2023 පෙබරවාරි 12 වන ඉරිදා

තුට්ටු දෙකට වී කොල්ල කන පොළොන්නරුවේ මුදලාලිලා

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 59

මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බව දිවයිනේ කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක බොහොමයකින් වාර්තා වෙයි. ඒ සමඟම ඇසෙන දුක්මුසු ආරංචිය වූයේ කිසිදු හිරිකිතයකින් තොරව නිතරගයෙන්ම මෝල් හිමියන් සහ මුදලාලිලා තම සුපුරුදු වී කොල්ලය ආරම්භ කර තිබීමය. නාඩු වී කිලෝවක රජයේ සහතික මිල රුපියල් 120ක් වුවද මෝල්ලුන්ගේ ලංසුව ඉන් හරි අඩක් එනම් රුපියල් 60ක් බව ගොවීහු කියති. මෝල් හිමියන් මේ අන්දමට තුට්ටු දෙකට ගොවියාගේ වී ටික කොල්ල කා ගන්නා අතරම සහල් කිලෝවේ මිල රුපියල 220ට වඩා ඉහළින් පවත්වා ගනිමින් පාරිභෝගිකයාගේ ඉහමොළද සූරාකන බව ගොවි ජනතාව පෙන්වා දෙති. 

දිවයිනේ උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර දිස්ත‍්‍රික්කයේ පොතුවිල්, ති‍්‍රකුණාමලයේ ඇතැම් ප‍්‍රදේශවල මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට සිදු කෙරෙන අතර එම ප‍්‍රදේශවල ජාවාරමුන් විසින්  වී කොල්ලය රිසිසේ  ඉතා සරුවට කරන බව කියති.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ අක්කර එක් ලක්‍ෂ විසිපන් දහසක් ඉක්මවන වී වගාවේ අස්වැන්න නෙළීම මාර්තු මස 10 වැනිදා පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි ගොවීන් සහ ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ. එසේ වුවද පොළොන්නරුව දිස්ත‍්‍රික්යේ පිහිටි වාරි අමුණු කිහිපයක් යටතේ වී වගාකර තිබෙන තඹාල ප‍්‍රදේශයේ  අක්කර 400කට අධික කුඹුරු ප‍්‍රමාණයෙක මැද කන්නයේ අස්වැන්න නෙළීම ඉදිරි දින කිහිපයකදී ආරම්භ කෙරෙන බව එහි ගොවීහු කියති. පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් අස්වනු නෙළීමට ආසන්න වී වගාවට හානි සිදුවූ බවද ගොවීහු කීහ.

මෙවර මාස් කන්නයේ පමණක් නොව පසුගිය යල කන්නයේද රජය ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමේ වගකීමෙන් කර ඇරීම නිසා පෞද්ගලික වෙළෙඳුන්ට ගජවාසි අත්වුණු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්‍ධයෙන් අදහස් දැක්වූ පොළොන්නරුව, අලුත්වැව නැගෙනහිර බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති පී.කේ.ඩී. විජේරත්න මහතා: 

"පසුගිය කන්නෙත් රජය සහතික මිලක් නියම කලා විතරයි. වී ඇටයක්වත් මිලදී ගත්තේ නෑ. ඒකෙන් වාසිය අත්වුනේ මෝල් කාරයින්ටයි, වී මුදලාලිලාටයි විතරයි. ගොවියාට සෙතක් වුණේ නෑ. කුණ කොල්ලෙට වී ටික දෙන්න වුණා. වෙච්චි ණයතුරුස්වත් බේරගන්න බැරි වුණා. මේ වතාවෙත් ඒ සන්තෑසියම තමයි. දැන් වී කිලෝ එක රුපියල් හැටයි. හෙට අනිද්දා වෙන කොට තවත් අඩු වෙනවා. ඒ ගැන කිසිම සැකයක් නෑ. මේ වතාවේ ගොවියා කුඹුරු වගාකරලා තියෙන්නේ කණකර ආභරණ පවා උගස් කරලා. පොහොර ටික හරියාකාරව ලැබුණේ නෑ. වැඩි මිලට පොහොර අරගෙන යොදන්න ගොවියා අතේ මුදල් නෑ. දැන් වෙලා තියෙන්නෙ අස්වැන්න පාළුවෙලා. නැති වසංගත රෝග හැදිලා. ගොයම කහපාට වෙලා. හේතුව පොටෑසියම් පොස්පරස් ඌණතාවය කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ. නිලධාරී මහත්තුරු කියන විදියට අඩුම ගානේ කිලෝ 25ක් වත් අක්කරයකට දාන්න ඕනලු. දැන් කන්න තුනකින් කුඹුරුවලට මඩ පොහොර යොදලා නෑ. මේ විනාසෙට ආණ්ඩුව වගකියන්න  ඕන. මේ සියලු වගා හානි වෙනුවෙන් ආණ්ඩුව ගොවීන්ට වන්දි දිය යුතුයි කියන ඉල්ලීම අපි තරයේම කරනවා. අනෙක් කාරණය මේ කන්නයේ ගොවීන්ගේ වී මිලදී ගන්න රජය වහාම වැඩපිළිවෙළක් යෙදිය යුතුයි. කෘෂිකර්ම ඇමැතිවරයාට අපි කියනවා ඇමැතිතුමෝ වී මෝල් මාෆියාවට අහිංසක ගොවියාගේ වී ටික කුණු කොල්ලයට මිලදී ගන්න ඉඩදීලා, උන් වී ටික මංකොල්ලකා ගත්තට පස්සේ බොරුවට සරම කැහැපොට ගහගෙන එන්න එපා. එම නිසා ඔබතුමා බොරු කිය කියා ගොවියා රවට්ටන්න එපා. ඔය ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න.”

පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය මහ ගොවිජනපද ව්‍යාපාරයට අයත් විජයබාහුපුර යායේදී අපට මුණගැසුණු සමන් හෙට්ටිආරච්චි ගොවි මහතා සිය අදහස් දැක්වූයේ මේ අන්දමටය.

"ගිය කන්නෙත් අපේ වගාවේ අස්වැන්න පහළ වැටුණා. මේ වතාවෙත් ගොයම නිසරුයි. සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොයම කහවෙලා, ඒ වගේම ගොයම් ගස් පඳුරු දාලත් නෑ. ඒ අනුවයි අපි කියන්නේ මෙදා මාස් කන්නත් සරු නෑ කියලා. කොහොම නමුත් ලැබෙන අස්වැන්නත් විකුණාගන්න වෙන්නේ තුට්ටු දෙකට. ආණ්ඩුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණා නම් පෞද්ගලික වෙළෙන්දාට මෝල්කාරයින්ට කුණු කොල්ලෙට ගන්න බැරි වෙනවා. එම නිසා රජයේ වී මිලදී ගැනීමේ නිසි වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයි. එහෙම කළොත් පමණයි ගොවියා මිලෙන් ආරක්‍ෂා වෙන්නේ. එම නිසා රජය ඒ වගකීමෙන් ඉවත් වුණොත් අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ ඒකාධිකාරියක් ඇති වෙනවා. රජයේ  වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙළ පැවැතුණොත් පමණයි ගොවියාට යම් සහනයක් ලැබෙන්නේ. ඒ නිසා රජයේ වගකිමක් එය ක‍්‍රියාත්මක කිරීම. අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නයේවත් ගොවියාගේ වී ටිකට රජයේ සහතික මිල ලබාගන්න අවස්ථාව සලසලා දෙයි කියලා.”  

මෙවර මාස් කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ වී අලෙවි මණ්ඩලය හරහා නොව දිස්ත‍්‍රික් ලේකම්වරු මාර්ගයෙන් බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා ප‍්‍රකාශකර තිබුණි.
ඒ සම්බන්‍ධයෙන් අප පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතාගෙන් විමසූවිට කියා සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මගින් ගොවීන්ගේ වී මිලදීගෙකන ඒවා සහල් බවට පත්කර රජයට සහල් ලබාගැනීම ඒ වැඩපිළිවෙළ බව මූලික සාකච්ජාවලදී දැනුම් ඇතැත් ඒ පිළිබඳව චක‍්‍රලේඛයක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි. එමෙන්ම මීට පෙර කන්නවලදී ඒ අන්දමට ලබාදුන් මුදල්වලින් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විශාල පිරිසක් සහල් ආපසු රජයට බාර නොදී තිබෙන බවද කීය. එමනිසා සුදුසුකම් තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් සොයා ගැනීමේ ගැටලුවක් ඇතැයිද ඒ මහතා කීය. කෙසේ නමුත් පොළොන්නරුවේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රමවේදය සම්බන්‍ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතැයිද දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රකාශ කළේය. 

වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප‍්‍රාදේශීය කලමනාකරු නිමල් ඒකනායක මහතා අපට පැවැසුවේ මෙවර රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙන්නේ දිස්ත‍්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බවය. පසුගිය කන්නයේ මෙන් මෙවරද ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමේ වගකීමෙන් වී අලෙවි මණ්ඩලය නිදහස් බව පැවැසීය. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 36ක් පමණ තිබෙන බවත් එහි ධාරිතාවය වී මෙට්‍රික් ටොන් 55,000ක් බවද ඒකනායක මහතා කීය. රජය වී අලෙවි මණ්ඩලය මගින් ගොවීන්ගේ වී මිලදී ගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් මණ්ඩලය සතුව තිබෙන බවද ඒ මහතා පැවැසීය.

රටට බත සපයන ගොවි ජනතාව සිය ජීවන වෘත්තීය කරගෙන යාමේදී මුහුණ දෙන ගැටලු අතොරක් නැතිය. ගුණාත්මක බීජ නොමැතිකම, යෙදවුම් මිල ඉහළ යාම, පොහොර හිඟය, නිෂ්පාදන පිරිවැය ඉහළයාම ආදී ගැටලු මූලිකය. මේ අන්දමට සියලු දුෂ්කරතා මැද කරන වගාවේ අස්වැන්න අවසන නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීමේ කාරණය අද ඊයේ පටන් නොව බොහෝ කලෙක සිට ඇසෙන දුක් මැසිවිල්ලකි. මෝල් හිමියන්, පෞද්ගලික වෙළෙඳුන් වැනි අතරමැදියන්ගේ සූරාකෑමට ලක්වන ගොවියා ඒ මකර කටින් තරමක් හෝ ගලවා ගන්නට තිබෙන එකම මාර්ගය වී අස්වනු නෙළන කාලයට එය මිලදී ගැනීමේ රජයේ නිසි වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම බව ගොවීහු පෙන්වා දෙන්නේ එම නිසාවෙනි. එහෙයින් රජය වී කිලෝවට සහතික මිලක් පැනවීමෙන් පමණක් නොනැවතී එම වී අස්වනු මිලදී ගැනීමටද නිසි වැඩපිළිවෙළක් යෙදීම රජයේ  අනිවාර්ය වගකීමක් සහ යුතුකමක් බව කිව යුතුය. එසේ නොකළහොත් නුදුරු කාලයේදීම අප රටේ ගොවියාත් ගොවිතැනත් වළපල්ලට යාම නොවැළැක්විය කාරණයක් වනු ඇත.

I කරුණාරත්න ගමගේ