2023 පෙබරවාරි 05 වන ඉරිදා

ඡන්දය කටේ රට වටේ නැ‍ඟෙන ජන රැලි

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 79

අවසරයි අපේ හාංදුරුවනේ , මාගේ ආදරණීය උගත් බුද්ධිමත් ජනතාවනි, සහෝදරයා සහෝදරිය, හා හා පුරා කියා දත කට මැදගෙන මේ ඔබ හැමදෙනාම පුල පුලා බලා සිටිනුයේ ළඟ එන පළාත් පාලන මැතිවරණයට ඔබගේ මනාපය ලබාදීමටය. ඒ, මේ දිනවල වැඩිපුරම ඇසෙන වචන කිහිපයකි.

පුංචි ඡන්දයේ උණුසුම මැද එය ඉලක්ක කරගෙන විවිධාකාර පක්ෂ සහ සන්ධාන ගොඩනැගීම මෙරට දේශපාලනයට අලුත් දෙයක් නොවන්නේය. නා නා ප්‍රකාර  නම්වලින් සහ විවිධ සංකේත යොදාගනිමින් නව පක්ෂ නිර්මාණය කර තිබෙනු දැකිය හැකි වන්නේය. සෑම මැතිවරණයක් අභියසම මේ ආකාරයට සන්ධාන ගත වන්නේ රටට ආදරේටද එසේත් නැතිනම් තම බඩට ආදරේටදැයි යන්න සංවාදයට බඳුන් විය යුතු වෙනමම මාතෘකාවකි. මෙසේ ඇරඹෙන සන්ධාන සෝඩා බෝතලයක මූඩිය හැරියා සේ මැතිවරණයෙන් පසුව සී සීකඩ විසිරී යනුයේ පාක්ෂිකයන් අන්දමන්ද කරමින්ය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කථිකාවක් පසුගිය කාලයේ නිර්මාණය වී තිබිණ. එහෙත් මේ වනවිට පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පිළිබඳ දන්වමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉකුත්දා නිකුත් විය. ඒ අනුව මාර්තු මස 09 වැනිදා උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඡන්ද විමසීම සිදුකෙරෙන වගට එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේය.

මෙරට ප්‍රධාන පක්ෂ සාමාජිකයන් එක්වී සාදාගත් සන්ධානවලින් පළාත් පාලන මැතිවරණයේ මංගල රුලි මාලාව ඔවුහු මේ වනවිට රටපුරා පවත්වමින් සිටිති. එම සියලු ජන රුලි සඳහා අතිවිශාල ජනකායක් සහභාගි වනුයේ එකකට එකක් නොදෙවැනි සේය.  එහෙත් සැබෑ ජන මනාපය මෙරට දේශපාලන රැලිවලින් තීරණය කිරීමට අපහසුය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී., සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් සමගින් නව සන්ධානයක් ගොඩනගා තිබේ. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සන්ධානයක් ගොඩනැගීමටද තීරණය කර තිබේ. ඒ අනුව මහනුවර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක්ව තරග කිරීමට එකඟතාව පළ වූ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසුවේය. මේ ආකාරයට එකිනෙකට පරස්පර විරෝධී පක්ෂ ද්විත්වයක් සන්ධානගත වීමෙන් එම පක්ෂ දෙකේ  ප්‍රතිපත්ති කෙසේ ගැළපේවිදැයි අසන්නට ඇත්තේ දෙවියන්ගෙන්ම පමණකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බවද එහි නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා පැවසුවේය.

ජනපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය වරෙක සිය අලියා ලකුණෙන්ද, ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ 68ක පමණ සහභාගිත්වයෙන් යුතු නව දේශපාලන සන්ධානයක් සමගින්ද මැතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගෙ බණ්ඩාර කියයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මංගල රැලිය කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්විණි. සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වෙයි. ඔවුන් සිය ජනරැලි මාලාව පවත්වන්නේ නිරුත්තර රටක උත්තරය නම් තේමාව පෙරටු කරගෙනය.

නෙළුම් පොහොට්ටුව, අලියා, සීනුව  අතරට හෙලිකොප්ටරයත් මෑතකදී එක් වුණේය. හෙලිකොප්ටරයේ ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නිදහස් ජනතා සන්ධානයයි. එය සැදුම්ලන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් ජන ජය පෙරමුණේ එකතුවෙනි.

දේශපාලන වේදිකාවේ ප්‍රබලයෝ කිහිපදෙනෙක්ම නෙළුම් පොහොට්ටුවෙන් බිමට බැස හෙලිකොප්ටරයට නැග්ගාහ. නිදහස් ජනතා සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෑතකදී කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී එළිදැක්විණි. නිදහස් ජනතා සන්ධානයේ තේමාව වනුයේ “නිදහස් වෙමු” යන්නය. පුංචි ඡන්දයට මෙතෙක් ඉදිරිපත් වී ඇති පක්ෂ සන්ධාන අතුරෙන් මේ වනවිට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇත්තේ නිදහස් ජනතා සන්ධානය පමණක්ය. 

අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිතව සිටී. ඔවුන්ගේ තේමාව වනුයේ “එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව” යන්නය. මෙවර ජාතික ජන බලවේගයේ සමාරම්භක රැලිය අනුරාධපුරය කඩ 50 ප්‍රදේශයෙන් ආරම්භ විය.

එසේම ඉතිහාසයේ ප්‍රථම වරට ඌරුවරිගේ වන්නිලැඇත්තන්ගේ නායකත්වය යටතේ ආදිවාසීන් පිරිසක් මේ වනවිට ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේය. ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමිනි. ඔවුහු මහියංගණය, සොරණාතොට, හාලිඇල ප්‍රාදේශීය සභා සහ බදුල්ල නගර සභාවට තරග කිරීමට නියමිතව සිටිති.  

මේ අතර අරගලයේ මාධ්‍ය ක්‍රියාකාරීන් බව කියන පිරිසක් ස්වාධීන කණ්ඩායමක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත බව ඔවුහු මාධ්‍ය හමුවකදී පැවැසූහ.

කෙසේ වෙතත් නිවැරැදි දැක්මක් සහිතව රට ගොඩනැගීමේ පරම අභිලාෂයෙන් යුතුව ඉදිරිපත් වන කණ්ඩායමකට නිවැරැදි ලෙස තම මනාපය පළ කිරීමට ජනතාව දෙවරක් නොසිතනු ඇත. ඒ පිළිබඳ ස්වාධීන අයිතියක් ජනතාව සතු වෙති. අර්බුද රැසකින් හෙම්බත් වී සිටින මෙරට ජනතාවට අවැසි වනුයේ වැටුණු තැනින් නැගිටීමට විනා ගිලෙන නැවකට කරගැසීමට නොවන බවත් සිහිපත් කරමු. එහෙයින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් එළැඹෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වපසරිය නිර්මාණය කරදීම සැමගේ වගකීමකි. 

I සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03