2023 පෙබරවාරි 12 වන ඉරිදා

ජනතාවට නොදැනෙන මුදලාලිලාට දැනෙන බඩු මිල අඩු කිරීම්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 40

රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන සැමවිටම ක්ෂණිකව ක්‍රියාත්මක වන පරිදි ඒවායේ මිල ඉහළ නංවන නමුත් මිල අඩු කරන බොහෝ අවස්ථාවලදී එම ප්‍රතිලාභ පාරිභෝගිකයා වෙත නොපැමිණීම අපේ රටේ කවදත් සිදුවන දෙයකි. මෙම වාසිය සැමවිටම ලැබෙන්නේ පාරිභෝගිකයාට නොව වෙනත් පාර්ශ්වයකට වීම කනගාටුවට කරුණකි.

මෙයට ආසන්නතම උදාහරණයක් වන්නේ ඉන්ධන සහ ගෑස් මිලය. පසුගිය 5 වැනිදා සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි වූ අතර නව මිල රුපියල් 400 විය. ලිට්රෝ ගෑස් කි.ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 4743 දක්වා රුපියල් 344කින් ඉහළ දැමුණු අතර කුඩා සිලින්ඩර්වල මිලද එයට සමානුපාතිකව වැඩි කෙරුණි. ලාෆ් ගෑස් මිලද ඒ සමඟම ඉහළ ගියේය. මෙම වැඩිවීම් ඒවා නිවේදනය කළ මොහොතේ සිට ක්‍රියාත්මක විය. මෙම දෙවර්ගයම සෑහෙන මිලකින් එයට කෙටි කාලයකට පෙර මිල අඩු වුවද එයට සමානුපාතිකව මේවා අනුසාරයෙන් නිපදවන ද්‍රව්‍ය හෝ සේවාවල මිල පහළ ගියේ නැත. ඉන්ධන මිල රුපියල් 25කින් පහළ යාම නුදුරු දින දෙකකදී දෙවරකට සිදුවූ නමුදු ඒ හේතුවෙන් බස් ගාස්තු හෝ ත්‍රිරෝද රථ ගාස්තුද, සෙසු ප්‍රවාහන ගාස්තුද පහළ ගියේ නැත. ව්‍යාපාරිකයන් පැවසුවේ මෙම පහළ යෑම් සුළු මුදලක් වන අතර බස් ගාස්තු තීරණය කිරීමේ සමීකරණයේ සාධක අනුව ගාස්තු පහළ යාමක් කළ නොහැකි බවය. ඒ අනුව ත්‍රිරෝද රථ ගාස්තු සහ සෙසු ප්‍රවාහන ගාස්තුද පහළ ගියේ නැත.

එසේම ගෑස් සිලින්ඩරයක (12.5) මිල රුපියල් 399කින් අඩුවී තිබියදී ගෑස්වලින් තනන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල පහළ ගියේ නැත. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිලද ආප්පයේ, ඉඳි ආප්පයේ බත් පැකැට්ටුවේ හෝ කොන්තුවේ මිල පහළ නොගිය බව අපට මතකය. එහෙත් ගෑස්වල මිල සිලින්ඩරය රුපියල් 344කින් වැඩිවීමේ හේතුව දක්වා යළිත් වරක් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ තර්ජනයකට මුහුණ පා ඇත.

බිත්තරයක මිල රුපියල් 44 හා 46 දක්වා පහළ දැමීමට රජය කටයුතු කළද බිත්තරය රුපියල් 65ට තිබියදී ඉහළ නැංවූ බිත්තර ආප්පයේ, බිත්තර රොටියේ, බිත්තර කෑම එකේ මිල අඩුකර ඇති බවක් නොපෙනේ. පසුගියදා පාන් පිටි කිලෝවක මිල රුපියල් 20කින් අඩුකළ අතර සීනි පරිප්පු, අර්තාපල්, ලුණු ආදියේ මිලද සතොස වෙළෙඳ සල්වල අඩු වූ අතර සෙසු වෙළෙඳ සල්වලද මිල පහළ වැටුණි. එහෙත් ඒ හේතුවෙන් ප්ලේන්ටිය කිරි තේ එක ඇතුළු කිසිදු දෙයක මිල අඩුවීමක් දක්නට නොවීය.

