2023 පෙබරවාරි 05 වන ඉරිදා

ෆාස්ටර් මැරුවාද? දිවි නසාගත්තාද? හෙළිදරව්ව ළඟදීම!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 52

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හා සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය පිළිබඳ විවිධ තොරතුරැ කියැවේ. ඔහුගේ මරණයට දෙසතියකට පමණ ඉහතදී ෂාෆ්ටර් සිය අන්තිම කැමැති පත්‍රය ලියා ඇති බවත් එමගින් සිය උරුමය කොටස් වශයෙන් පවුලේ සියලු දෙනා වෙත පවරා ඇති බව විමර්ශන කණ්ඩායම විසින් අනාවරණය කරගෙන තිබේ. එම තොරතුරු අනුව මරණය ගැන විමර්ශන නව මානයකට යොමුව තිබේ. නමුත් ෂාෆ්ටර් මහතා ඝාතනයෙන් පසුව මාසයක් ඉක්මවී ඇතත් තවම කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

එවැනි තත්ත්වයක් තුළ මරණය පිළිබඳ පරීක්ෂණ බොහෝදුරට අවසන්ව ඇති බවත් ඒ සම්බන්ධ තොරතුරු ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගි දිනෙක ප්‍රකාශ කොට තිබුණි. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය මිනීමැරුමක්ද? සියදිවි නසා ගැනීමක්ද? යන්න තහවුරු කිරීමට වැඩි දිනක් ගත නොවනු ඇත.

ඝාතනය සිදුවූ ස්ථානයේ හා ඊට අදාළව සොයාගත් ද්‍රව්‍යමය සාක්ෂි රැසක් මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගත් සාක්ෂිද ඇතුළත් අවසන් වාර්තාව දැනටමත් පොලිස් මූලස්ථානයට හා නීතිපතිවරයා වෙත ලබාදී ඇති බවට පැවසෙන අතර එහි මරණයට අදාළ අභිරහස හෙළිවන තොරතුරු අන්තර්ගත වනු ඇති බවද එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඝාතනයට අදාළ සැබෑ රහස එළිවනු ඇති බවට විශ්වාස කෙරේ. බොහෝවිට ෂාෆ්ටර් මරණය ඝාතනයක් නොව වෙනත් සිදුවීමක් අරභයා සිදුව ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා ඇතැම් ජනමාධ්‍ය ඒ ඔස්සේ ඉව අල්ලමින් ෂාෆ්ටර් මහතාගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට වාර්තා පළ කළේය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයට අමතරව ෆාස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පී.එල්.සී. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම තවත් ව්‍යාපාර රැසක කොටස් හිමිකරුවකු වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්ව තිබුණේ පසුගිය දෙසැම්බර් 15 වැනිදාය. බොරුල්ල කනත්ත තුළ පාලු ප්‍රදේශයකදී සිය මෝටර් රථයේ රියදුරු අසුන මත දෑත් ගැට ගසා ගෙල වයරයකින් සිරකර අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී සොයාගෙන තිබුණේ ෂාෆ්ටර් මහතාගේ කාර්යාලයේ විධායක නිලධාරියකු විසිනි. කනත්තේ සේවකයන් දෙදෙනකුගේ උදව්වෙන් ෂාෆ්ටර් මහතා රෝහල් ගත කිරීමට එම තැනැත්තා කටයුතු කොට තිබූ අතර ෂාෆ්ටර් මහතා ඝාතනයට පෙර සිටි තත්ත්වය සියැසින් දැක තිබුණේ ඔවුන් තිදෙනා පමණි. එබැවින් ප්‍රථමයෙන් කටඋත්තර ලබාගැනීමට පොලීසිය ක්‍රියාකර තිබුණේ ඔවුන්ගෙනි. අනතුරුව ෂාෆ්ටර් මහතාගේ බිරිය, පවුලේ උදවිය, සහෝදරයන්, ඥාතීන් මෙන්ම ව්‍යාපාරික හවුල්කරුවන් ඇතුළු 84 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර තිබිණ. අදාළ විමර්ශනවලට අවශ්‍ය කරන මාර්ග හා ස්ථාන ගණනාවක තිබූ සී.සී.ටී.වී. කැමරා 40ක දත්ත විමර්ශනයට ලක් කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ක්‍රියාකර තිබිණ.

