2023 පෙබරවාරි 12 වන ඉරිදා

අලිමංකඩක් අවහිර කරන පොලිසියක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 156

අලි මිනිස් ගැටුම ගැන නිතර වාර්තා වීම සාමාන්‍ය සිද්ධියක් වී ඇති කලෙක තවත් අලිමංකඩක් අවහිර කිරීමක් ගැන පසුගිය දිනවල වාර්තා විය. එසේ අලිමංකඩක් අවහිර කර ඇත්තේ පොලිස් ස්ථානයක් ඉදිකිරීම සඳහා බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර් යේෂණ කවය සඳහන් කර සිටී. ශ්‍රී ලංකාවේ වන අලින් සංරක්ෂණය කිරීම හා අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2014 වසරේ ඉදිරිපත් කෙරුණු සැලැස්මකට අනුව අලි මංකඩ 16ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබේ. ඒ අතර මෙවැනි වනසතුන්ට බාධා වන කටයුතු සිදුවන්නේ කෙසේදැයි තේරුම්ගත නොහැකිය. මේ දක්වා අලිමංකඩ අවහිර කළ ස්ථාන සියල්ලෙන්ම මිනිසාට සිදුව ඇත්තේ අවදානම මැද ජීවත්වීමටය. ඉදිරියේදී මේ පොලිසියට අලින්ගෙන් ආරක්ෂා වීමට වෙනම බලඇණියක් අවශ්‍ය වනු ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, මොරගොඩ ග්‍රාම සේවා වසමේ, මොරගොඩ පාසල අසලින් වැටී ඇති අලි ඇතුන් ඉතා සුලභව භාවිතා කරනු ලබන අලි මංකඩ අවහිර වන පරිදි මොරගොඩ පොලිස් ස්ථානය ඉදිකිරීමට කටයුතු ආරම්හ කර ඇති බවයි ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර් යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ සඳහන් කරන්නේ. ඔවුන් මේ ගැන ලිඛිතව වනජීවී බලධාරින්ට දන්වා සිටියද තවමත් ඒ ගැන සාධනීය ප්‍රතිචාරයක් නැත.
මෙතෙක් කලක් කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය එම පොලිස් ස්ථානය සඳහා ස්ථීර රජයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සඳහා මෙසේ අලි මංකඩ අවහිර වන පරිදි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රිටිගල අඩවියේ, මොරගොඩ බීට්ටු කාර්යාලය පිහිටි අක්කර දහයක පමණ ඉඩමක අක්කරයක පමණ කොටසක් යොදා ගැනීමට කටයුතු කරමින් පවතී.

හබරණ, මින්නේරිය, රිටිගල යන ප්‍රදේශවල සැරිසරන 300ක් පමණ වන අලි රංචුවක් වසරේ අගෝස්තු සිට පෙබරවාරි දක්වා බොහෝ දිනවල මෙම අලි මංකඩ භාවිත කරමින් මොරගොඩ වැව, මානංකට්ටිය වැව හා එරු වැව යන ජලාශ වල ජලපෝෂක වනාන්තර වෙත සංක්‍රමණය වීම සිදුවන බව නිරීක්ෂණය කර ඇත. එසේම තනි අලි වසර පුරාම තමන්ගේ වාසභූමිවල විවිධ ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම සඳහා මෙම අලි මංකඩ හරහා ගමන් කිරීම සිදුවේ. නුදුරින් පිහිටි උණගොල්ලෑව අලි මංකඩද කුඹුරු වගා කිරීම නිසා පසුගිය කාලයේ අවහිරවී තිබේ. එවන්  පසුබිමක  මොරගොඩ අලිමංකඩ අවහිර වුව හොත් ඉදිරියේදී මොරගොඩ, උණගොල්ලෑව, බැඳිවැව, නාවක්කුලම, අමුණුකොලේ වැනි ගම්මාන රැසක අලි-මිනිස් ගැටුම සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතී.

පසුගිය කාලයේ නිකුත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව අවසන්ය. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. පසුගිය කාලය තුළ වන අලි මරණයට පත් වීම විශාල අර්බුදයක් වී තිබේ.  2021 හා 22 සැප්තැම්බර් දක්වා කාලය තුළ වන අලි මරණ 511ක් හා අලි - මිනිස් ගැටුම නිසා පුද්ගල මරණ 181ක් වාර්තා විය.

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ දී වනසතුන්ට අයත් ඉඩම් කිසිදු සොයා බැලීමකින් තොරව ලබා දීම නිසා වන අලින්ගේ නිජබිම් අහිමිවීම වන අලි - මිනිස් ගැටුමට හේතුවී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පසුගිය කාලයේ සඳහන් කර තිබේ. නමුත් මෙවැනි වනජීවීන්ට සිදුවන අකටයුතුකම් ගැන එම අමාත්‍යංශයම නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලුවකි. 

I කුසුම්සිරි විජයවර්ධන