2023 පෙබරවාරි 12 වන ඉරිදා

තේ ඉල්ලුම පල්ලමේ!

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 211

තවමත් ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ සිලෝන් ටී හෙවත් ලංකාවේ නිෂ්පාදිත තේ සඳහාය. කාලයක් තිස්සේ උසස් ප්‍රමිතියක් සහිතව ලංකාවේ තේ අපනයනය කළ නිසා සිලෝන් ටී සන්නාමය යුරෝපය, මැදපෙරදිග පමණක් නොව ජපානය වැනි ඈත පෙරදිග රටවල පවා ප්‍රචලිත වී ඇත. එහෙත් මෑතක සිට විවිධ හේතූන් නිසා ‍සිලෝන් ටී සන්නාමය පළුදු වෙමින් පවතින බව හෙළි වී ඇත. ඒ හේතුවෙන් ලංකාවේ තේ අපනයනය පහත වැටී ඇති නිසා මෙතෙක් තේ අපනයනයෙන් ලැබූ විදේශ සංචිත ප්‍රමාණයේ විශාල කඩා වැටීමක් වාර්තා වී ඇත.

ඇඟලුම් කර්මාන්තයෙන් අනතුරුව ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන්නේ තේ කර්මාන්තයෙනි. 2014/15 සිට ආරම්භ වන කඩා වැටීම හේතුවෙන් චීනයෙන් පසු ලෝකයේ දෙවැනි විශාලතම තේ අපනයනයනකරුවා වූ ලංකාව මේ වන විට 5 වැනි ස්ථානයට පසු බැස ඇත. ඉන්දියාව සහ කෙන්යාව ලංකාව අභිබවා ඇත. ජපානය ශ්‍රී ලංකාවේ ආනයනය කළ තේ ප්‍රමාණය අඩකින් අඩු කරද්දී පකිස්තානය මුළුමනින්ම ලංකා තේ ආනයනය අත්හිටුවා ඇත.

දළු කැඩීම, ප්‍රවාහනය, තේ කම්හලේ රැකියා වැනි තේ කර්මාන්තය වඩා රැකියා දාමයක් ගොඩනැගී ඇත. නමුත් තේ කර්මාන්තයේ සිදුව ඇති බිඳ වැටීම හේතුවෙන් තේ කර්මාන්තය වටා නිර්මාණය වී තිබූ විශාල රැකියා ප්‍රමාණයටද පහර වැදීමක් සිදුව ඇත. මූලිකව තේවතුවල වැඩකළ කම්කරුවන්ගේ ප්‍රමාණය සීමා කිරීමටත් මෙතෙක් දළු කැඩීම ජීවනෝපාය කරගත් විශාල පිරිසකට ඔවුන්ගේ සුපුරුදු රැකියාවෙන් ඉවත් වීමටත් සිදුව ඇත. මෙතෙක් තේ වගාවේ නියුතු වැවිලිකරුවෝ නැවත වගාව අතහැර දමා ඇත. තේ වතු හොඳින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍යෙයන් සිදුකළ යුතු පාළු වගාව සම්පූර්ණයෙන් අත්හැර හෝ නිසි කලට සිදු නොකර සිටීමට වැවිලිකරුවෝ යොමු වී ඇත. මීට අමතරව තේ කර්මාන්තයේ කලක් තිස්සේ නියැලී සිටියත් පවතින අභියෝග හමුවේ තේ වතු අත්හැර දැමීමටද ඇතැම්හු යොමු වී ඇත.

ඉකුත් වර්ෂ දෙකේ ක්‍රියාත්මක කළ කාබනික පොහොර සංකල්පය තේ වගාවට අතුල් පහරක් විය. එක් රැයකින් තේ කර්මාන්තය කාබනික කිරීමට යාම තුළින් පළදාව සීඝ්‍රයෙන් බිඳවැටී ඇත. කුඩා තේ වතු හිමියෙක් තේ අක්කරයකින් ලබාගත් කිලෝ 700ක් දළු ප්‍රමාණය පොහොර පොහොර හිඟය හෝ පොහොර මිල අධිකවීම හෝ පොහොර නැති නිසා කිලෝ 250ක ප්‍රමාණයට අඩු වී ඇත.

තේ වතුවල පස බුරුල්කර ගැනීමට යූරියා යෙදීම අනිවාර්යයෙන් කළ යුත්තක් වුවත් ඉකුත් වසරේ යූරියා කොට්ටයක මිල රුපියල් 50000කට නැග තිබුණි. නමුත් එය අද වන විට 25000ට අඩුවී ඇතත් යූරියා මිල සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට තවත් පස් ගුණයක්වත් අඩුවිය යුතුය. ඊට අමතරව ටී 750, 700 වැනි පොහොරද තේ ගස්වල ඵලදාව ඉහළ දැමීමට අත්‍යවශ්‍ය පොහොර වර්ග වුවත් කාබනික පොහොර සංකල්පය නිසා මෙවැනි කිසිම පොහොර වර්ගයක් තම වගාවට යෙදීමට නොහැකි වීම මත අක්කරයකින් නෙළිය හැකි දළු ප්‍රමාණය තුන් ගුණයකින් අඩු වී ඇත.

2019 සහ 2020 වර්ෂවල පැවැති දැඩි නියං කාලගුණික තත්ත්වය එක්වරම තේ නිෂ්පාදනය බිඳවැටීමට බලපෑ ප්‍රධාන සාධකය වූ බව මහනුවර කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු පෙන්වා දුන්නේ ය. කාලගුණික විපර්යාසය නිසා උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කළද ඉන් වැඩි ප්‍රමාණයක් අසාර්ථක වූ බව නිලධාරීයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ මහතාට අනුව ලංකාවේ තේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නම් විශාල වෙනස්කම් රාශියක් සිදුවිය යුතුය.

