2023 පෙබරවාරි 12 වන ඉරිදා

ඇඟේ තරමට කන්න දෙන අමුතු අවන්හල

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 290

ලොවපුරා පිහිටි අවන්හල්වලින් පාරිභෝගිකයන්ට අමතක නොවන සොඳුරු අත්දැකීම් ලබාදීමට විවිධාකාර ආකර්ෂණීය උත්සාහ කාලයෙන් කාලයට දරයි. ඒවා බොහෝ වේලාවට තරගකාරී අවන්හල්වලින් වෙනස් වූ ආරක් ගනී. එම වෙනස්කම් නිසාමත් ලෝකයේ අවන්හල්වල ඇති එවැනි ආකර්ෂණීය උත්සාහ නිසාමත් එම අවන්හල් ලෝකයේ පාරිභෝගික ආකර්ෂණය දිනාගනී.

ලෝකයේ අවන්හල් පාරිභෝගික ආකර්ෂණය  සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරයි. ඒ අතර ජපානයේ ටෝකියෝ නුවර කැට් කැෆේ නෙකොරෝබි අවන්හලට යන ඕනෑම පාරිභෝගිකයකුට බූල් පිරුණු පූස් සුරතලුන් පිරිවරා සුරතල් කරමින් කෝපි කෝප්පයක් ආහාරයක් රස විඳිය හැකිය.

පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් තම අවන්හලට ගෙන්වා ගැනීමට උපක්‍රමයක් ලෙස අවන්හල් හිමියෝ වට්ටම් ලබාදෙති. ඒ ආකාරයට වට්ටම් ලබාදෙමින් පාරිභෝගිකයා දිරි ගන්වයි. එක් භාණ්ඩයක් මිලදී ගතහොත්, තවත් භාණ්ඩයක් නොමිලයේ ලබාදීම, ආහාර වේලක් ලබා ගතහොත් අතුරුපස නොමිලයේ ලබාදීම, දිනක් ආහාර ගත් පාරිභෝගිකයන්ට උත්සව සමය වෙනුවෙන් වට්ටම් ලබාදීම ආදී වූ වට්ටම් ක්‍රම රාශියක් ලංකාවේ මෙන්ම ලොවපුරා අවන්හල්වලද දැකිය හැකිය. එහෙත් එම වට්ටම්වලට වෙනස් වූ තවත් සුවිශේෂී වට්ටමක් හිමිවන අරුම පුදුම අවන්හලක් පිළිබඳ වාර්තා වූයේ මැලේසියාවෙන්ය. මැලේසියාවේ කුචින්ග් මොන්ගෝලියන් මාස්ටර් නම් අවන්හලෙන් පාරිභෝගිකයන්ට වට්ටම් ලබාදෙනුයේ අමුතුම ආකාරයටය. එනම් ඇඟේ තරමට වට්ටම් ලබාදීමයි. මෙම අවන්හල එරට වේලාවෙන් දහවල් 12.00 සිට රාත්‍රී 10.30 දක්වා විවෘතව පවතී.

අවන්හලේ ප්‍රධාන දොරටුවේ විවිධ ඝනකම් සහිත සිරස් දොරටු 5ක් තිබේ. අඩු ඉඩකඩක සිට වැඩි ඉඩකඩ දක්වා මාර්ග අහුරා ඇති අතර තම තමන්ගේ ශරීර ප්‍රමාණය අනුව එම දොරටුවලින් එකකින් අවන්හලට ඇතුළු වීමට පාරිභෝගිකයන්ට හැකියාව සලසා ඇත.

එම මාර්ගවල වෙනස් වට්ටම් ප්‍රතිශතයක් ඉදිරිපත් කර ඇති අතර තමන්ගේ ශරීර ප්‍රමාණය අනුව තමන් ඇතුළු වූ දොරටුවේ සඳහන් වට්ටම ඔහුට හිමිවෙයි. දොරටු 5ක් සහිත ලී කූඩුවකින් මෙම දොරටුව සමන්විතය. එහි කුඩාම දොරටුවේ ඉඩ අඟල් 6ක්වත් නැති තරම් වන අතර එයින් ඇතුළු වීමට හැකි පුද්ගලයකුට සියයට සියයක වට්ටමක් හිමිවෙයි. එසේම ඉඩ වැඩිවන පිළිවෙළින් සියයට 50ක, 30ක, 20ක ආදී වූ විවර ඇති අතර විශාලතම දොරටුවේ ඉඩ අඟල් 10 -15ක්  වන අතර එයින් ඇතුළු වන පුද්ගලයකුට හිමිවනුයේ සියයට 10ක වට්ටමක් පමණකි. තරබාරු බොහෝදෙනාට ලබාගත හැකි වනුයේ සියයට 10ක වට්ටමක් පමණකි. ඔවුන්ට ඉන් එහාට වට්ටමක් ලබාගැනීමට අවශ්‍ය නම් ඔවුන් කෙට්ටු වී පැමිණිය හැකිය.

නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට මෙම උපක්‍රමය මගින් පාරිභෝගිකයා උනන්දු කරවන අතර ඒ සඳහා ඉහළ වට්ටමක් ලබාදෙයි. පාරිභෝගිකයාට උපරිම වට්ටමක් හිමි කරගැනීමට නම් ඔහු සිහින් සිරුරක් හිමිකර ගත යුතුය. එය නිරෝගී සිරුරක් පවත්වා ගෙන යාමටද රුකුලකි. මෙවැනි වෙළෙඳ ප්‍රවර්ධනවලින් පාරිභෝගිකයාට හිතකර වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමට හැකිය.

I සසංක චලන ගිම්හාන
ඡායාරූප - මැලේසියාවේ අවන්හල

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04