2023 පෙබරවාරි 12 වන ඉරිදා

උහුලන්න බැරි ජීවන බරට එකතු වන බදු බර

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 47

ආදායම් බදු, ජාත්‍යන්තරයේ කතාබහට ලක් නොවන දිනයක් නැත. ජනතාව වැර වෑයමෙන් උපයති. ආණ්ඩු නීති පනවා එයින් කොටසක් අය කර ගනිමින් සිටී. බදු අය කළ යුත්තේ ඉතා පරෙස්සමෙන් බව ඉන්දියාවේ පැරණි අර්ථශාස්ත‍්‍රඥ චාණක්‍ය අධිරාජ්‍යයට උපදෙස් දී තිබුණි. අධික බදු අය කළහොත් ජනතාව අතර විරෝධතා පැන නැගෙන බව ඔහු ලබා දුන් උපදෙස්වල ඇතුළත් බව දැක්වේ. රටක් පාලනය කරන විට ආදායම අවශ්‍ය කෙරේ. සීමාවකට වඩා ආදායමක් ලබන පිරිසගෙන් කොටසක් අය කර ගැනීම රාජ්‍යයක අයිතිවාසිකමකි. වරින් වර අණ පනත් පනවන ආණ්ඩු විවිධ බදු පනවන අතර නීත්‍යානුකූලව ආණ්ඩුවට ලැබෙන්නට සැලැස්විය යුතු බවට නීති පනවයි.

ආර්ථික අර්බුදයක පසුවන මෙරට ජනතාව උහුලාගත නොහැකි ජීවන බරකින් පීඩාවට පත්ව සිටිති. ආදායම සීමා සහිත වන අතර වියදම පාලනය කරගත නොහැකිය. වත්මන් ආණ්ඩුව බදු ගණනාවක් සංශෝධනය කළ අතර උපයන විට අය කරන බදු සීමා වෙනස් කර අධික පීඩනයක් එල්ල කිරීම එයින් එක පියවරකි. 2019 වසරේ දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව වැට් බද්ද අඩු කළ අතර මාසයකට රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා ආදායම් උපයන පිරිස් බදුවලින් නිදහස් කළේය. ආදායම පහත වැටී අය වැය පියවා ගත නොහැකි තැනට පත්ව සිටින වත්මන් ආණ්ඩුව වැට් බද්ද වැඩි කළ අතර උපයන විට බදු සීමාව රුපියල් ලක්ෂයක් දක්වා නියම කර තිබේ. ලක්ෂ දහයකට වැඩි ආදායමක් මාසිකව උපයන විට 30% ක පමණ බද්දක් අය වන බව චක‍්‍රය පෙන්නුම් කරයි. රජයේ හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව මහත් කැළඹීමකට පත් වූ අතර අලුත් බදු අයකර ගැනීමේ විපාකවලට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් ද පවත්වන ලදී.

♦ නියෝග පියවරක් පසුපසට

වැටුප් ආදායම තීරණය කිරීමේදී වාහන, ඉන්ධන, නිවාස, වෛද්‍ය වියදම් යනාදී වශයෙන් අතිරේකව ලැබෙන දීමනා ද ආදායමක් සේ තක්සේරු කළ යුතු බව 2023 අයවැය යෝජනා සඳහන් කර තිබුණි. ඇත්ත වශයෙන්ම මෙම දීමනා අතට ලැබෙන ආදායමක් නොවේ. වාහනයක් හෝ ඉන්ධන සඳහා වැය කරන්නට සිදුවේ. නිවෙසක කුලිය තමන්ගේ සාක්කුවට වැටෙන මුදලක් සේ තක්සේරු කිරීම සුදුසුද? අයවැය යෝජනා සඳහා වගන්ති සකස් කරන ලද නිලධාරීන් ඒවායෙන් සිදුවන අගතිය නිර්ණය කළේ නැත. ආණ්ඩුවේ අයවැය පියවන්නට වැඩ කරන ජනතාවගේ අන්තිම සතය තෙක් ආපසු උදුරා ගැනීමට කරන ලද උත්සාහය ව්‍යවර්ථ වී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හදිසියේ ක‍්‍රියාත්මක වූ අතර උපයන විට බද්ද සලකා බැලීම ඉදිරියේ දීමනා ඇතුළත් නොකරන බව ජනතා විරෝධය හමුවේ නිවේදනය කර ඇත. 

සම්මත කරන ලද අයවැය යෝජනා වෙනස් කිරීම ආණ්ඩුවක අභිමානයට කැළලකි. එපමණක් නොවේ. තක්සේරු කරන ලද ආදායම නැවත වරක් අඩු වූ පසු පියැවීමට වෙනත් විකල්පයක් අනුගමනය කරන්නට සිදුවේ. උපයන විට ගෙවන බදු සඳහා ඇතුළත් කර තිබුණු වෘත්තිකයන් ලබන දීමනා අත්හැරීමෙන් පසු මූලික වැටුප අනුව බදු ගෙවන්නට සිදුවන අතර අහිමිවන ආදායම උපයා ගැනීමට ක‍්‍රියාමාර්ගයක් රහිතව යෝජනා ආපසු හැරවීම අනර්ථයකි.

