පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අන්තර්ගත ඇතැම් ක්‍රියාවලියන් සාමාන්‍ය පොදු ජනතාවට අවබෝධ කරගැනීම අපහසුය. පසුගිය ජනවාරි 27 වැනිදා සිදුකළ 'පාර්ලිමේන්තු වාරාවසාන කිරීම' ද එවැන්නකි. පාර්ලිමේන්තු වාරාවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කාරක සභා රැසක්ද අහෝසි වී ගියේය. ඒ අතර නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය පෙබරවාරි 08 වැනිදා ආරම්භ කිරීමත් සමඟ අහෝසි වී ගිය කාරක සභා සඳහා නව පත්කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතී.
ඒ අනුව මෙම ක්‍රියාවලිය සාම්ප්‍රදායිකව සහ දේශපාලනිකව කියවා ගැනීම ඔබගේ දේශපාලන අවබෝධය පිණිස ඉවහල් වනු ඇත. මෙහිදී පළමු පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නම් ක්‍රියාවලිය තේරුම් ගැනීම වටී. සරලව පැහැදිලි කළහොත්, පාර්ලිමේන්තුව ''වාරාවසාන'' කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ලැබෙන තාවකාලික විරාමයකි. ශ්‍රී ලංකාවේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඔහු වාර අවසාන කිරීමේ බලය ලැබී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකින් වාරාවසාන කිරීම සිදුවන අතර, වාර අවසාන කොට තබන උපරිම කාලය මාස දෙක නොඉක්මවිය යුතුය. පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතුය. වාරාවසාන කළද මෙම කාලය තුළ කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි. එසේම හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුව නැවත කැඳවීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබේ. ඒ සඳහා උදාහරණද ඉතිහාසයෙන් අපට හමුවේ.
ශ්‍රී ලාංකිකයන් ලෙස අප බොහෝ විට දකින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේ වාද විවාද කරමින් සිටින අවස්ථාවක් පමණි. එහෙත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය වාද විවාද කිරීමට වඩා බොහෝ සංකීර්ණය. රාජ්‍ය පරිපාලන ව්‍යුහය ගොඩනැගීමේදී පාර්ලිමේන්තු ක්‍රමවේදයේ අන්තර්ගත, කාරක සභා ක්‍රම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරයි. මෙරට තුළදී එම කාර්ය ඉටුවන ප්‍රමාණය පිළිබඳ ගැටලු ඇතත්, අප රාජ්‍ය පවත්වාගෙන යාම කෙරෙහි එය අතිශය වැදගත් බව සියලුදෙනාම දැනගත යුතුය.
පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමකදී පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා හැර අනෙකුත් සියලු කාරක සභා සාම්ප්‍රදායිකව අහෝසි වී යයි. කාරක සභා පිළිබඳව කරුණ තරමක් සංකීරණය බව මෙහිලා සටහන් කළ යුතු වේ. ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යනය කළ යුතුවේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ එවන් මනා අධ්‍යනයක් ඇත්තේ, අදද අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් අතළොස්සකට පමණි.
කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වැනි ව්‍යවස්ථාවෙන් පිළිගනු ලැබ ඇත. ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභා පත්කිරීම සිදුවේ. ස්ථාවර නියෝග අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට අමතරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු කාරක සභා වර්ග පහකි. විශේෂ කාරක සභා, ආංශික අධීක්ෂණ කාරක සභා, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා යනු ඒවාය.
ඉකුත්දා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සමඟ දැනට අහෝසි වී ඇති කාරක සභා රුසකි. ව්‍යවස්ථාදායක කාරක සභාව, අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව ආදී විශාල කාරක සභා සංඛ්‍යාවක් අහෝසි වී ඇත. එම කාරක සභා නව සභාවාරයේදී නැවත පත්කළ යුතු වේ.