රජය උපරිම සිල්ලර මිල නිවේදනය කළද වෙළෙන්දෝ එය නොසලකා අලෙවි කළහ. බිත්තර මිල අඩු කිරීමට ගත් ප්‍රයත්නයද අසාර්ථක වී ඇත්තේ වෙළෙඳුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් මිල වෙනස් නොකර ඇති නිසාය. අප ළඟ තිබෙන්නේ වැඩි මිලට ගත් පරණ තොග යැයි ඔවුන් කියන බව අසන්නට ලැබේ. සහල් මිල අඩු වුවද කෑම මිල අඩුවූයේ නැත. ආපනශාලා මිලද එසේම තිබේ.

එසේම මිල සූත්‍ර ගැට ගැසීමද අතීතයේ සිටම සිදුවිය. ඒත් එම සමීකරණයද විසඳෙන්නේ ජනතාවට පාඩුවක් වන පරිදිය. බස් ගාස්තුවලට සැකසූ මිල සූත්‍රය මෙයට හොඳම උදාහරණයකි. එය උපයෝගී කරගත්තේ මිල අඩුකළ යුතු අවස්ථාවල විවිධ හේතු ඉදිරිපත් කර එයින් වැළකී සිටීමටය. පසුගිය සමයේ ලෝක වෙළෙඳ පොලේ මිල පාදක කරගෙන ඉන්ධන මිල මාස්පතා ප්‍රකාශයට පත්කළ බව අපට මතකය. එහෙත් ඒ අනුසාරයෙන් මසින් මස මිල පහළ යාමක් සිදුවූයේ නැත.

අද අප සාකච්ඡාවට බඳුන් කළ යුතුව ඇත්තේ විවිධ කරුණු උපයෝගී කරගෙන විටින් විට කෙටි කාලවලදී මිල උච්ඡාවචනය කිරීමට වඩා සියලු සාධක සමාලෝචනය කර වසරකට වරක් හෝ දෙවරක් මිල තීරණය කිරීම ප්‍රතිඵලදායී වන්නේද යන්නය. එවිට එකදිගට එකම මිලක් තිබුණු විට භාණ්ඩ හා සේවා මිල තීරණය කිරීමේදී පාරිභෝගිකයාට යම් සහනයක් උදාවන බව කිවයුතුය. එසේම පාරිභෝගිකයාටද මිල ගැන වැටහීමක් ඇතිවේ. ඒ නිසා මසක් පාසා මිල නිවේදනය කිරීමට වඩා අදාළ සාධක සලකා බලා යම් නිශ්චිත මිලක් නියම කළහොත් එය වඩාත් ප්‍රායෝගික නොවන්නේදැයි යන්න සලකා බැලීමට අද සුදුසුම අවස්ථාව උදා වී තිබේ. එසේ සිදුවන්නේ නම් ප්‍රධාන භාණ්ඩවල මිල ස්ථාවර වීම මත වෙළෙඳ පොළේ සෙසු ද්‍රව්‍යවල මිලද එක් මට්ටමක පවත්වාගෙන යාමට පහසු වනවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති විජිතපුරේ විමලරතන හිමි:

රජය භාණ්ඩ හා සේවා මිල අඩු කිරීමට ගන්නා විවිධ ක්‍රියාමාර්ගවලින් බොහෝ අවස්ථාවල ජනතාවට ප්‍රතිඵලයක් නොලැබෙන බව පෙනෙනවා. එයට හේතුව ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු බලපෑමයි. විවිධ හේතු කාරණා නිසා එම තීරණ ඵලදායී වන්නේ නැහැ. කිසිදු ආණ්ඩුවකට මෙම බලපෑම මර්දනය කිරීමට මෙතෙක් හැකි වී නැතැයි පැවසුවොත් නිවැරදියි. මෙයට එම ආණ්ඩු පමණක්ම වගකිව යුතු නැහැ. එයට හේතුව විවිධ කරුණු බලපෑම නිසයි. මේ නිසා ස්ථාවර මිල මට්ටමක් පවත්වාගෙන යාමට මෙතෙක් අපහසු වී තිබෙන බව කිවයුතුයි.

