2023 පෙබරවාරි 12 වන ඉරිදා

ලෝක පිළිකා අවදානම ලංකාවටත්!

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 35

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව රටවල් 183කින් 112කම මිනිසුන්ගේ ජීවිත වසර 70 වන්නට පෙර බිලිගන්නා අවදානම් සෞඛ්‍ය සාධක අතර පළමු හෝ දෙවැනි තැන ගෙන ඇත්තේ පිළිකාවය. ඉතිරි රටවලද එය තෙවැනි හෝ හතරවැනි ප්‍රධාන මාරකයයි. ලෝකය පුරා මේ තත්ත්වය දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.

පිළිකා රෝගීන්ගෙන් 65%ක් පමණ වාර්තා වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලිනි. ඒ අනුව දැන් ලංකාවද ප්‍රධානය. 2020 වසරේදී වාර්තා වන දත්ත අනුව මෙරට 38,229 ක් මෙම රෝගයට අලු‍තින් ගොදුරැ වී ඇති අතර එම වසරේදී 16,691 දෙනෙක් රෝගයෙන් මිය ගියහ. රෝගීන්ගෙන් වැඩි පිරිසක් එනම්, 20,395 ක් කාන්තාවන් වන අතර 17,834 ක් පිරිමි පුද්ගලයන් බවට අනාවරණ වී තිබේ.

මෙරට තුළ වසරකදී 3,50,000ක් උපදින විට 1,40,000ක්ම මිය යන බව වාර්තා වෙයි. ඒ මිය යන සංඛ්‍යාවෙන් 10%ක් එනම්, 14,000ක්ම පිළිකා රෝගීන් වීම අතිශය ඛේදජනක තත්ත්වයකි. එහෙත් මෙම පිළිකා මරණ අතුරින් 1/3 ක්ම වැළැක්විය හැකිවන බවත් එදිනෙදා ජීවන රටාවේ සිදු කරගත හැකි යහපත් චර්යාමය හේතු මගින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි. ලංකාවේ මේ පිළිකා වර්ධනයට මූලිකවම වගකිව යුතු සාධක වන්නේ මත්පැන් සහ දුම්කොළ භාවිතයත් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවත්ය.

2030 වසර වනවිට පිළිකා රෝගයෙන් මිය යන සංඛ්‍යාව මිලියන 13ක් දක්වා වැඩිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරිය කියයි. 

ලෝක පිළිකා තත්ත්ව නිරීක්ෂණ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය පියයුරැ ආශ්‍රිත පිළිකා බවය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා දෙවැනි තැනට බහුලත්වයක් දක්වයි‍. ගැබ්ගෙල පිළිකා සහ ගුද පිළිකාද ඒ හා සමානවම ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකාද පිළිවෙළින් බහුලව පැතිර තිබේ.

අප රටේද පිරිමින් අතර බහුලම මුඛ පිළිකාය. ඉන්පසු දෙවැනි තැන ගෙන ඇත්තේ පෙනහළු ආශ්‍රිත පිළිකාය. ආහාර මාර්ගයේ ඉහළ කොටස ආශ්‍රිත පිළිකා මෙන්ම පහළ කෙළවර ආශ්‍රිත පිළිකා ඊළඟට පිළිවෙළින් බහුලය. ලියුකේමියා තත්ත්වය බහුලව ඇත්තේද පිරිමින් තුළය.

පිළිකාව වැළඳීමේ ඉඩකඩ අඩු කිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව සිදු කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස බොහෝ දේ සිදු කළ යුතුව ඇත. එහිදී ජනතාවගේ කැපවීමද ප්‍රධානය. මේ වනවිට  ජාතික පිළිකා මර්දන ව්‍යාපාරය මුලික වූ පිළිකා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන 25ක් රට තුළ පවතියි. එමෙන්ම දිවයින පුරා සුවනාරි මධ්‍යස්ථාන 1000 ක් පවතින අතර පිළිකා රෝගය කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන නාරාහේන්පිට, රත්නපුර, යාපනය සහ මාතර දිස්ත්‍රික්කවල පිහිටුවා ඇත. බොහෝ පිළිකා රෝග කලින් හඳුනා ගැනීමෙන් සුව කිරීමේ සම්භාවිතාවක් ද පවතින බව මෙහිදී අප සිහියට ගත යුතුය.

I සුගත්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03