ආණ්ඩුවක බලය මැති ඇමැතිවරුන්ට පමණක් නොවේ. අමාත්‍යංශවල නිලධාරීහු විශාල සංඛ්‍යාවක් ආණ්ඩුවේ කටයුතුවලට සම්බන්ධ වෙති. මහජනතාවගෙන් අය කරන බදුවලින් වැටුප් ලබන නිලධාරීන්ට බරපතළ වගකීමක් ඇත. ආණ්ඩු අපහසුතාවයට පත් කරන, වැඩ කරන ජනතාව තවත් ප‍්‍රකෝප කරන යෝජනා ඇතුළත් කරන්නට කලින් දෙවරක් කල්පනා කරන්නට ඉඩ තිබුණි. 

♦ ඉන්දියාවේ පහළට - එංගලන්තය නොවෙනස්

ඉන්දියාව පසුගියදා සිය අයවැය යෝජනා ඉදිරිපත් කළේය. උපයන විට ගෙවීමේ බද්ද, මෙතෙක් අය කළ සීමාව ඉන්දියන් රුපියල් ලක්ෂ තුනක සිට ලක්ෂ හත දක්වා ලිහිල් කිරීම විශේෂ සිදුවීමකි. සංවර්ධන වේගය අත්පත් කර ගැනීම සඳහා පමණක් නොව ජනතාවට පහසුවක් වශයෙන් මෙම තීරණය ගත් බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය කියා සිටියාය. එංගලන්තය, වේල්ස් හා උතුරු අයර්ලන්තය උපයන විට ගෙවන බදු අඩු කර එකී පනවන ලද බදු වසර 2028 දක්වා නොවෙනස්ව පවත්වාගෙන යන බවට සහතිකයක් ද නිකුත් කළේය. අවුරුද්දක් පාසා බදු වෙනස් කරන, ආණ්ඩුවකට ඕනෑ අවස්ථාවක නැවත නැවතත් පනවන ශ‍්‍රී ලංකාවේ බදු ක‍්‍රම අනුව සලකන පසුබිමක එංගලන්තයේ වැසියන් අවුරුදු පහක් ස්ථිර අදහසක සිටීම විශාල අවස්ථාවකි. රට හැර යන්නට ලාංකිකයන් වැර දරන තරම ගැන මවිත වන පාලකයන් රට කරගෙන යා යුතු ආකාරය ගැන එංගලන්තයේ වැනි රටක මෙවැනි ස්ථිර තීරණවලින් ඉගෙන ගත යුතුය. 

පුද්ගල බදු වැඩිපුරම අය කරන රටවල් ද ලෝකයේ ඇත. අයිවරි කෝස්ට් හි ඒකපුද්ගල උපයන විට බදු ප‍්‍රතිශතය 60% ක් බව දැක්වේ. පින්ලන්තය, ජපානය, ඩෙන්මාර්ක්,  ඕස්ටි‍්‍රයා, ස්වීඩන්, බෙල්ජියම්, ඊශ‍්‍රායල් හා ස්ලෝවේනියාව උපයන ප‍්‍රමාණයෙන් 50% ක් හෝ එයට වැඩි ප‍්‍රතිශතයක් බදු වශයෙන් ආපසු අය කර ගනියි. 

බදු අඩුම අය කෙරෙන රටවල් ප‍්‍රමාණයක් ද ඇත. ලක්සම්බර්ග්, අයර්ලන්තය, මුරිෂස්, බර්මුඩා, ‍මොනාකෝ, ස්විට්සර්ලන්තය සහ බහමාස් රාජ්‍ය ඒ අතර ඇත. මෙම රටවල ආණ්ඩුවලට නඩත්තු කිරීම අඩු හෙයින් ජනතාවගෙන් අය කිරීම විශාල වශයෙන් උවමනා නොකෙරේ.

බදු අය කරන ආණ්ඩු ඒවායෙන් මහජන සුබසාධන කටයුතු ක‍්‍රියාත්මක කරයි. සංවර්ධන ව්‍යාපෘති, සමාජ ආරක්ෂණය හා සුබසාධනය පිණිස වැය කෙරේ. සමහර රටවල තරුණයන්ට රුකියාවක් ලැබෙන තුරු ජීවත්වීමේ දීමනාවක් ගෙවන අතර රුකියාවක නිරත වූවකුගේ රස්සාව අහිමි වුවහොත් එතෙක් හිමිව තිබුණු වැටුපෙන් 70% ක් දක්වා අලුත් ආදායම් මාර්ගයක් ලැබෙන තෙක් හිමි වේ. දරුවන්ට, ගැබිණි මවුවරුන්ට, අලුතින් විවාහ වන යුවතිපතින්ට ලැබෙන දීමනා එකිනෙකට වෙනස්ව පවතින රටවල් විශාල ප‍්‍රමාණයකි. මෙම සහන වෙනුවෙන් වැඩ කරන ජනතාවගෙන් අය කරන බදු වෙන් කෙරේ. තමන්ගේ ශ‍්‍රමයෙන් තවත් පිරිසක් ජීවත් වන බව දකින, එම රටවල වැඩ කරන ජනතාව අතිශය තෘප්තියට පත් වෙති.