තේ වතු හිමියා සහ වැවිලිකරුවා විසින් සිදුකරන ඇතැම් වැරදි ලෝක මට්ටමින් සිලෝන් ටී සන්නාමය පළුදු වීමට හේතු වූ බවද කුඩා තේවතු අධිකාරියේ නිලධාරීයා අවධාරණය කළේය. අක්කර පහක් දක්වා වූ තේ වතු හිමියෝ කුඩා තේ වතු හිමියන් ලෙස සැලකෙන අතර මෙරට නිෂ්පාදනය වන සමස්ත තේ ධාරිතාවෙන් 70%ක් පමණ නිෂ්පාදනය කරන්නේ කුඩා තේ වතු හිමියන්ය. මෙම කුඩා තේවතු හිමියන්ගේ දැනුවත්භාවය මදකම හේතුවෙන් නිසි කලට දළු නෙලීම සිදු නොකරයි. එමෙන්ම තේ දළු ඇසිරීමේදී වතුර නොදා නොතලා ඇසිරිය යුතු වුවත් ගොවීන් බහුතරය වතුර දැමීම සිදු කරයි. 

තේ ෆැක්ටරියට ප්‍රවාහනය කිරීමට පෙර වැවිලිකරුවාගේ අන්තයේ සිදුවන ක්‍රියාවලිය ලංකාවේ තේ අපනයනය විශාල වශයෙන් පහත වැටීමට බලපාන අන්දමින්ම, තේ ෆැක්ටරියට ගෙන යාමෙන් පසුව සිදුවන ක්‍රියාවලිය නිසාත් ගැටලු රැසක් පැනනැගී ඇතැයි ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක ප්‍රදීප් රණසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේය. පවතින විදුලි කප්පාදුව හේතුවෙන් ෆැක්ටරිය තුළ නිසි පරිදි දළු වියලීම සහ ඇඹරීම සිදු නොවන නිසා නියමිත ප්‍රමිතියේ තේ නිෂ්පාදනයක් සිදු නොවේ. ඉන්ධන හිඟය නිසා ඇතැම් ප්‍රදේශවල දළු දෛනිකව කම්හලට ගෙනයනවා වෙනුවට දින දෙකකට වරක් ගෙන යාම සිදු කෙරේ. එනිසාද අවසන් නිෂ්පාදනයේ ප්‍රමිතිය බාල වෙයි. 

ෆැක්ටරියේ සිදුවන නිෂ්පාදනයෙන් පසු ඉතිරිවන ඩස්ට් හෙවත් කසල තේ බැහැර නොකර ඒවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට ෆැක්ටරි හිමියෝ කටයුතු කිරීම හේතුවෙන්ද මෙරට නිෂ්පාදිත තේවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු උද්ගතව ඇතැයි ප්‍රදීප් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

සිලෝන් ටී සන්නාමය පළුදු වීමට තේ අපනයනය කරන ව්‍යාපාරික සමාගම්වල නොමනා ක්‍රියාකලාප බරපතළ ලෙස බලපා ඇතැයිද චෝදනා එල්ල වෙයි. ගම්මිරිස් ප්‍රතිඅපනයන නිසා මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළඳපළේ තිබූ ඉල්ලුම බිඳ දැමූ අන්දමින් කෙන්යාවේ සිට මෙරටට තේ ගෙන්වා සිලෝන් ටී සන්නාමය යටතේ අපනයනය කිරීමට කූඨ ව්‍යාපාරික කට්ටුවක් යොමු වී සිටිති. සුපුරුදු සිලෝන් ටී රසය ඉන් නොලැබෙන නිසා වැඩි වශයෙන් සිලෝන් ටී ආනයනය කරන රටවල් වන සිරියාව, අසර්බයිජානය, ඉරානය හා තුර්කිය ආනයන අඩු කිරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව ලංකාවේ තේ බහුල ලෙස ආනයනය කරන රටක් වන රුසියාව වසර දෙකකට ආසන්න කාලයක් යුක්‍රේනය සමඟ යුද්ධයක පැටලී සිටින නිසා තේ ආනයනය නවතා තිබුණි. එයද සැලකිය යුතු ලෙස මෙරට තේ අපනයනය අඩුවීමට හේතු විය. මෙරට පළාත් 05ක දිස්ත්‍රික්ක 11ක තේ වගා කෙරෙන අතර මෑත යුගයේ පහතරට තේ විශාල ලෙස දියුණු වී ඇත. ඒ අනුව වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 330ක් පමණ වෙයි. නමුත් ඉකුත් වසරේ නිෂ්පාදන පහත වැටීම නිසා වාර්ෂික නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 270කට සීමා වී ඇත. තේ වෙන්දේසියේ දී ලැබෙන තේ තොග අපනයනය කරන අතර වාර්ෂිකව ලැබෙන තේ ප්‍රමාණය අඩු වනවිට වෙනත් විකල්ප ක්‍රමවලට යොමුවීමට අපනයන සමාගම් කටයුතු කරයි. එසේ නැතහොත් ගැණුම්කරුවෝ ඉන්දියාව කෙන්යාව වැනි අපනයනකරුවන්ට මාරු වෙති. මෙවැනි හේතු ගණනාවක් නිසා ඒ හේතුවෙන් තේ අපනයනයෙන් 2021 වර්ෂයේ ආදායම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 1324ක 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1258කට පල්ලම් බැස ඇත.

I සකීෆ් සාම්