පසුගිය 25 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ දැනට තිබෙන දැඩි මුල්‍ය ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවය. ඉදිරියේදී බැංකු තැන්පතු පොලී සහ ණය පොලී අනුපාත අඩු කරන ලෙසට වාණිජ බැංකුවලට උපදෙස් දීමට හැකිවන බව ඔහු කියා තිබේ. එහෙත් එය කවරදා සිදුවේද යන්න ස්ථිර වශයෙන් පැවසීමට කිසිවකුත් සමත් නොවන බව පෙනී යයි.
''මේ දිනවල උද්ධමනය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. වසර අවසන් වනවිට එය 4%ට බහීවි. වාණිජ බැංකුවල ඇති අසාමාන්‍ය පොලී අනුපාත ද ඉදිරියේදී පහළ යයි. මේ වනවිට රටේ විදේශ විනිමය මට්ටම ඉහළ ගොස් ඇති අතර, මහ බැංකු සංචිත වැඩිවෙලා තිබෙනවා. ගෑස් සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට රටේ බැංකුවලින් මුදල් ලබාගැනීමට මේ වනවිට පුළුවන් වෙලා. මේ වසරේ දෙවැනි කාර්තුව පමණ වනවිට රටේ ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වනවා ඇති.''
මහ බැංකු අධිපතිගේ මෙම ප්‍රකාශය සැලකීමේදී ඉදිරියේ ලංකාවට යම් ආර්ථික යහපතක් ළඟා කරගත හැකිවේ යැයි සිතීමට පුළුවන. ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 31දා නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කිරීමේදී 2022 දෙසැම්බර් මාසයේ 57.2%ක්ව පැවැති උද්ධමනය 2023 ජනවාරි මාසය අවසන් වනවිට 54.2%ක් දක්වා 3% කින් පහළ ගොස් ඇති බව සනාථ වේ. එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනයද මෙම මාස දෙක තුළ 4.3%ක ප්‍රමාණයකින් පහළ බැස ඇති බව කියැවේ. 2022 දෙසැම්බර්වල 64.4%ක ප්‍රතිශතයක්ව තිබූ ආහාර උද්ධමනය 2023 ජනවාරි වනවිට 60.1% දක්වා පහළ බැස තිබේ. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද මෙම මාස දෙක තුළ 53.4% ප්‍රතිශතයේ සිට 51% දක්වා පහළ ගොස් ඇත.
2022 සැප්තැම්බර්වලින් පසු කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව උද්ධමනය ඔක්තෝබර් 6 සිට 23 ජනවාරි දක්වා අඛණ්ඩව මාස 4ක් තිස්සේ පහළ ගොස් ඇති බව පෙනී යයි. මේ නිසා වසර අවසන් වනවිට උද්ධමනය තනි සංඛ්‍යාවකට බස්සන බවට මහ බැංකු අධිපතිවරයාගේ අනාවැකිය යම් පමණකට හෝ සත්‍ය වනු ඇතැයි සිතීමට පුළුවන.
කෙසේ වුවද පසුගිය සමයේදී ලෝකයේ ආහාර උද්ධමනය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට පත්ව සිටින බව ලෝක බැංකුව නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව කියයි. උද්ධමනය 376%ක් වූ සිම්බාබ්වේ ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රට වන අතර, ලෙබනනය 171%ක ප්‍රතිශතයකට හිමිකම් කියමින් දෙවැනි ස්ථානයට පත්ව සිටී. තුන්වැනි ස්ථානය 158%ක් ලැබූ වෙනිසියුලාවට උරුම වී තිබේ. මෙම රටවල් සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය තවමත් පවතින්නේ පහළ අගයකය.