කාරක සභා සම්බන්ධ කරුණට අමතරව පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනාද වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට එම ප්‍රශ්න සහ යෝජනා නැවතත් ඉදිරිපත් කරමින් ස්ථාවර නියෝග අනුව කටයුතු කිරීමට සිදුවෙයි.
පාර්ලිමේන්තු වාරාවසාන කිරීම සම්බන්ධව දේශපාලනික අර්ථයෙන්ද කියවා ගැනීම වටී. පාර්ලිමේන්තු වාර අවසාන කිරීම, ඇතැම් අවස්ථාවල දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරුන් විසින් සිදුකළ බවට, චෝදනා එල්ල වූ එමටය. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වූ වාරාවසන කිරීමට, යුගදනවි බලාගාරය ගිවිසුම අනාවරණය වීම, ආණ්ඩුවෙන් පිරිසක් බිඳී යෑම ආදිය හේතු වූ බවට එකල චෝදනා එල්ල වුණි. කෙසේ වෙතත් මෙවරද පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම පිළිබඳ චෝදනා කිහිපයක් දේශපාලන කරළියේ අසන්නට ලැබේ. දේශපාලනඥයන් කිහිපදෙනකුගේ අදහස් දැක්වීම් ඇසුරෙන් අපට එම චෝදනා මොනවාදැයි අවබෝධ කරගත හැකිය.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වාරාවසාන කිරීම කටයුතු කළා යැයි, චෝදනාවක් ඉදිරිපත් කළේ නිදහස ජාතික සභාවට නායකත්වය ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාය.
''පාර්ලිමේන්තුව වහලා තියෙන්නේ අවුරුදු 75ක නිදහස් ඉතිහාසයේ, නිදහස් කාලසීමාව තුළ පාර්ලිමේන්තුව වහපු පළමු අවස්ථාව. මැතිවරණයක් පැවතෙද්දී පාර්ලිමේන්තුව වහපු පළමු අවස්ථාව.''
නව සභාවාරය ආරම්භයේදී කථානායකවරයාගෙ අසුනට විත් සභාව ඇමැතීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කළ බව කීවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාය.
''හොයල බැලුවා මොකද කියලා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පොඩි ඉඟියක් ලැබිලා තියෙනවා. ඒ ඉඟිය ජාතිය අමතන ප්‍රකාශ කරන්න. වෙන මුකුත් නෑ එතන. කට්ටිය යෝජනා කරලා තියෙනවා නිදහස් දවසෙ කියමුයි කියල. ‘නෑ නෑ මම අර ලොකු පුටුවෙ වාඩිවෙලා කියන්න ඕනෑ’''
දේශපාලනිකව කවරාකාරයකින් අර්ථකථනය කළද මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වාරාවසාන කර නැවත ආරම්භ කර අවසන්ය. පසුගිය බදාදා (08) නව සභාවාරය ආරම්භ විය. ඒ සමඟම දැන් කෝප්, කොපා කමිටුවලටද පත්කිරීම් සිදුවනු ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙම පත්කිරීම් සිදු කිරීම වෙනුවෙන් රුස්විය. පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනුව අදාළ කටයුතු මේ වන විටත් සිදුවෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේද යන්න ගැටලුවකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වාර අවසාන කළ පසුගිය අවස්ථාවල මෙම පත් කිරීම් උදෙසා තේරීම් කාරක සභාව විශාල කාලයක් වැය කළේය. විශේෂ වූ කෝප්, කෝපා කමිටුව පත් කිරීම සම්බන්ධව ඇතිවූ දේශපාලන ආන්දෝලනයක් ඊට හේතු විය. මෙවර ද එය එසේ නොවේ යැයි කීමට අපට නොහැකිය. එම නිසාම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ක්‍රියාවලියේ සහ යළි ඇරුඹීමේ ක්‍රියාවලියේ සංකීර්ණ බව පුරවැසියන් ලෙස අප අවබෝධ කොට ගත යුතුය.
I චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර: බීබීසී සිංහල, පාර්ලිමේන්තු වෙබ් අඩවිය