ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සුප්‍රකටව සිටි ඉන්දියාවේ අදානි සමූහයේ සභාපතිවරයා වන ගෞතම් අදානි හට මේ වනවිට ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානයට ඇදවැටීමට සිදුව ඇත. වසර ආරම්භයේදී ඔහු එම ලැයිස්තුවෙහි තෙවැනි ස්ථානයේ පසුවිය. මෙම ලැයිස්තුව ෆෝර්බ්ස් සඟරාව මගින් සකසන්නකි.
මේ අනුව අද වනවිට ගෞතම් අදානි ඩොලර් බිලියන 68.9ක වත්කමක් සමගින් මෙම Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 16 වැනි ස්ථානයේ පසුවෙයි. මේ ඇදවැටීමත් සමඟ 60 හැවිරිදි අදානි වෙතින් සතියක කාලයකදී සිය වත්කමින් ඩොලර් බිලියන 19.8ක් අහිමිව ගොස් තිබේ.
ඔහුගේ මෙම වත්කම් දරුණු ලෙස කඩා වැටීමට ලක්ව ඇත්තේ පසුගිය ජනවාරි 25 වැනිදා එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් සිදු කරන ලද අදානි සමූහයේ මුල්‍ය බදු වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින්ම සිදු වූ වෙළෙදපොළ කොටස් වටිනාකම් කඩා වැටීමත් සමගිනි. එම ආයතනය නිකුත් කළ වාර්තාවකින් පැවසුණේ අදානි සමූහ ව්‍යාපාරය දශක ගණනාවක් තිස්සේ කොටස් සම්බන්ධ වංචාවල සහ ගිණුම්කරණ වංචාවල නිරතව ඇති බවයි. බදු සම්බන්ධ අක්‍රමිකතා ගැනද මෙම වාර්තාවේ සඳහන්ව තිබිණි. මෙම චෝදනා එල්ල වීමත් සමඟ බොහෝ ආයෝජකයන් අදානි සමාගම්වලින් ඉවත් වීමට පියවර ගෙන තිබේ. එම අනාවරණය සිදු කරන අවස්ථාව වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 118ක් ලෙස සටහන්ව තිබුණි.
මේ ඇදවැටීමත් සමඟ ඉකුත් කාලය තුළදී අදානි එන්ටර්ප්‍රයිසස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගම් හතකට ඩොලර් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇතැයි ඉන්දියානු කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. මේ අතරින් ප්‍රමුඛව ඇදවැටී ඇති සමාගම් වන්නේ අදානි එන්ටර්ප්‍රයිසස් සමාගම, අදානි පෝර්ට්ස් ඇන්ඩ් ස්පෙෂල් එකොනොමික් සෝන්, අදානි ටෝටල් ගෑස්, අදානි ග්‍රීන් එනර්ජි සහ අදානි ට්‍රාන්ස්මිෂන් යන සමාගම්ය. මීට අමතරව අදානි පවර් සහ අදානි විල්මාර් යන සමාගම්ද 5%ක් බැගින් පසුබැස ඇත.
මේ අතර අදානිගේ සිදුවීමත් සමගින්ම ඉන්දියානු දේශීය බැංකු වෙත එල්ල වී ඇති බලපෑම කුමක්ද යන්න විස්තර කරන ලෙස ඉන්දියානු මහ බැංකුව හෙවත් ඉන්දියානු සංචිත බැංකුව සියලුම බැංකු වෙත දැනුම් දී තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට 2022 මාර්තු මාසයෙන් අවසන් වූ මුල්‍ය වර්ෂය වනවිට අදානි සමූහය සතු සමස්ත ණයබරතාව ඩොලර් බිලියන 24.53ක් වන අතර, ඒ අතරින් 40%ක ප්‍රතිශතයක්ම මෙම ඉන්දියානු දේශීය බැංකු මගින් ලබා දුන් ණය බව පැවසෙයි.
කෙසේ වෙතත් Hindenburg සිදු කළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදානි සමූහය සඳහන් කර තිබුණි. එසේම එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදන බවත් අදානි සමූහය සඳහන් කරයි. මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසද පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත. ගෞතම් අදානි වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ළගම ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික හිතවතකු ලෙස සැලකේ. ඔවුන් දෙදෙනාම ගුජරාත් ප්‍රාන්තයේ උපත ලැබූවෝ වෙති. අදානි සිය උත්සාහය තුළින්ම සාර්ථකත්වයට පත්වූ ව්‍යාපාරිකයකු ලෙස සැලකේ. තරුණ වියේදී ඔහු ගුජරාට් විශ්වවිද්‍යාලයේ වාණිජවේදී උපාධි පාඨමාලාවකට සම්බන්ධ වී සිටියත් එහි දෙවැනි වසරේදී එයින් ඉවත් වී ව්‍යාපාරික කටයුතුවලට මුල පිරුවේය.
මේ බදු වංචා චෝදනාවලදී විශේෂයෙන්ම අදානි සමූහය පසුගිය වසරේදී ඉන්දියාවේ අම්බුජා සිමෙන්ති සමාගමේ සහ ACC සිමෙන්ති සමාගම තුළ තිබූ ස්විට්සර්ලන්තයේ හොල්සිම් සමාගමට අයත් කොටස් අත්පත් කර ගැනීමේදී සිදු වූ බව කියන ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. අදානි සිය දේශපාලන හිතවත්කම යොදා ගනිමින් මෙම වංචා සිදු කළ බව විපක්ෂයේ චෝදනාවයි. අද වනවිට අදානි සමූහය වරාය, ගුවන් තොටුපොළ, පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව තවත් කර්මාන්ත රැසක් පුරාම සිය ආධිපත්‍ය පතුරුවා තිබේ. එහිදී ඉන්දියාවට අමතරව එම සමාගමේ මෙහෙයුම් ශ්‍රී ලංකාවද ඇතුළුව අසල්වැසි රාජ්‍යයන් රැසක් පුරාම ව්‍යාප්තව වී ඇත. ඔහුගේ ව්‍යාපාර ජාලයේ සිදු වූ කැපීපෙනෙන නැගී සිටීමත් සමගින්ම ආසන්න කාලසීමාවේදී ඔහුගේ වත්කම් ශීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු ආසියාවේ ලොකුම ධනවතා මෙන්ම ලෝකයේ තෙවැනි විශාලතම ධනවතා බවට පත්වීමද සිදුවිය.
ඔහුගේ මේ ඇදවැටීම හේතුවෙන් ඉන්දියාවේම ප්‍රබල ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානි මේ වනවිට Forbes බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට පත්ව සිටී. ඔහු සතු වත්කම ඩොලර් බිලියන 82.8ක් බව කියැවේ.
I සුගත්