2023 පෙබරවාරි 19 වන ඉරිදා

ලංකාවේ ’’අපේ අම්මා’’ බී.බී.සී.යෙන් ලෝකෙට කියූ කතාව

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 71

'අපේ අම්මා' යූටියුබ් නාලිකාව පසුගියදා ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි අවධානයකට ලක් විය. ඒ, CashNetUSA නමැති ආයතනය මගින් එළිදක්වනු ලැබූ The 2022 YouTube Rich List නමැති වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ලබන යූටියුබ් නාලිකාව ලෙස 'අපේ අම්මා' නාලිකාව නම්කර තිබීම හේතුවෙනි.

එම වාර්තාවේ සඳහන් කර ඇති පරිදි 'අපේ අම්මා' යූටියුබ් නාලිකාව උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් 962,386කි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළවී තිබුණු අතර, 'අපේ අම්මා' නාලිකාවේ හිමිකාරිය සමඟ මේ පිළිබඳව කතා කිරීමට බීබීසී සිංහල සේවයට හැකි විය. එහිදී 'අපේ අම්මා' නමින් පෙනී සිටින, සිය සැබෑ නම හෙළි කිරීමට අකමැති විශ්‍රාමික ගුරුවරියක වන ඇය පැවසුවේ ''ඔය වාර්තාව හදලා තියෙන්නේ අනුමාන කිරීම් මත. ඒ වගේ මුදලක් අපට නම් ලැබිලා නෑ,'' යනුවෙනි.

'අපේ අම්මා' යූටියුබ් නාලිකාව ගැන කෙටි හැඳින්වීමක්

2016 වසරේදී ආරම්භ කරන ලද මෙම යූ ටියුබ් නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.73ක් ඉක්මවා තිබේ. එය ආරම්භ කිරීමෙන් පසු ගතවූ වසර හතකට ආසන්න කාලය තුළ වීඩියෝ 1700කට අධික සංඛ්‍යාවක් පළකර ඇත. මෙම නාලිකාව ආරම්භකර ඇත්තේ, ආප්ප සකසා ගැනීමට අදාළ උපදෙස් සහිත වීඩියෝවකිනි.

'අපේ අම්මා' නාලිකාවේ වැඩිම වාර ගණනක් නරඹා ඇති ජනප්‍රියම වීඩියෝව වන්නේ, ඇය මාළු පාන් සකසන ආකාරය පිළිබදව පළ කළ වීඩියෝවකි. වසර පහකට පමණ පෙර පළ කළ එම වීඩියෝව නරඹා ඇති වාර ගණන මිලියන 5.5 ඉක්මවයි.

කවුද මේ 'අපේ අම්මා'?

අපේ අම්මා නමින් පෙනී සිටින නම හෙළි නොකරන මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියකි. ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, ගෘහ විද්‍යාව ඇතුළු විෂයන් කිහිපයක්ම ඇය සිය ගුරු දිවිය තුළදී ඉගැන්වූ බවය. අවසන් වරට ඇය කොළඹ ජාතික පාසලක සේවය කළ බවත්, එම පාසල කුමක්ද යන්න පැවසීමට අකැමතිබවත් ඇය සඳහන් කළාය.

''මම තවම මගේ චැනල් එකේවත් මගේ නම කියලා නෑ. ආඩම්බරකමකට නෙවෙයි, මගේ ආරක්ෂාවට'' ඇය පැවසුවාය. ඇය කොළඹ 13 ප්‍රදේශයේ උපත ලබා ඇති අතර, මිත්තණිය ගාල්ල, බලපිටිය ප්‍රදේශයේ සිට කොළඹට සංක්‍රමණය වූ අයෙකි. ඇය 20 හැවිරිදි වියේදී ගුරුවරියක ලෙස සේවය කිරීම ආරම්භකර ඇති අතර, වසර ගණනාවක් තිස්සේ විවිධ ප්‍රදේශවල සේවය කළ එසමයේ ඒ ඒ ප්‍රදේශයන්ට විශේෂ වූ ආහාරපාන සැකසීමට ඉගෙනගත් බව පැවසීය.