භාණ්ඩ හා සේවා මිල වැඩිවීමට දේශීය සහ විදේශීය වශයෙන් ප්‍රධාන හේතු බලපාන අතර එයට බාහිර හේතුද තිබෙන බව පැවසිය යුතුයි. රට තුළ භාණ්ඩ හා සේවා ඉල්ලුම හා සැපයුම, මුදල් සැපයුම, පොලී අනුපාතය, බදු අනුපාතය, උද්ධමන අනුපාතිකය, වෙළෙඳපොළ අක්‍රමිකතා ආදිය බලපානවා. එසේම භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ආදිය නාස්තිවීම, ස්වභාවික ව්‍යසන ආදියද හේතුවෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් සහ රුචි අරුචිභාවයද භාණ්ඩ මිල කෙරෙහි බලපානවා ඇති.

විදේශීය වශයෙන් බලපාන හේතු වන්නේ එම රටවල නිෂ්පාදනය අඩුවීම, එසේම විවිධ හේතු නිසා ආනයනය සීමා කිරීම හේතුවෙන් අඩු සැපයුමක් ඇතිවීමද වෙනවා. මෙයට එම රටවල් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ගන්නා තීරණද බලපානවා. තවද භාණ්ඩ ආනයනය කරන රටවල ඇතිවන යුද්ධ කෝලාහල, ස්වභාවික විපත් නිසා නිෂ්පාදනය අඩුවෙනවා. ඇතැම් රටවල් මෙවැනි අවස්ථාවල ආනයනය සීමා කරනවා. එයට හේතුව රටේ ජනතාවගේ පාරිභෝජනයට ප්‍රමුඛත්වය දීමට අවශ්‍ය වීමයි. ඇතැම් රටවල් අයකරන අපනයන බදු නිසාද පිටරටවලට එවන භාණ්ඩවල මිල වැඩිවිය හැකියි.

දේශීය හා විදේශීය වශයෙන් ද්විධ ලෙස බලපාන හේතුවන්නේ එම රටවල මුදල් ඒකකවල ඇතිවන ශක්තිමත්භාවය මෙන්ම දුර්වලවීමයි. අපේ රටේ මුදල් ඒකකය වන රුපියල සමඟ විදේශ රටවල ඩොලර් වැනි මුදල් ඒකක ගැලපීමද මෙයට හේතුවෙනවා. අපේ රටේ රුපියලේ අගය අවප්‍රමාණ වීම නිසා භාණ්ඩවල මිල ඉහළ යාම අපට පසුගිය දිනවල අත්දකින්නට ලැබුණු ප්‍රධානතම කාරණයක්. ඩොලරයට සාපේක්ෂව අගය පහළ ගිය විට රටට ආනයනය කරන භාණ්ඩවල මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා. එසේම අපේ නිෂ්පාදනවලට පිටරට අමුද්‍රව්‍ය හා උපාංග යොදා ගන්නා විට ඒවායේ මිල ඉහළ දැමීමට සිදුවීම නොවැළැක්විය හැකියි.