♦ ජනතාවට බදු වෛරයක්

ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව ද, තමන්ගේ වැටුපෙන් කොටසක් ප‍්‍රජාව වෙනුවෙන් වැය කරන්නට අකැමැති පිරිසක් නොවේ. එහෙත් තමන්ගෙන් අය කරන බදු නිරපරාදේ නාස්ති වන, දූෂණයට හා වංචාවලට ලක්වන බව දකින කිසිවකු ආණ්ඩුවකට ගෙවන්නට කැමැති නැත. එය පාලකයන් අවධානයට ගත යුතු කරුණකි. ජනතා මුදලින් නඩත්තු වීම, ආණ්ඩු බලය ලබාගන්නට වැර දරන දේශපාලන පක්ෂ එවැනි වෑයමක් දරන්නට ඇති පසුබිම් හේතු අතර තිබේ. බදු රහිත වාහන, නිල නිවාස, කාර්යාල හා ආරක්ෂක පිරිවර සහිතව මහජන මුදලින් නඩත්තු වන පිරිස දකින ජනතාව කිසිසේත් උහුලන්නේ නැත. 

දුප්පත් ජනතාවට බස් රථයක් නැති මාවතක අධි සුඛෝපභෝගී රියකින් ගමන් කරන මහජන නියෝජිතයන් අවංක සේවකයෝ නොවෙති. රෝහලක බෙහෙත් ගන්නට පාන්දර සිට පෝලිම්වල සිටින ජනයා ගැන නොතකා මහජන මුදලින් සහ ලබන වරප‍්‍රසාදවලින් ලෝකයේ පොහොසත්ම රටක ප‍්‍රතිකාර ලබන මැති ඇමැතිවරුන් ගැන වෛර නොකරන්නට හේතුවක් නැත.  

අධික බදු අය කරන නමුත් ජනතාවට ලැබෙන පංගුව කුමක්ද? විශාල නාස්තියක්, බරපතල දූෂණ, මුල්‍ය වංචා ගැන තොරතුරු අනාවරණය කළ පසු පවා කිසිම ආකාරයක වරදක් හසු නොවේ. වරද කරන, වංචාවලට හසුවන පිරිස් නිදැල්ලේ පසුවෙති. මෙවැනි ඉවසිය නොහැකි තීරණ ඉදිරියේ දස දහස් වරක් කම්පාවට පත්ව ඇති පිරිස් තමන් පමණක් වන්දි ගෙවන ක‍්‍රමය වෙනස් කරන සේ බල කරන බව පාලකයෝ වටහා ගත යුතුය. බලයට එන්නට වෑයම් කරන දේශපාලනඥයන් ද මෙම කරුණු අවධානයට ගත යුතුව තිබේ.

♦ අලුත් ව්‍යුහයක්

උත්පාදනයක් රහිතව පැවැත්මක් නැත. ශ‍්‍රී ලංකාව අඩු ආර්ථික වර්ධනයක් සහිත රටකි. පසුගිය වසරේ 10% කට වැඩි ප‍්‍රතිශතයකින් ආර්ථිකය ඍණ අගයක් ගත්තේය. මෙම 2023 වසරේ දී ද 4.6% ක පමණ ඍණ අගයකින් ආර්ථිකය පහතට වැටෙනු ඇතැයි සැලකේ. වසර දෙකක් තුළ 16% කින් පමණ වැටෙන, කොවිඩ් වසංගතය තිබුණු කාලයේ පවා බිංදුවට වැටී තිබුණු රටක් ගොඩනගන්නට නම් විශේෂ ප‍්‍රයත්නයක් අවශ්‍යය. සුපුරුදු ක්‍රම අභිබවා අනන්‍ය පැවැත්මක් සකස් කරගත යුතුව තිබේ. ආර්ථික වර්ධනය ඍණ අගයක පවතින පසුබිමක ජනතාවගේ අතට ලැබෙන ආදායම ද අඩුවන බව රහසක් නොවේ. ජීවන වියදම ප‍්‍රශ්නයක් වී ඇති ජන කොටස් එය අවධාරණය කරයි. ඔවුන්ගෙන් අය කරන්නට වෑයම් කිරීම අසාර්ථක තීන්දුවකි. ජනතාවට උපයන්නට ලැබුණොත්, එම මුදල් වැය කළ හැකිවුවහොත් ආර්ථිකය සක්‍රීය වේ. එම සක්‍රීයත්වය අනුව වෙළෙඳාම දියුණු වන අතර වෙළෙඳාම අනුව රටේ නිෂ්පාදනය ඉහළ යන බව සඳහන් කළ යුතුය.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02