2023 පෙබරවාරි 19 වන ඉරිදා

ගුවනේදී ජීවිතයක් බේරාගත් වෛද්‍යවරියගෙන් සමාජයට පණිවුඩයක්!

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 216

ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරියක සහ පළපුරුදු හෙදියකගේ අවස්ථානුකූල කැපවීම නිසා තවත් ශ්‍රී ලාංකික මාතාවකගේ ජීවිතය ගුවනේ දී ගලවා ගන්නට පසුගියදා  හැකි වූයේ විස්මිත ආකාරයටය. මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී හදිසියේ අසනීප වූ මහනුවර ආසන්න ප්‍රදේශයක පදිංචි 85 හැවිරිදි කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ  ජීවිතය ආරක්ෂා කර දීමට මනෝරි ගමගේ විශේෂඥ වෛද්‍යවරිය සහ ඒ යානයේම සිටි ශ්‍රී ලාංකික හෙද සොයුරියක සමත් වූහ. මේ අවස්ථානුකූල මෙහෙයුම ගැන මනෝරි ගමගේ විශේෂඥ වෛද්‍යවරිය වෙනස්ම ආකාරයේ පණිවුඩයක් සමස්ත සමාජයටම ලබා දෙන සංවේදී සටහනක් තබා ඇත්තේ මෙසේය.

“මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරන UL 604 ගුවන් යානයට පිටත් වීමට ඇත්තේ තවත් තත්ත්පර කිහිපයකි. වෙනදා මෙන්ම 90% ක පමණ ශ්‍රී ලාංකියන්ගෙන් එය පිරී ඇත. ඉතිරිය අතරින් බහුතරය ඉන්දියානුවන් බවද පැහැදිලිය. ගුවන් ගමන ඇරඹුණි. ගතවූ කාලය විනාඩි 45 ක් පමණ විය. ‘වෛද්‍යවරයකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි පුද්ගලයකු සිටී නම් වහාම කාර්ය මණඩලය දැනුවත් කරන්න.’ යනුවෙන් නිවේදනයක් නිකුත් විය. මම පසුපස බැලිමි. මගේ ආසනයට පේළි 2කට පසුපස ආසනයේ අවුරුදු 75 ක් පමණ යැයි කිව හැකි කාන්තාවක් වේගයෙන් මෙන්ම ඉතාම අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියි.

ඒ දුටු වහාම යමක් කළ යුතු යැයි හැඟුණි. මම ඇය පරීක්ෂා කළෙමි. ඉතාම අපහසුවෙන් හුස්ම ගන්නා ඇය වෙහෙසා ප්‍රශ්න කළ නොහැක. නමුත් කිසිදු තොරතුරකින් තොරව ප්‍රතිකාර කිරීමද කළ නොහැක. ඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා ගතිමි. මාගේ සහායට ශ්‍රී ලාංකික නමුදු ඔස්ට්‍රේලියාවේ සේවය කරන හෙදියක් ද ඉදිරිපත් වූවාය. මෙම කාන්තාව ඇදුම රෝගයෙන් පෙළෙන බව යන්තම් අසා ගත්තෙමු. ඇය තවත් රෝග රුසකට ප්‍රතිකාර ගන්නා බව කීවද කිසිදු බෙහෙතක් ඈ සතු නොවීය. නිල් පාට ඉන්හේලරය පමණක් ඇති බව කී සැණින් එය සොයා වහා ඇයට බෙහෙත් වාර කිහිපයක් දුනිමි. ඇයගේ නාඩි ඉතා වේගයෙන් වැටෙයි. පපුව හිර කරන බවක් පවසයි.

හුස්ම ගැනීමට අධික වෙහෙසක් දරයි. වරින් වර වම් අත රිදෙන බවද පවසයි. අඩි දස දහස් ගණනක් ඉහළ අහසක වෙද නලාව සහ රුධිර පීඩන උපකරණයක් හැරුණුකොට කිසිදු උපකරණයක් හෝ තමා ගන්නා බෙහෙත් හෝ පෙළෙන රෝග පිළිබඳවත් හරියාකාරව කියාගත නොහැකි ඇයගේ මේ තත්ත්වය හමුවේ මහා භීතිකාවක් ඇතිවිය. හෘදයාබාධයක් විය නොහැකිද? (හතිය වැඩිවීමක් ද විය හැක.) නමුත් වෙද නළාවට එතරම් හතියක්ද නොඇසේ. එයද භයානක තත්ත්වයකි. රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ වෙයි. රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය බැලීමට ක්‍රමයක් නැත.