විශේෂයෙන් අපේ රටට ආනයනය කරන පිටි, සීනි, පරිප්පු, වියළි මිරිස්, කරවල, සැමන් ආදී අත්‍යවශය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිය විට රටේ මිල ඉහළ දැමීමට සිදුවෙනවා. මෙම තත්ත්වය ආණ්ඩුවට වළක්වන්න බැහැ. ඒ අනුව මිල ඉහළ යනවා. එසේම රජය භාණ්ඩ මිල පාලනය කරන අවස්ථාවලදී එම පාලන මිල ජනතාවට ලැබෙන්නේ නැහැ. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ වෙළෙඳ පොළ තුළ සිදුවන අක්‍රමිකතායි. පිටරටවල භාණ්ඩ මිල ඉහළ ගියවිට එය පාදක කරගෙන අපේ වෙළෙඳුන් මුලින් ගෙනැවිත් තිබෙන භාණ්ඩවල මිලද ඉහළ නංවනවා. එලෙසම උපරිම මිල සීමා පනවා තිබෙන අවස්ථාවලද එයට පෙර ගෙනා භාණ්ඩ යැයි පවසමින් මිල පහළ නොදා සිටිනවා. මෙවැනි අක්‍රමිකතා පිළිබඳ රටේ ජනතාවට හොඳ අත්දැකීමක් තිබෙනවා. ආණ්ඩුව කුමන තීරණ ගත්තද ඒවා ක්‍රියාත්මක වන්නේ නැහැ.

එසේම අපතේ යාම් නිසාද මිල ඉහළ යනවා. විශේෂයෙන් පළතුරු, එළවළු, මස් මාළු, බිත්තර ආදී බොහෝ දේවල් ප්‍රවාහනයේදී අපතේ යාම වැඩියි. බොහෝ වෙලාවට අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරමින් සිදුකරන ප්‍රවාහනයද මෙයට හේතුවෙනවා. භාණ්ඩ ඇසිරීම ගබඩා කිරීම ආදියද මෙයට බලපානවා. ලොව බොහෝ රටවල් මේ සඳහා දියුණු තාක්ෂණ විධි අනුගමනය කළද අවාසනාවකට මෙන් අපේ රටේ තවමත් අනුගමනය කරන්නේ යල් පැනගිය ක්‍රමවේදයි. මේ නිසා අපතේ යාම් වැඩියි. ස්වාධීන වෙළෙඳපොළ යාන්ත්‍රණයකට අප තවම සුදුසුකම් ලබා නැහැ. බොහෝ වෙලාවට මිල තීරණය කිරීමේදී දේශපාලන මැදිහත්වීම්ද ඇතිවෙනවා. මෙවැනි අයථා ක්‍රම නිසා ඉල්ලුම හා සැපයුම මත මිල තීරණය වන්නේ නැහැ. මෙහිදී අයථා ක්‍රම ඇතිවෙනවා. ප්‍රායෝගික ආර්ථිකයෙන් බැහැරව ඡායා ආර්ථිකයක් ඇතිවෙනවා. කළු ආර්ථිකයක් නිර්මාණය වෙනවා. මෙයින් විවිධ අයථා දේවල් සිදුවෙනවා. අතින් අතට මුදල් හුවමාරු වීම වගේම මුදල් පරිහරණයට නොයාමද සිදුවෙන බව පෙනෙනවා. හිතූ ගානට අලෙවි කරනවා. භාණ්ඩ හිඟයක් මවා පා වැඩි මිලට අලෙවි කරනවා. අය කළ මිලට රිසිට්පත් දෙන්නේ නැහැ. භාණ්ඩයේ විකුණුම් මිල වැඩියෙන් සඳහන් කර වට්ටම් දෙන බව හඟවා පාරිභෝගිකයා මුලා කරනවා. එසේම එකකට තව එකක් නොමිලේ දෙන බව, ලොතරුයි ත්‍යාග ආදියද පෙන්වා ජනතාවගෙන් ගසා කනවා. ආර්ථික කළමනාකරණයේ ගැටලුව ඉහළ සිට පහළට ගමන් කරනවා.