ඇසින් දුටු සාක්ෂියක් නොමැති ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරාවලට අමතරව දුරකථන විශ්ලේෂණ වාර්තා, ඇඟිලි සලකුණු වැනි විද්‍යාත්මක හා භෞතික සාක්ෂි මත විමර්ශන සිදුකෙරෙමින් පවතී. මෙතෙක් කළ පරීක්ෂණ ඇසුරින් කිසිවකු වෙත සැකයක් ඇති වූ බවක් වාර්තා වන්නේද නැත. ඒ අනුව ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක්ද? යන්නට ඇත්තේ ප්‍රබල සැකයකි. ඊට අදාළ සාධක වශයෙන් සිය ව්‍යාපාරවල උද්ගතව තිබෙන ගැටලු පිළිබඳව පොලීසිය අවධානය යොමුකර ඇත. ඇතැම් පාර්ශ්වවලට රුපියල් කෝටි ගණනින් මුදල් ණයට ලබාදීමට ෂාෆ්ටර් මහතා ක්‍රියාකර තිබෙන අතර ඒවා නැවත ලබාදීමට ගැනුම්කරුවන් කටයුතු කර නැතැයි පැවසේ. ඇතැම් ව්‍යාපාර සඳහා විශාල ලෙස මුදල් ආයෝජනය කොට තිබෙන අතර ඒවා අසාර්ථක වීම නිසාද සිය ආදායම සමඟ ව්‍යාපාර කඩා වැටෙමින් තිබී ඇත. මේ නිසා හටගෙන තිබූ ආර්ථික අර්බුද හමුවේ ෂාෆ්ටර් මහතා යම් කළකිරීමක සිටි බවට තොරතුරු වාර්තා වී තිබේ. මේ නිසා ඔහු සියදිවි නසා ගැනීමට ක්‍රියා කළේද යන්න සැකයකි. කෙනෙකුට සියදිවි නසා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑතරම් පහසු ක්‍රම තිබෙන අතර මෙවැනි සැලසුම් සහගත ක්‍රමයක් භාවිතා කිරීම විමර්ශන කණ්ඩායම්වලටද ගැටලුවකි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුතෙකි. කොළඹ මල් පාරේ අංක 39 ලිපිනයේ පදිංචිව සිටි ඒ මහතා තිදරු පියෙකි. ඔහුට අයත් WP-KY 8732 දරණ මෝටර් රථයෙන් පසුගිය 15 වැනිදා දහවල් 1.50ට පමණ සිය නිවසින් පිටත්ව ගොස් තිබුණේ ව්‍යාපාරිකයකු සමග ගනුදෙනුවක් සිදුකිරීමට යන බව පවසමිනි. ඊට පැයකට පමණ පසුව ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යවමින් ඔහු පැමිණෙන තුරු ෂාෆ්ටර් බලා සිටින බවට දන්වා ඇති බව බ්‍රයන් තෝමස් මහතා පොලීසියට දන්වා ඇත.  එසේ ඔහු සිටින ස්ථානයක් පිළිබඳ දන්වා නැති අතර පණිවුඩය සඳහා භාවිතා කළ ඉංග්‍රීසි භාෂාවේ අකුරු ෂාෆ්ටර් මහතා හසුරුවන ඉංග්‍රීසි භාෂාවට වඩා වෙනස් බවද හෙතෙම පවසා තිබිණ. ෂාෆ්ටර් මහතා නිවසින් පිටත් වූ වෙලාව කෙටි පණිවුඩය යැවූ වෙලාව සහ ඔවුන් අතර පවතින විරසකය අනුව විමර්ශන කණ්ඩායම්වලට ඇත්තේ ගැටලු සහගත තත්ත්වයකි. මේ නිසා මරණය පසුපස සැක නොකරන වෙනත් පාර්ශ්වයක් සිටින්නේද යන්න බරපතළ සැකයකි.

ෂාෆ්ටර් මහතා හා බ්‍රයන් තෝමස් මහතා අතර සිදුව ඇතැයි කියන ගනුදෙනුව රුපියල් ලක්ෂ 1430කි. විශ්වාස කටයුතු ලෙස ගනුදෙනුව නැවත පියවා නැති හෙයින් ෂාෆ්ටර් විසින් බ්‍රයන් තෝමස්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකර තිබුණේ 2021 වසර මුලය. ඒ අනුව නඩුව විභාග වෙමින් පැවති පසුබිමක බ්‍රයන් තෝමස් මුණගැසීමට ෂාෆ්ටර් මහතා බොරුල්ල කනත්තට යාම විශ්වාස කල නොහැකිය. අධිකරණය තුළ නඩුවක් විභාග වන අතරතුර එවැනි හමුවීමක් සිදුවිය හැකිද? ඒ සඳහා පිටස්තර පාර්ශ්වයක් මැදිහත් වී තිබේද? යන්න පරීක්ෂාවට භාජනය විය යුතුව ඇත. එවැනි දෙයක් වේ නම් දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව දැනටමත් හඳුනා ගැනීමට හැකිවිය යුතුය.

ෂාෆ්ටර් මහතාගේ බිරිය පොලීසියට ප්‍රකාශ කොට ඇති පරිදි ෂාෆ්ටර් නිවසින් පිටත්ව ගොස් ටික වෙලාවකට පසුව දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බවකි. එවිට ජංගම දුරකථනය ක්‍රියා විරහිතව තිබී ඇති බවත් ජී.පී.එස්. තාක්ෂණය මගින් සොයා බැලීමේදී සැමියාගේ මෝටර් රථය බොරැල්ල කනත්ත තුළ තිබෙන බව හඳුනාගෙන ඒ පිළිබඳව සොයා බලන්නට ක්‍රිෂ් පෙරේරා නැමැති විධායක නිලධාරියා යොමුකළ බවය. බිරියට හිතවත් පවුලේ ඥාතියකුට හෝ නොදන්වා සේවකයකු මේ සඳහා යෙදවූයේ කුමන අරමුණකින්ද පැහැදිලි නැත. එබැවින් ෂාෆ්ටර් හා බිරිය අතර පැවති පවුල් සබඳතාව ඔවුන් හා ක්‍රිෂ් පෙරේරා අතර හිතවත්කම ආදිය පිළිබඳවද සොයාබැලිය යුතුව තිබේ. ධනවත් ව්‍යාපාරිකයකු වූ ෂාෆ්ටර් මහතාට පෞද්ගලික රියදුරකු හා ආරක්ෂකයන් නොසිටියේද? එසේ නම් ඔවුන් මේ මොහොතේ මගහැරී තිබුණේ කෙසේද? විමර්ශනයට ලක්විය යුතුය. එසේම සියදිවි නසා ගැනීමට හෝ ඝාතනය සඳහා කනත්ත භූමියම යොදාගත්තේ ඇයි ගැටලුවකි. ඇතැම් විට ඒ සඳහා තුන්වැනි පාර්ශ්වයක උදව් මත සිදුව ඇතිදැයි සැකසහිතය.

ෂාෆ්ටර් මහතාගේ මරණය මිනීමැරුමක් බව සනාථ වී නැති අතර සියදිවි නසා ගැනීමක් ලෙසටද තහවුරු වී නැත. මිනීමැරුමක් ලෙස තහවුරුවේ නම් ඝාතනය සඳහා එක් අයකුට වඩා සම්බන්ධ විය යුතු බව කාගේත් අදහසය. ඝාතනය පිළිබඳ වාර්තා වූ තොරතුරු අනුව නම් මෙය ක්ෂණික කෝපය මත සිදුකළ එකක් නොව සැලසුම් සහගතව කළ අපරාධයක් බවට පැහැදිලිය. වයරයකින් ගෙල සිරකර මැරීම හේතුවෙන් ඝාතනය පසුපස අතිශය සංවේදී කරුණක් තිබිය හැකි බවට බරපතළ සැකයක් පවතී. එබැවින් ඝාතනයේ සුලමුල සෙවීම සඳහා වන විමර්ශන තවත් සූක්ෂම හා කඩිනම් විය යුතුව තිබේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර