2023 පෙබරවාරි 12 වන ඉරිදා

සමලිංගික ඇසුරෙන් ආ ව්‍යාපාරිකයාගේ මාරයා

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 627

කෝටිපති ව්‍යාපාරිකයන් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වෙමින් තිබෙන්නේ මාස දෙකක පමණ කාලයක සිටය. එහි අලුත්ම ගොදුර වූයේ ෂේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසල් ජාලයේ හිමිකාර රොෂාන් වන්නිනායක මහතාය. මේ අතර ඉන්දුනීසියාවේදී ඝාතනයට ලක්ව ඇතැයි වාර්තා වූයේ ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති මෙන්ම තවත් ව්‍යාපාර ජාලයක කොටස්කරුවෙකු වූ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ නමැති ව්‍යාපාරිකයාය. මේ ඝාතන පිළිවෙළින් සිදුවෙමින් තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මරණයට පසුවය.

කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකුගේ ඝාතන එසේ වාර්තා වෙද්දී නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ විමුක්ති ප්‍රසාද් ජයවීර මහතා අනාරක්ෂිත මාර්ග බාධකයක සිය මෝටර් රථය ගැටීමෙන් සිදුවූ අනතුරක් නිසා ජීවිතක්ෂයට පත්වීමද වාර්තා විය. හොරණ කොළඹ පාරේ කුඹුක ප්‍රදේශයේ භූගත දුරකථන රුහැන් සහිත කුටීරයක් නඩත්තු කිරීම සඳහා ගලවා එහි අවශේෂ කොටස් අනාරක්ෂිත ලෙස මාර්ගයේ තබා තිබියදී තරුණ විද්‍යාඥයා පැදවූ මෝටර් රථය එහි ගැටී අනතුරට පත්ව ඇත. එම ස්ථානයේ තිබූ මාර්ග බාධකයක රථය ගැටීමත් සමඟ එහි වායු බැලුනය ක්‍රියාත්මක වී ඒ සමගම මෝටර් රථයේ අභ්‍යන්තරයේ තිබූ ලෝහ කැබැල්ලක් විද්‍යාඥයාගේ ගෙල ප්‍රදේශයේ වැදී බරපතළ තුවාල සිදුවීම නිසා ඔහු මරණයට පත්ව තිබුණි.

ඉන්දුනීසියාවේදී ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සිය බ්‍රසීල ජාතික බිරිය, දරුවා හා නිවසේ මෙහෙකාරිය සමඟ සංචාරයකට එක්ව සිටියදී ඔහු ඝාතනය කොට ඇතැයි වාර්තා වේ. පිරිස සුපිරි මහල් නිවාස කොටසක නැවතී සිට ඇති අතර මළසිරුර සොයාගන්නා විට බිරිය දරුවා හෝ මෙහෙකාරිය එහි සිට නැත. මතුවූ සැකය මත සී.සී.ටී.වී. පරීක්ෂාවේදී ''බාධා නොකරන්න'' යැයි පුවරුවක් දොරේ එල්ලා පිරිස පලායන බව දැකගන්නට ලැබී තිබිණි. වැඩිදුරටත් වාර්තා වූයේ බිරිය ඇතුළු පිරිස දෝහා බලාගිය ගුවන් යානයකින් ගොස් බ්‍රසීලයට ඇතුල් වී ඇති බවය.

සියලු මරණ අතර වැඩි අවධානයක් යොමුව තිබුණේ ෂේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසල් ජාලයේ හිමිකාර රොෂාන් වන්නිනායක ඝාතනය ගැනය. රාජගිරිය, කොටිකාවත්ත, පැලවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක නිමිඇඳුම් ප්‍රදර්ශනාගාර පවත්වාගෙන ගිය ඔහුගේ ඝාතනය සිදුව තිබුණේ තලංගම පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවසක් තුළය. මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයා සමලිංගික මිතුරු සමාජයක සාමාජිකයකුව සිට ඇති බවකි. අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නැමැත්තා හඳුනාගෙන තිබුණේ එම මිතුරු සමාජයෙනි.

අසීම්ඩීන් කලකට පෙර කොල්ලුපිටිය ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසලක අලෙවි සහායකවරයෙකි. එතැනින් ඉවත්ව විවිධ භාණ්ඩ ලබාගෙන විකිණීම සිදුකරමින් සිටියද ස්ථීර ආදායම් මාර්ගයක් තිබී නැත. මේ නිසා සමලිංගික සේවනයට කැමැති පිරිස් වෙත එම සේවාව ලබාදී හිතුමනාපයට මුදල් ඉපයීමට ඔහු ක්‍රියාකොට ඇතැයි කියති. මෙරට ඇතැම් ධනවතුන්ට හා ව්‍යාපාරිකයන්ට ඔහු එම සේවාව සපයා විශාල ලෙස මුදල් ඉපැයීමට ක්‍රියාකර ඇති බවත් මේ හරහා හොඳ ආදායමක් ලැබූ ඔහු ඒ සඳහාම වෙන් වූ ෆේස්බුක් පිටු හා වෙනස් වෙබ් අඩවි භාවිතා කර ගැනුම්කරුවන් සොයාගෙන තිබූ බව සඳහන්ය. මේ ආකාරයට අතමිට සරු වූයෙන් විවාහයක් සිදුකරගත් ඔහුගේ ක්‍රියාවට බිරිය අකමැත්ත ප්‍රකාශ කොට තිබුණි. ඒ අනුව එම ක්‍රියාව අත්හැර දමන්නට ඔහු පෙළඹී ඇත.

කල්ගත වෙත්ම ඔහු අත වූ මුදල් හිඟ වෙන්නට විය. එතෙක් බිරියගේ නිවසේ පදිංචිව සිටි ඔහුට කුලී නිවෙසක් සොයාගැනීමට අවශ්‍ය වී ඇත. මේ නිසා පෙර කී අන්තර්ජාල වෙබ් අඩවි වෙත පිවිස නැවත වරක් සමලිංගික ගැනුම්කරුවන් ඇසුරු කිරීමට උත්සාහ කොට ඇත. මේ ආකාරයට යම් පුද්ගලයකු හඳුනාගත තිබුණේ මාසයක පමණ ඉහතදීය. දින කිහිපයක් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පණිවුඩු හුවමාරු කරගත් පසුව ගැනුම්කරුවකු හා ඇසුරට ආරාධනය ලැබී තිබුණේ එම ව්‍යාපාරිකයා සමඟය.
මෙහිදී එම ව්‍යාපාරිකයා විසින් මොහුට කතාකොට පැලවත්ත පිහිටි සිය නිවෙසට එන ලෙස දන්වා ඇත. ආරාධනය ලැබෙන විට අසීම්ඩීන් නැමැත්තා රුඳී සිට තිබුණේ දෙහිවල ප්‍රදේශයේය. තවදුරටත් වට්ස්ඇප් ඔස්සේ දන්වා තිබුණේ උපත්පාලන කොපු කිහිපයක් රුගෙන එන ලෙසය. ඒ අනුව කළුබෝවිල ප්‍රදේශයේ ෆාමසියකින් ඒවා මිලට ගෙන අතරමගකදී ඔහු ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට නැගී ඇත. අනතුරුව දෙදෙනාම ගොස් තිබුණේ පැලවත්ත නිවෙස වෙතය. එහිදී ව්‍යාපාරික රොෂාන් වන්නිනායක විසින් අසීම්ඩීන් යන අයට ආහාරපාන සමඟ හොඳින් සංග්‍රහ කොට තිබුණි.

ඉන්පසුව දෙදෙනාම එම සුවිසල් නිවසේ තිබූ නාන තටාකය වෙත ගොස් ඇත. එහිදී පැයක් ගතවන්නට පෙර දෙදෙනා ලිංගික සබඳතාවක් පවත්වා තිබෙන අතර භාවිත කළ උපත් පාලන කොපුවක් ඉහළ මහලෙන් පිටතට විසිකොට ඇත. පසුව නැවතත් පිහිනුම් තටාකයේ සැරිසරා තිබුණු දෙපළ මොහොතක් කතා කරමින් සිට ඇත. එහිදී අසීම්ඩීන් ''මට වයිෆ් එක්ක අලුතින් කුලී ගෙදරකට යන්න ඕනෑ. ඒකට සල්ලි ටිකක් නම් මදි කී මනි එක දෙන්න. පුළුවන් නම් මට රුපියල් ලක්ෂයක් දෙන්න.'' යැයි කියා ඉල්ලා තිබුණි.

''මේ වෙලාවේ මට එච්චර ගාණක් දෙන්න නෑ. ඕන නම් පර්ස් එකේ තියෙන කීයක් හරි දෙන්නම්...'' ඊට පිළිතුරු ලෙස රොෂාන් වන්නිනායක කියා ඇත. නමුත් පසුම්බියේ එතරම් මුදලක් දකින්නට ලැබී නැත. මෙසේ ටික වෙලාවක් ගතවූ පසුව දෙවැනි වරටත් ලිංගික ඇසුරක් පැවැත්වීඹට ව්‍යාපාරිකයා සූදානම්ව ඇත. එම අවස්ථාව බලා අසීම්ඩීන් නැවත විමසා ඇත්තේ පර්ස් එකේ තිබෙන ඩෙබිට් කාඩ්වලින් සල්ලි අරන් දෙන්න පුළුවන්ද? යනුවෙනි. එහිදී ව්‍යාපාරිකයා තරයේ පවසා තිබුණේ එසේ කිරීමට නොහැකි බවකි. ඔහුගෙන් මුදල් නොලැබෙන බව දැනගත් අසීම්ඩීන් ව්‍යාපාරිකයා බියකර මුදල් ගැනීමට අදහස් කර ඇතැයි කියති. ඒ අනුව පොල්ලකින් ගසා තර්ජනය කොට කාඩ්පත්වල රහස් අංක ලබාගැනීමට සිතා ඔහුට පහර දී ඇත. එසේ එල්ල කළ පහරකට පසුව ව්‍යාපාරිකයාගේ බෙල්ල කඩා වැටුණු බව දැක තිබෙන අතර ඔහු මියයන්නට ඇතැයි සිතා සිරුර ජල තටාකයට ඇද දමා සැකකරු පලාගොස් ඇත.

එම ස්ථානයේ සිට ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථයෙන් සිය බිරියගේ නිවෙසට ගිය සැකකරු එදා වූ සිදුවීම විස්තර කොට බිරිය සමඟ කටුනායක බලාගොස් තිබුණේ ඉන්දුනීසියාව බලා පිටත්ව යාමටය. ගුවන් තොටුපළ පරිශ්‍රයේ සුපිරි වෙළෙඳසලකින් භාණ්ඩ කිහිපයක්ද මිලට ගත් දෙදෙනා වීසා ගැටලුවක් නිසා විදෙස් ගමන නවතා දමා නැවත කොළඹට පැමිණ තිබුණේ බස් රථයකිනි. ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය එම ප්‍රදේශයේ ගරාජයකට දමා තිබුණේ එහි වූ කාර්මික දෝෂයක් නිසාය. පසුව කොලොන්නාව ප්‍රදේශයට පැමිණි දෙදෙනා ඔවුන්ගේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇත.

මේ අතර ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණේ ව්‍යාපාරිකයකු මරා දමා නිවසේ පිහිනුම් තටාකයක තිබී සොයාගත් බවකි. එය දැකීමෙන් කලබල වූ දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයට පලාගොස් ඇතැයි කියති. මෙහිදී සිය ඥාති පුතාගේ කල්ක්‍රියාව පිළිබඳව දැනගත් පුංචි අම්මා සමලිංගික ඇසුරු පවත්වන එම පුද්ගලයාට අකමැත්තෙන් පසුවී ඝාතකයකු සඟවාගෙන සිටීමට සිදුවීම පිළිබඳව පිළිකුලෙන් පසු වී ඇත. ඒ අනුව ඇය තම හිතවත් පොලිස් නිලධාරියකුට තොරතුරු දන්වා කඳාන පොලීසියේ නිලධාරීන් පිරිසකට කරුණු දන්වා තිබුණි. අනතුරුව ත්‍රිකුණාමලය සිට කොළඹ බලා එන අතරමග ඔවුන් දෙදෙනා කඩවත නගරයෙන් බැස තිබුණේ පුංචි අම්මාගේ උපාය අනුවය. එතැනදී කඳාන පොලීසියේ නිලධාරීන්ට කොටුවන තුරු ඔවුන් කිසිවක් දැන සිට නැත.

ව්‍යාපාරිකයාට අයත් මුදල් පසුම්බිය තමා නොගත් බව ඔහු කියා ඇතත් එහි තිබූ ක්‍රෙඩිට් කාඩ් හතරකින් දෙකක් ඔහු සතුව තිබී පොලීසිය සොයාගෙන තිබිණි. ව්‍යාපාරිකයාට අයත් ජංගම දුරකථනය මොහු සොරාගෙන තිබූ අතර එය 31 වැනිදා රාත්‍රියේම වැල්ලවත්ත ප්‍රදේශයේදී මුහුද දෙසට විසිකළ බව ප්‍රකාශ කොට ඇත.

සැකකරු නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචිකරුවෙකි. ඔහු බිරිය සමඟ ගොතටුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති නමුත් කුලී නිවෙසක පදිංචියට යාම සඳහා සූදානමින් පසුවී ඇත. ඒ සඳහා පැවති ආර්ථික අපහසුතාවය දැඩි ලෙස බලපා තිබෙන බවත් එම මුදල් සොයාගැනීමට ගත් උත්සාහය හමුවේ ව්‍යාපාරිකයා ඝාතනය කොට ඇති බවත් හෙළිවී තිබේ.

පසුගිය 2 වැනිදා සොයාගත් මළසිරුර දින කිහිපයක් වතුරේ තිබූ නිසා හඳුනා ගැනීමට නොහැකි ලෙස විරෑපි වී තිබී ඇත. එබැවින් ළඟම ඥාතීන් හෝ සිරුර හඳුනාගෙන තිබුණේ නැත. ඒ නිසා පසුදින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටත් මළසිරුර හඳුනා ගැනීම සඳහා සිරුරේ ඩී.එන්.ඒ. මවගේ ඩී.එන්.ඒ. හා සැසඳීමටත් පියවර ගෙන තිබුණි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබුණේ මොට ආයුධයකින් හිසට එල්ලකළ පහරදීමක් නිසා මරණය සිදුව තිබෙන බවකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන අතර කඩුවෙල අධිකරණය වෙත සැකකාර යුවළ ඉදිරිපත් කොට තිබේ. ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන්ද විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර