2023 පෙබරවාරි 12 වන ඉරිදා

ලාම්පු එළියෙන් චිත්‍ර අඳින වැලිකන්දේ පැල්පතක විස්මිත සිත්තරාවී

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 319

ඇය නමින් කාව්‍යා අංජලී සෙව්වන්දි බණ්ඩාරය. කොටි ගැසූ අති දුෂ්කර පළාතක ජීවත් වූ කාව්‍යා අදටත් අලින්ගෙන් සිදුවන හානිවලටද මුහුණ දෙයි. පොළොන්නරුව වැලිකන්ද අසේලපුර මහ විදුහලේ ඉගෙනුම ලබන කාව්‍යා මෙවර පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දුන් ධෛර්යවන්ත ශිෂ්‍යාවකි. අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ඇය චිත්‍ර ඇඳීමටද උසස් හැකියාවක් ඇති ශිෂ්‍යාවකි.

''මම ඉගෙන ගත්තේ පොළොන්නරුව අසේලපුර මහ විද්‍යාලයෙන්. මෙවර මම කලා විෂයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. පුංචි කාලේ ඉඳන් මට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි මේ තරම් දුරට අඳින්න පුළුවන් කියල මම දැනගෙන හිටියේ නැහැ. හය වසර පන්තියේදී අපේ චිත්‍ර ගුරුවරිය අපිව චිත්‍ර තරගවලට ඉදිරිපත් කළා. මගේ තාත්තා නැහැ. බාප්ප තමයි ඉන්නේ. බාප්පා ගොවිතැන් කරනවා. අම්මා ගෙදර ඇඳුම් මහනවා. ඒ අතරේ බාප්පාට කුඹුරු වැඩවලටත් උදව් කරනවා. මට අයියා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. මගේ අයියටත් චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙනවා. හැබැයි ආර්ථික අපහසුතා නිසාම මගේ අයියා උසස් පෙළ කළේ නැහැ. දැන් අයියා ගාමන්ට් එකක වැඩ කරනවා.'' යැයි කාව්‍යා අංජලී දේශයට අදහස් දක්වමින් පැවසීය.

චිත්‍ර කලාවට මෙන්ම අධ්‍යාපන කටයුතුවලට හැකියාවක් ඇති කාව්‍යාට ජීවත් වන්නට සිදුවූයේ ආර්ථික අපහසුතා සමඟිනි. ගොවිතැන් කටයුතුවල නිරත වන බාප්පා මෙන්ම අහළ පහළ හිතවතුන්ගේ ඇඳුම් මැසීමෙන් ලැබෙන සුළු මුදලින් ජීවත්වෙන මේ පවුලේ රාත්‍රී අන්ධකාරය නැති කරන්නටවත් විදුලි එළියක් අදටත් නැත. මැටි ගැසූ නිවසේ සිට කුප්පි ලාම්පු එළියෙන් අධ්‍යාපන කටයුතු මෙන්ම චිත්‍ර අඳිනා කාව්‍යාට පාසලෙන්ද තම අධ්‍යාපන කටයුතුවලට සහයෝගය ලැබෙන්නේය. කුඩා කල මිදුලේ බිම ඇඳි චිත්‍ර ටික දවසකින් අඟුරු කෑල්ලකින් අඳින්නට කාව්‍යා පුරුදු වූවාය. ටික කලකින් ඇය පැස්ටල් උපයෝගී කරගෙන හරි අපූරු චිත්‍ර කොළවල පාට කළාය. කාලයක්ම පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍ර ඇඳි කාව්‍යාට දිය සායම් මගින් චිත්‍ර ඇඳීමට ආසා කළද ඒ සඳහා වියදම් කරන්නට වත්කමක් ඒ පවුල තුළ නොතිබිණි. මේ නිසාම ඇය ඇඟිලි තුඩුවලට අසු නොවන ප්‍රමාණයට කුඩා වූ පැස්ටල් කූරු අල්ලා කොළවල චිත්‍ර ඇන්දාය. උසස් පෙළ පන්තියට ආපසු ඇය දිය සායම් මඟින් චිත්‍ර අඳින්නට පුරුදු වූවාය.

''පැස්ටල්, දියසායම් වගේම චිත්‍ර අඳින්නට අවශ්‍ය කරන අනිත් හැමදේම මිලදී ගන්නට හරිම අමාරුයි. දැන් ඒවාවල මිල ඉතා වැඩියි. සමහර චිත්‍ර අඳින්න ආස වුණත් ඒවාට අවශ්‍ය කරන දිය සායම් වර්ග ඇතුළු අනෙකුත් සියලු දේවල් මිලදී ගන්නට බැරි නිසා මම හිතට එන බොහෝ චිත්‍ර අඳින එක නැවැත්තුවා. ඒ ගැන හරි දුකයි. අපේ ගෙදරට විදුලිය නැහැ. අපි ඉන්නේ පුංචි මැටි ගෙදරකයි. රජයෙන් ලැබුණ මේ ඉඩමේ තමයි අපි මේ මැටි ගෙදර හැදුවේ. ඒකට පාරක්වත් යන්න නැහැ. වැහි කාලයට ඉස්කෝලේටවත් යන්න බැහැ. මුළු පාරෙම වතුර පිරෙනවා. පසුගිය කාලයේදී උසස් පෙළට පෙනී හිටපු නිසා චිත්‍ර අඳින එක ටිකක් අතපසු වුණා. මේ සැරේ උසස් පෙළට මම කලා අංශයෙන් චිත්‍ර, භූගෝල විද්‍යාව සහ සිංහල විෂයන්වලින් පෙනී සිටියා. චිත්‍ර කලාවට මගේ පාසලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපිට චිත්‍ර උගන්වපු චිත්‍ර ගුරුවරියගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. හැබැයි මම දොළහ වසර පන්තියට ආවට පස්සේ ගුරිවරිය ගුරු සේවයෙන් අයින් වුණා. ඊටපස්සේ අපිට චිත්‍ර ගුරුවරයෙක් හිටියේ නැහැ. අදටත් අප පාසලට චිත්‍රවලට ගුරුවරයෙක් නැහැ. මේ වෙද්දී මම චිත්‍ර තරගවලින් ජයග්‍රහණ බොහොමයක් ලබාගෙන තියෙනවා. 2022 අවුරුද්දේ බල්ගේරියා රටෙන් චිත්‍ර තරගයක් පැවැත්වූවා. එම තරගයෙන් මගේ චිත්‍රය පළමු තැනට තේරුණා.'' යැයි කාව්‍යා අංජලී වැඩිදුරටත් දේශයට පැවසීය.

චිත්‍ර තරග කිහිපයකට කාව්‍යා සුදුසුකම් ලැබුවද ඇයට ඒවාට යාමට නොහැකි වූයේ යාමට තිබුණු ආර්ථික පහසුතා හේතුවෙනි. ඇය තමන්ට හැකි අයුරින් තරගවලට සහභාගි වී ඒවායින් ජයග්‍රහණ අත්පත් කර ගත්තාය.

කොවිඩ් වසංගතය කාලයේදී ඇය ආලේඛ්‍ය චිත්‍ර කිහිපයක් ඇඳ විකුණුවාය. රුපියල් එක්දහස් දෙසීයකට එවැනි චිත්‍ර හතරක් විකුණා ඇය තම පවුලේ වියදම් වෙනුවෙන් වැය කළාය. නමුත් තවදුරටත් එවැනි චිත්‍ර අඳින්නට ඇයට හැකියාවක් නොලැබෙන්නේ ඒ සඳහා අවශ්‍ය දෑ ගැනීමට ඇයට මුදල් නොමැතිකම නිසාවෙනි.

ඇයට බලාපොරොත්තු ඇත. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරී පත්වීම ඇගේ ලොකුම බලාපොරොත්තුවයි. ඒ සඳහා ඇයට හැකියාවක් ඇති බව පවසන්නේ පො‍ළොන්නරුව අසේල පුර මහ විදුහලේ විදුහල්පති පවසයි.

''මේක ඉතා අති දුෂ්කර පළාතක පවත්වාගෙන යන පාසලක්. වැලිකන්ද කොට්ඨාසයේ නැගෙනහිර මායිමේ පිහිටා තිබෙන පාසලක්. මේ වෙද්දී දරුවන් හයසිය ගණනක් එක වසරේ සිට දහතුන වසර දක්වා ඉගෙන ගන්නවා. කාව්‍යා අංජලී දරුවා ජීවත්වෙන්නේ මාගම්පුර කුඩා ගම්මානයෙයි. පාසලේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් තමයි මේ දරුවාගේ නිවස පිහිටලා තියෙන්නේ. කාව්‍යා අංජලී දියණිය ඉතා දක්ෂ දරුවෙක්. දෙමව්පියන් ගොවිතැන් කරන අයයි. ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමක හිටියත් මේ දරුවා ඉතා දක්ෂ දරුවෙක්. චිත්‍ර කලාවට මෙන්ම ඉගෙනීමටත් ඉතා දක්ෂයි. කලාප තරග බොහොමයක් ජයග්‍රහණය කරපු මේ දරුවාට අතදෙන්නට කෙනෙක් සිටියා නම් මීට වඩා ජයග්‍රහණ ලබන්නත් හැකියාවන් වර්ධනය කරගන්නත් හැකිවෙනවා. පාසලෙනුත් පුළුවන් සහයෝගයක් ලබා දුන්නත් මේ පාසලේ දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන දරුවන් බොහෝමයක් ඉන්නවා. ඒ නිසා කාව්‍යා අංජලී දියණියට උදව් කරන්නට කෙනෙක් හිටියා නම් මීට වඩා ජයග්‍රහණයක් ඇයට ලබාගන්නට හැකිවේවි...'' අසේල පුර මහ විදුහලේ විදුහල්පති වසන්ත කුමාර මහතා දේශයට එසේ පැවසීය.


I දිශානි ජයමාලි කරුණාරත්න