අද බොහෝ අවස්ථාවල පාලකයන් භාණ්ඩ මිල තීරණය කිරීමට මිල සූත්‍ර ආදේශ කරනවා. මෙම මිල සූත්‍ර සැමවිටම ප්‍රායෝගික වන්නේ නැහැ. ඒවායින් විවිධ ලෙස ගණනය කිරීම් සිදුවෙනවා. ඇතැම් සංඛ්‍යා දත්ත විවිධ හේතු මත වෙනස් කරනවා. බොහෝ වෙලාවට පාරිභෝගිකයා මුලාකර මිල වැඩි කිරීම සඳහා මේ මිල සූත්‍ර පාවිච්චි කරන බව පෙනෙන්නට තිබෙනවා. ආණ්ඩු මාරුවන විට, ඇමැතිවරුන් මාරුවන විටද මෙම මිල සූත්‍ර වෙනස් වෙනවා. පසුගිය සමයේ ක්‍රියාත්මක කළ විවිධ මිල සූත්‍ර අසාර්ථක වූ බව පෙනෙනවා. ඉන්ධනවලට, බස් ගාස්තුවලට, සහල්වලට, විවිධ ආහාර ද්‍රව්‍යවලට මිල සූත්‍ර ක්‍රියාත්මක කරන බව පැවසුවද ඒවා නිසා ප්‍රායෝගික ගැටලු ඇතිවුණා. මාසයක් ගානේ මෙලෙස මිල වෙනස්වීම නිසා පාරිභෝගිකයාට මෙන්ම වෙළෙඳුන්ටද ප්‍රශ්නකාරී වුණා. ශ්‍රී ලංකාව වැනි රටකට මෙලෙස මිල සූත්‍ර අනුගමනය කරනවා යැයි නිරතුරුව මිල වෙනස්වීම් දරාගන්නට බැහැ. පාරිභෝගිකයා පවතින මිල කුමක්ද යන්න නිගමනය කරගත නොහැකිව අමාරුවේ වැටෙනවා. දේශපාලනඥයන්ද ඇතැම්විට මෙම මිල සූත්‍ර ඉදිරියට දමා මිල වැඩි කිරීමට අවස්ථාව ලබාගන්නවා.

මිල සූත්‍රයට වඩා අවශ්‍ය වන්නේ භාණ්ඩයක ප්‍රමිතියයි. මිල අඩු කිරීමේ ව්‍යාජයෙන් බාල භාණ්ඩ වෙළෙඳපොළට එනවා. කොතරම් මිල සූත්‍ර තිබුණත් භාණ්ඩවල ප්‍රමිතිය බාලකර පාරිභෝගිකයා ගසා කෑමට පහසුවෙලා තිබෙනවා. එසේම දිග, පළල, බර අඩු වැඩි කරලා පාරිභෝගිකයා රවට්ටන්න පුළුවන්. ඒ නිසා මිල වගේම භාණ්ඩයේ ප්‍රමිතියද, ගුණාත්මක භාවයද එක හා සමානව වැදගත් වෙනවා. හොඳම උදාහරණයක් ලෙස පාන් සහ බේකරි කෑම පෙන්වා දිය හැකියි. එසේම විටින් විට සුළු වශයෙන් කිහිපවරක් භාණ්ඩ මිල පහළ දැමීමෙන් වෙළෙඳුන්ට මිස පාරිභෝගිකයාට කිසිදු වාසියක් අත්වන්නේ නැහැ.

මගේ අදහස නම් මේ බොහෝ ගැටලුවලට විසඳුම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බවයි. අපේ රටට මේතාක් කල් නිසි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ආණ්ඩු මාරුවන විට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වෙනවා. එහෙත් අවශ්‍ය වන්නේ සැමදාම පවතින කාටත් පොදු වූ ආර්ථික ප්‍රතිපත්තියක්. මේ පිළිබඳ කිසිදු රජයක් උනන්දුවක් දක්වා නැහැ. මෙය රටේ ආර්ථිකයට මෙන්ම පුද්ගල ආර්ථිකයටද අතිශයින් අහිතකරයි.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02