අනෙක් අතට බැංකු තැන්පතුවලට සමානුපාතිකව ණය සඳහා අයකරන පොලිය ඉහළ මට්ටමක පවතින නිසා බැංකුවලින් ණය ගැනීම අකර්මණ්‍ය වී තිබේ. මේ වනවිට ණය පොලිය 30% ඉක්මවා අය කෙරේ. රජය ණය ගන්නා භාණ්ඩාගාර බිල්පත්වලට ගෙවන පොලිය 33% දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත. පොලී ප්‍රතිශතය ඉහළ යාම නිසා වසර අවසන් වනවිට රජයට රුපියල් මිලියන 540ක වැඩිපුර පොලියක් ගෙවන්නට සිදුව ඇති බවද මහ බැංකු වාර්තාවල සඳහන්ය. ඒ අනුව පොලිය ඉහළ යාම ණය ඉල්ලන අයට මෙන්ම රජයටද අහිතකරව බලපා ඇති බව පෙනෙන්නට තිබේ.
තවද ණයකරුවන් කරන පැමිණිල්ලක් වන්නේ පෙර ණය ගැනීමේ තමන් බැංකු සමඟ ගිවිසගත් පොලී අනුපාත ඉහළ දැමීමට වාණිජ බැංකු ක්‍රියා කිරීම නිසා තමන් අමාරුවේ වැටෙන බවය. රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම ප්‍රශ්නය තදින් බලපා ඇති අතර, තමන්ගේ මුළු වැටුපම ණය සහ පොලීවලට කපාගැනීම නිසා ජීවත් වීමට අපහසුව ඇති බවට ඔවුහු මැසිවිලි නගති. එසේ වුවද ණය ගන්නා හා බැංකු සහ ණයකරුවා අතර ණය ගැනීමේදී අත්සන් කළ ගිවිසුම් ප්‍රකාරව ණය පොලිය ඉහළ දැමීමට බැංකුවලට හැකි බව මේ පිළිබඳ විමසීමේදී වාණිජ බැංකු කළමනාකරුවෙක් පැවසීය.
සේවකයකුගේ වැටුපෙන් අඩු කිරීමේදී සම්මත උපරිම අඩුකරණ සීමාව 40%ක පැවතිය යුතු බවට නීතියක් තිබුණද මේ වනවිට එම සීමාව ඉක්මවා අයකිරීම් කරන බවද සනාථ වී ඇත.
දැනට සහන නැතත් ඉදිරිය හොඳයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව ගත් තීරණය මේ අවස්ථාවේදී ඉතාම උචිත තීරණයක් බවයි. මෙයින් ජනතාවට බැලූ බැල්මට සහනයක් නොලැබෙන බව පෙනී ගියද අනාගතයේදී හොඳ තත්ත්වයට ගෙන ඒමට හැකිවන බවද ඔහු කියයි.
''සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මාස දෙකකට වරක් තමා පොලී අනුපාත තීරණය කරන්නේ. පසුගියදා ස්ථාවර පොලී අනුපාත එම තත්ත්වයේම පවත්වාගෙන ඒමට ගත් තීරණය කාලෝචිතයි. මේ අවස්ථාවේ පොලී අනුපාත අඩු කළහොත් ජනතාවට පාරිභෝජනය වැඩි කිරීම නිසා උද්ධමනය ඉහළ ගොස් රටේ ජීවන වියදම තවත් ඉහළ යන්නට පුළුවන්. බැලූ බැල්මට පොලී අනුපාතය ඉහළයි කීවාට මූර්ත පොලී අනුපාතය පවතින්නේ පහළ අගයකයි. මූර්ත පොලී අනුපාතය යනු පවතින පොලී අනුපාතයෙන් උද්ධමනය අඩු කළ විට ලැබෙන ප්‍රතිඵලයයි. ජනතාවගේ ඇඟට දැනෙන්නේ මෙම පොලී අනුපාතිකයයි.
අද පවතින තත්ත්වය අනුව සිදුව ඇත්තේ ණය ගන්න අය නොව ණය ගෙවන අය පොලිය ගෙවීමක්. මෙයින් වැඩි වාසිය ලැබෙන්නේ රජයටයි. ඒ මොකද රජයට පොලිය ගෙවන නිසා. පොලී අනුපාත ඉහළ ප්‍රතිශතයක තබන විට ඵලදායී නොවන වියදම් පාලනය වෙනවා. ආනයන පාලනය වෙනවා. විදේශ විනිමය අර්බුදයට යම් සහනයක් ලැබෙනවා. රජය මේ වනවිට ප්‍රකාශ කර තිබෙනවා උද්ධමනය ක්‍රමයෙන් පාලනය වෙමින් පවතින බව. 10%ට අඩුවෙන් උද්ධමන අනුපාතිකය තබාගැනීම මහ බැංකුවේ උත්සාහයයි. දැන් පවතින්නේ මූර්ත පොලී අනුපාතිකය ඍණ තත්ත්වයක්.
උද්ධමනය 5% දක්වා අඩුවෙනවා නම් රටේ අද පවතින ජීවන වියදම් ගැටලුවට පිළියමක් වෙනවා. ස්ථාවර පොලී අනුපාතිකය ස්වයංක්‍රියව අඩුවෙන බව පෙනී යනවා. උද්ධමනය අඩුවන විට රුපියල් ආදායම වැඩි වෙනවා. එවිට ජනතාව දැන් පවතින පීඩනකාරී තත්ත්වයෙන් මිදේවි. පසුගිය කාලයේ පොලී අනුපාතිකය පහළ මට්ටමේ තිබීමෙන් විශාල වශයෙන් ණය ගැනීම නිසා ජන ජීවිතයට අයහපත් බලපෑමක් ඇතිවුණා. දැන් එම තත්ත්වය පාලනය වී තිබෙනවා. එම නිසා පොලී අනුපාතිකය තවදුරටත් මෙලෙස තබාගැනීම වැදගත් වෙනවා.
හිරිහැරකාරී තත්ත්වය තාවකාලිකයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත
''රටක උද්ධමනය වැඩි වන්නේ නිෂ්පාදනය පහළ යාම සහ භාණ්ඩ හා සේවාවල ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්. පසුගිය සමයේ ඇතිවූ කොවිඩ් ගැටලුව නිසා රටේ නිෂ්පාදනය අඩු වුණා. කර්මාන්තශාලා වැසී ගියා. මෙය අපනයනය කරන භාණ්ඩවලද අහිතකර ලෙස බලපෑවා. එසේම වී, එළවළු, පළතුරු හා අනවශ්‍ය දේවල නිෂ්පාදනය අඩු වුණා. අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් නොමැතිවීමෙන් රුපියල් ට්‍රිලියන ගණනක මුදල් හතර වාරයක් මුද්‍රණය කරන්නට රජයට සිදු වුණා. ජනතාවට රුපියල් 5000 ගාණේ බෙදන්න වගේම සමෘද්ධි වැනි සහනාධාර දෙන්න සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමටද මුදල් වැඩියෙන් අවශ්‍ය වීම නිසා උද්ධමනය වැඩි වුණා. භාණ්ඩ සැපයුම අඩු වී මුදල් සැපයුම වැඩි වූ විට උද්ධමනය ඉහළ යාම වැළැක්විය නොහැකියි.
මුදල් සංසරණය වැඩි වුණා. රජය බැංකුවලට රුපියල් ට්‍රිලියන දෙකක් දුන්නා. මුද්‍රණය කළ මුදල් බැංකු හරහා ජනතාවට ආවා. බැංකු පොලී අනුපාතිකය 4% - 9% තිබුණු නිසා ජනතාව බැංකුවලින් විශාල ලෙස පාරිභෝජන ණය ගත්තා. පොලිය අඩු නිසා භාණ්ඩ උගස් තබා ණය ගත්තා. භාණ්ඩ ආනයනය කිරීමට රජය ඩොලර් නිකුත් නොකිරීම නිසා කළු කඩ මිලට ඩොලර් ලබාගෙන ආනයනය කිරීමට සිදුවූ බැවින් මිල වැඩි වුණා. මෙම තත්ත්වය පසුගිය කාලය තුළ කැරකී කැරකී දිගටම ආවා. මෙය අවුරුදු 100 තුළ ඇතිවූ අමාරුම තත්ත්වයක්.
එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය කාලයේ ගත් කාලීන තීරණ නිසා මෙම තත්ත්වය නිවැරදි වුණා. ස්ථාවර තැන්පතුවලට විශාල පොලියක් ගෙවීම නිසා ජනතාව තම අතැති මුදල් බැංකුවල තැන්පත් කිරීමට පෙළඹුණා. ණය පොලිය වැඩිවීම නිසා ණය ගැනීම අඩු වුණා. මෙම තත්ත්වය නිසා මුදල් වෙළෙඳපොළට ගලා ඒම අඩු වුණා. මුදල් සංසරණය අඩු වුණා. උද්ධමනය අඩුවීමට මෙම තත්ත්වය බලපෑවා. මුදල් අඩුවීම නිසා ජනතාවගේ ඉල්ලුම අඩු වුණා. මෙය කිසිවකුගේ බලපෑමකින් තොරව ස්වයංක්‍රියව සිදුවූ දෙයක්. ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත වැඩි කිරීම නිසා මෙතෙක් සංයමයකින් තොරව සිදුවූ මුල්‍ය යාන්ත්‍රණය විධිමත් පීල්ලකට වැටුණු බව පෙනෙන්නට තිබෙනවා. එය දිගටම පවත්වාගෙන යාම අවශ්‍යයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරය පහළ ගොස් රුපියලේ අගය ස්ථාවර තත්ත්වයට පත්වෙනවා. දැනට ඇතිවී තිබෙන හිරිහැරකාරී තත්ත්වයක් වේ නම් එය තාවකාලිකයි. මෙහිදී පොලී අනුපාත වැඩිවීමෙන් ගැටලු ඇතිව ඇති කුඩා ව්‍යවසායකයන්ට සහන දිය යුතුයි. අපනයන ප්‍රවර්ධනයට ක්ෂණික සහන දුන්නොත් ඩොලර් සැපයුම වර්ධනය කළ හැකියි.
මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණ ගත්තේ දේශපාලකයන් සතුටු කිරීමටයි. මහ බැංකුවට දේශපාලකයන් අතගැසීම මේ වනවිට අඩු වී ඇති බව පෙනෙනවා. අයවැය සහ මුල්‍ය ප්‍රතිපත්ති දේශපාලනීකරණය විය යුතු නැහැ. පසුගිය කාලයේ අපි වින්දේ එහි අනිටු ප්‍රතිවිපාකයි. අයවැය ලේඛනයද සැකසිය යුත්තේ මහ බැංකුවේ උපදෙස් අනුවයි. එහෙත් පසුගිය සමයේ එවැනි උපදෙස් දුන් බවක් පෙනෙන්නට නැහැ.
පොලී අනුපාත ඉහළ යාම මේ වනවිට සාමාන්‍ය ජනතාවට දරාගන්න බැහැ. කෙටිකාලීන ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාවි. එහෙත් පසුව එය ස්වයංක්‍රියව යළි සකස් වෙයි. දැනට ක්‍රියාත්මක උපයන විට බදු ගෙවීමේ ක්‍රමය නිසා ජනතාව අමාරුවේ වැටිලා. රාජ්‍ය සේවකයන්ට 2019 වසරේ සිට මේ දක්වා කිසිදු වැටුප් වැඩිවීමක් සිදුව නැහැ. ඒ අතර ඔවුන්ගේ ඉපයීම්වලට විශාල ලෙස බදු අයකිරීම අනුමත කළ නොහැකියි. එසේම ඔවුන් ගත් ණයවලට දැනට පවතින පොලී අනුපාත අයකිරීමද අසාධාරණයි. ආදායමෙන් බදු අය කරන අතර ණය පොලී ද ඉහළ දැමීම නිසා ඔවුන් පීඩාවට පත් වෙනවා. එබැවින් මේ පිළිබඳව රජයේ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි. යම් සහන වැඩපිළිවෙළකට නොගියහොත් රජයට එරෙහිව වැඩ කරන ජනතාව කලඑළි බසිනවා ඇති. එවිට මෙම සාධනීය තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට අපහසු වේවි.
Iයසවර්ධන රුද්රිගූ