ඒ අවස්ථාවේ මගියකු තම ඇපල් වර්ගයේ ඔරලෝසුව ලබා දී රුධිර පීඩනය බලාගැනීමටද උපකාර විය. ඇස්ප්‍රින් තිබේදැයි මගීන්ගෙන් විමසීමි. ප්‍රතිචාරය යහපත්ය. ඇයට එය ලබා දුනිමි. නැවතත් සැල්බියුටමෝල් ඉන්හේලරය ලබා දුනිමි.ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය තිබේදැයි මගීන්ගේන් විමසීමි. කුඩා දරුවකුට ලබා දෙන සිරප් බෝතලයක් ලැබුණි. එයද ඇයට ලබා දුනිමි. ඇයගේ අපහසුතාවය කිසිදු අඩුවක් නොවීය. වැඩිවීමක් ද නැත. වහාම කපිතාන්වරයා දැනුවත් කළෙමි. තවත් පැය 2 ක කාලයකට පසු පර්ත් ගුවන් තොටුපළට ළඟා විය හැකි බවත් එයට පෙර යමක් කළ යුතු යැයි හැඟේ නම් නැවත මෙල්බර්න් දක්වා ආපසු පියාසර කළ යුතු බවත් ඔහු දැන්වීය.

මහා අසරණකමක් දැනුණි. ඇය නැවත පරීක්ෂා කළෙමි. හුස්ම ගැනීමේ අපහසුතාවය තරමක් අඩු වී ඇත. ඒ නිසාම පර්ත් නුවරට ආසන්න වන විට තීරණයක් ගැනීමට අප එකඟ වූයෙමු. මම ඇයට සෙමින් කතා කළෙමි. මා වැඩි විස්තර නොවිමසුවද ඇය වරින් වර නවත්තවමින් ඇයගේ තොරතුරු එකින් එක පැවසුවාය. වයස 85 කි. දරුවන් තිදෙනෙකි. එක් අයකු එංගලන්තයේය. අනෙක් දෙදෙනා ඔස්ට්‍රේලියාවේය. ඇය මහනුවරට ආසන්න ප්‍රදේශයක පදිංචිය. ලංකාවේ වෙසෙන්නේ තනිවමය. මෙවර දරුවන් බලන්නට ගොස් මාස 3 කට පසු ලංකාවට පැමිණෙමින් සිටියාය. ඇය කොළඹ සිට නුවර ගෙනියන්නට ඥාතියකු ගුවන් තොටුපොළට එන බවද පැවසුවාය.

‘ඇයි ඉතින් ලංකාවට යන්නේ’ මම විමසීමි. "අපිට ඔය රටවල් හරියන්නෑ. මගේ මහ ගෙදර තියෙනවානේ. ඒවාත් නාස්ති වෙලා යනවා." කටුනායකට එනතුරු ඇය සමඟ වරින් වර කතා කරමින් ඇය පරීක්ෂා කළෙමි. අතරමගදී, 'සිද්ධාලේප ටිකක් ගෑව නම් අතයි පපුවයි දෙකම අඩුවෙයි' ඇය පැවසුවාය. එයද සිදු කිරීමට අපට හැකි විය. කටුනායකදී ගුවන් සේවාවට අයත් වෛද්‍යවරයකු විසින් ඇය පරීක්ෂා කරන අතරතුර අවශ්‍ය තොරතුරු ලබා දී මම ගුවන් යානයෙන් පිටතට පැමිණියෙමි. අවුරුදු 85 ක්වූ ඇය තනිවම මෙසේ දරුවන් බලා කියාගන්නට ගොස් එන අතරතුර අසරණ වූ ලෙසින් ඉදිරි අනාගතයේදී බහුතරයකට මෙම තත්ත්වය පෙරටත් වඩා ඇතිවීමේ ඉඩකඩ අධිකය.”

