකාලීනව ඓතිහාසික කතා පුවත් මූලාශ්‍ර කරගත් නාට්‍ය නිර්මාණය කරන්නට කේ.බී. හේරත් වඩාත් උත්සුක වූයේය. දෙවැනි මහින්ද, වාසුදේව, දෝන කතිරිනා, යසෝදරා, ජගත්මා ඒවාට උදාහරණයන්ය. වඩාත් පරිශ්‍රමයකින් ඓතිහාසික තොරතුරු ගවේෂණය කොට, ඉතිහාසය අමුවෙන් වමාරන්නට නොව, එම තොරතුරු ඔස්සේ ඓතිහාසික සිදුවීම්වලට හා චරිතයන්ට නාට්‍යමය අරුත් සපයමින්, ඒ ඔස්සේ විචාරශීලීව සිතා බලන්නට ඔහු ප්‍රේක්ෂකයා පොළඹවා ලූයේය. දෙවැනි මහින්ද නාට්‍යය තුළින් ඔහු විමසා සිටින එක් පැනයකි? "මේ යුද්ධයෙන් ඇති ඵලය කිම? යන්න!" බලකාමයෙන් පිපාසිත පාලකයන්ට ඕනෑම සිද්ධියක් තම වාසියට හරවා ගත හැකි බව ඔහු වාසුදේව නාට්‍යය තුළින් පෙන්වා දුන්නේය.

වාසුදේව නාට්‍යය සඳහා ඔහු මූලාශ්‍ර කර ගත්තේ බුද්ධ කාලයෙන් වසර 500කට ඉහත පැවති වෛදික යුගයයි. සාමය ලැදි රජුන් එක් පුරෝහිතයකු විසින් රජු හමුදාවක් ගොඩනගා ගැනීමට එරෙහිව දරනා උත්සාහයක් ව්‍යර්ථව යයි. ඔහුට හමුදාව තවත් ඒකරාශී කරන්නට රජු බල කරයි. හමුදාව රජු බලයෙන් පහකොට රාජ්‍ය බලය ලබාගෙන අවසානයේ සිවිල් සමාජය විනාශ කොට දමයි. තපස් දිවියකට එළඹෙන රජුද අවසානයේ මරණයට පත් වේ. 2000 ජනවාරි 30 වැනි සන්ඩේ ටයිම්ස් පුවත්පතට එම නාට්‍යය ගැන තම මතය පළ කරමින් කේ.බී. හේරත් මෙසේ කියා සිටියේය. "දශක දෙකකට පමණ පෙර අප කිසිවිට යුද්ධයක් දැක තිබුණේ නෑ. හමුදාවේ පැවැත්මක් අපට දැනුණේ නෑ. හමුදාව අපේ ජීවිතවලට බලපෑම් කළේ නෑ. ඒත් අද වනවිට අපට ඇත්තේ යුද සංස්කෘතියකි. අද අප වටා ඇත්තේ යුද්ධයකි. අපි යුද්ධය ගැන නිතර කතා කරමු. අපට යුද්ධය ගැන නිතර ඇසේ. අපි යුද්ධය දකිමු. එය අපට අමුත්තක් නොවේ. යුද්ධය සමඟ බැඳුණු විනාශකාරී බලවේගයන් ඉවත් කර දැමිය හැකි ආකාරය විමසා බැලීම කලාකරුවන් හැටියට අපගේ වගකීම වේ."

යුදවාදී නිර්මාණ අගය කොට, කල දුටු කල වළ ඉහ නොගත් ඔහු අතිශය මානවාදී කලාකරුවකු බව මෙම ප්‍රකාශයෙන් පෙනේ.

ටෙලිනාට්‍ය යනු ඕනෑම විටෙක අවර ගනයට ඇදී යා හැකි කලාවකි. රූපවාහිනියේ ප්‍රධාන පරමාර්ථය වෙළෙඳ දැන්වීම් පෙන්වා ලාබ ලැබීම වීම ඊට හේතුවය. එම මාධ්‍ය තුළ ටෙලිනාට්‍ය පෙන්වන්නේ වෙළෙඳ දැන්වීම් පෙන්වන අතරටය. ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක බව ඉඳහිට හෝ රැකුණේ කේ.බී. හේරත් වැනි රචකයන් අතලොස්සක් නිසාය. ඔහු ලියූ 500ක් තරම් ටෙලිනාට්‍යවල අවර ගණයේ එකදු නිර්මාණයක් හෝ නොමැත. ඉන් බොහෝවක් ගවේෂණශීලී පසුබිමකින් නිර්මාණය වූ ඒවාය.
නිර්මාණකරණයට සමාන්තරව ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සිය දැනුම සිසුනට ලබා දුන්නේය. රාජ්‍ය නාට්‍ය උළෙල, ජාතික තරුණ සේවා නාට්‍ය උළෙල ආදී නාට්‍ය උළෙල රාශියක නිලතල භාරගෙන ඒවායේ සංවිධාන කටයුතු කරමින් සමස්ථ නාට්‍ය නිර්මාණවල අගය ගුණාත්මක අතින් වර්ධනය කරන්නට උර දුන්නේය. එවැනි මෙහෙවරක් ඔහු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නේ ටෙලි නිර්මාණ සංසදයේ උප සභාපති ධුරය දරමිනි.

2018 ශ්‍රී ලංකාවේ නාට්‍යවේදියකුට ලැබෙන ඉහළම ජාතික මට්ටමේ සම්මානය වූ "නාට්‍ය කීර්ති" සම්මානය ලබන්නටත්, 2020 දී දර්ශන ශූරී ආචාර්ය උපාධිය ලබන්නටත් ඔහු පමණටත් වඩා සුදුසුකම් සපුරා තිබිණි.

I සමන් පුෂ්ප ලියනගේ