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන මනෝරි ගමගේ මහත්මිය දැන් අප රට තුළ උද්ගතව ඇති තත්ත්වය ද ගුවන් යානයේ හදිසි අවස්ථාවටම සමාන කොට දකියි. ලංකාවේ වැඩිහිටියන් සඳහාම වෙන්වූ සේවාවක අවශ්‍යතාව ගැන ඇය අප හා කළ සාකච්ඡාවේදී ද අවධාරණය කළාය. මෙවන් අවස්ථා ගුවන් ගමන්වලදී සුලබ බව ඇය කියයි. නමුත් මේ අවස්ථාවට මුහුණ දුන් මාතාව පත්වූ   අසරණ බව දැන් අපේ සමස්ත සමාජය පුරාම පැතිර ඇති බවත්, ඔවුන් ඒ අසරණකමින් මුදා ගැනීමට ඉක්මන් ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇය පෙන්වා දෙයි. ඇය සිය සටහනේදිද ඒ ගැන දැඩිව අවධාරණය කර ඇත්තේ මෙසේය;

“මේ කාලේ තරුණ දරුවන් රට හැර යන්නේ ඉන්නට බැරි නිසාය. අපහසුවෙන් හෝ නතර වුණද නිසි වැටුපක් නොලැබෙන නිසාය. අතට දැනෙන වැටුපක් ලැබුණත් නැවතත් බදු ගහන නිසාය. අවසානයේ රටක් ලෙස අප පීඩාවට පත් වුවද රට හැර යන්නවුන් ගැන මම චෝදනා නොකරමි. ඒ ඔවුන්ගේ අයිතියයි. නමුත් ඒ දරුවන් ලොකු මහත් කරන්නට වෙහෙස මහන්සි වූ දෙමාපියන් අසරණ වීම සිදුවනු ඇත. ඒ ගැන විශේෂයෙන් සිහි කළ යුතුමය. ඒ අම්මා මෙන්ම බහුතර අම්මලා ගමේ ගෙදර අතහැර නගරයේ ගෙදරකට එන්නට වත් අකැමැති බව දන්නෝ දනිති. එහෙව් කලෙක දෙමාපියන් බහුතරයක් දරුවන් ගිය පමණින් රට හැර නොයන බවද පැහැදිලිය.

විදෙස් රටවලදී මෙන් නොව අප රට තුළ වයෝවෘද්ධ අම්මලා තාත්තලාට වෙන්වූ සේවාවන් නැත. නොමිලේ සෞඛ්‍ය සේවය ඇතත් මහා ජනකායක් අතරදී එය පහසුවෙන් ලබාගත නොහැක. ප්‍රවාහනය පහසු නැත. පාරක තොටක ගමන් කිරීම පවා අපටත් අපහසු කලෙක වයස්ගත මවුපියන්ට වන අපහසුව ගැන කතා කළ යුතු නැත. බලා කියාගැනීමට විශ්වාස කටයුතු කෙනකු සොයා ගැනීමද පහසු නැත. මෙම සිදුවීම මතක් වන හැම වාරයකදීම නුදුරේදී නැතත් අප ද අනාගතයේ මේ කුලකයට අයත් වනු ඇතැයි මට වරින් වර සිතේ. ළමයින් අප බලාගන්නට ලංකාවේ රැඳිය යුතු යැයි මම කිසිසේත් නොසිතමි. නමුත් දරුවන් විදේශගතවූ පසු ලංකාවේ රුඳෙන මවුපියන්ට සේවා ලබා දිය හැකි සක්‍රිය මෙන්ම සංවිධානාත්මක ක්‍රමවේදයක් ඇරඹීමට කාලය එළැඹ ඇත. රජයෙන් එය සිදුවීම බලාපොරොත්තු නොවෙමි. මේ හැකි පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට ඒ ගැන හිතන්නට ඉඩ දීම සඳහාය. මේ මට හිතෙන හැටිය.”
ඒ ඇත්තටම ඇයට සිතුණ හැටිය, ඉතින් දැන්වත් අපට හිතෙන්නට ඕනෑ සහ අප සිතිය යුතු ආකාරය ද එසේම නොවිය යුතුද?

I සුගත්