යූටියුබ් නාලිකාවක් ආරම්භ කිරීමට බලපෑ හේතුව

''මම ගුරුවරියක් විදිහට සේවය කරපු කාලයේ මම දැකපු දෙයක් තමයි, ගොඩක් අයට මගේ රසට උයන්න බෑ කියන එක. ගොඩක් කාන්තාවන් ජීවිතේ අභියෝග ජය ගන්න වෙහෙසුණාට උයන්න පුරුදු වෙන්නෙ නෑ කියලා මට හිතුණා. ගොඩක් වෙලාවට කාන්තාවන් විවාහ වෙන්න කලින් අම්මලා උයලා දෙන ඒවා කනවා. බෝඩ්න්වෙලා ඉන්න අය කඩෙන් කෑම කනවා. ඒ අය උයන්න ඉගෙන ගන්නෙ නෑ. ඉතින්, කවදා හරි ඒ ගොල්ලන්ට උයන එකේ අගය දැනෙන්නෙ විවාහ වුණාට පස්සෙ. ඉතින් මම හිතුවා මම දන්න දේ අනෙක් අය එක්ක බෙදාගන්න ඕන කියලා. ඒත් ඒ දැනුම බෙදාගන්න සුදුසු මාධ්‍යයක් මට හිතාගන්න බැරුව හිටියේ,'' ඇය පැවසුවා ය. තමාට සුදුසු මාධ්‍යයක් ගැන පසුව ඇයට අවබෝධයක් ලැබී ඇත්තේ අහම්බෙනි.
''ලංකාවේ යූටියුබ් ප්‍රසිද්ධ නැති කාලේ, 2010 විතර මං වීඩියෝ එකක් දැක්කා පිටරටක ඉඳලා යූටියුබ් කරන තරුණියක්. විදේශික කාන්තාවක් ලංකාවට ඇවිල්ලා උයන එකක් පෙන්නනවා. ඉතින්, මට ඒක දැක්කාම තමයි මේ අදහස ඔළුවට ආවේ. උයන හැටි උගන්වන්න ඕන කියලා හිත හිත හිටියාට මට මාර්ගයක් තිබුණෙ නෑනේ. ඉතින් මං තීරණය කළා කොහොමහරි යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නවා කියලා. ඊට පස්සෙ මම තවත් අවුරුදු ගාණක් පුතාලාගේ සහයත් ඇතුව යූ ටියුබ් චැනල් එකක් කරන හැටි ගැන ඉගෙන ගත්තා. ඊට පස්සෙ 2016 දී තමයි මේ චැනල් එක පටන් ගත්තේ.''

ඇය සිය යූටියුබ් නාලිකාව ආරම්භ කරමින් පළමුවෙන්ම පළකළ වීඩියෝවෙන් ඉගැන්වූයේ ආප්ප සකසා ගන්නා ආකාරයයි. ඊට බලපෑ හේතුව ඇය බීබීසී සිංහල සේවයට හෙළි කළාය.

''මුලින්ම මම හැදුවෙ ආප්ප. මං පුංචි කාලේ අක්කලා දෙන්නා කොන්වන්ට් එකක නැවතිලා ඉගෙන ගත්තේ. අම්මා ඒ කාලේ මට කියලා හාල් කොටවනවා. ඊට පස්සේ අම්මයි, තාත්තායි, මමයි, අයියයි උදේ පාන්දර හතරට විතර නැගිටලා ආප්ප හදනවා. මම උදේට ඒ ආප්ප අරගෙන අක්කලාට ගිහින් දෙනවා. ඒ අතීතය මතක් වෙන්න තමයි මම ආප්ප හදන හැටි මුලින්ම උගන්වන්න හිතුවේ.''

යූටියුබ් නාලිකාව ආරම්භ කර මාස හතරක් ගත වනවිට 'අපේ අම්මා' නාලිකාවේ සබ්ස්ක්‍රයිබර්ස් සංඛ්‍යාව 50 000 ඉක්මවා තිබූ බව ඇය පැවසුවාය. සිය වීඩියෝවලින් මුදල් ඉපයිය හැකි බව ඇය දැනගෙන ඇත්තේ මාස හතරකට පමණ පසුවය.
''මම කරපු වීඩියෝ ඒ කාලේ මම සමහර වෙබ් අඩවිවල දැම්මා. දවසක් තරුණයෙක් ඒ වීඩියෝ දැකලා අපට පණිවුඩයක් එවලා තිබුණා (තාමත් ඒ පණිවුඩයේ ස්ක්‍රීන් ෂොට් එකක් මගේ ළඟ තියෙනවා) මේක මොනිටයිස් කරන්න පුළුවන් කියලා. ඒත් මං ඒකට කැමති වුණේ නෑ. මොකද මම මේක පටන් ගත්තේ සල්ලි හම්බකරන අදහසින් නෙවෙයි. මම කවදාවත් ටියුෂන් කරලාවත් සල්ලි අරගෙන නෑ. ඒ නිසා මම පුතාට කිව්වා එපා පුතේ මට ලැජ්ජයි කියලා. ඒත් මගේ පුතාලා කිව්වා, අම්මාගේ සල්ලි, මහන්සිය, කාලය නාස්ති කරගෙන කරන දෙයක් නිසා මොනිටයිස් කරන්න ඉඩ දෙන්න කියලා. ඊට පස්සේ මම ඒකට ඉඩ දුන්නා.''

''මට ඕන වුණේ රටේ දරුවන්ගේ අම්මා වෙන්න''

''මට ගොඩක් ලංකාවේ ආයතනවලින් ඇඩ්ස් ආවා. යූටියුබ් වීඩියෝවල ඇඩ් එකක් දැම්මාම හැමදාම ඒක තියෙන නිසා ඒ ආයතවලින් මට එක වීඩියෝ ඇඩ් එකකට රුපියල් ලක්ෂ 10, 15ක් දෙන්නම් කියලා කිව්වා. ඒත් මම කිව්වා ඒක කරන්න බෑ කියලා. මම මේකට අපේ අම්මා කියලා නම දැම්මේ ව්‍යාපාරයක් කරන අදහසින් නෙවෙයි. මට අවශ්‍ය වුණේ රටේ දරුවන්ට අම්මා වෙන්න. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. ගූගල් ඇඩ්වලින් එන ආදායමෙන් තමයි මාත් එක්ක වැඩකරන ඩිජිටල් කණ්ඩායමට වැටුප් ගෙවන්නේ,'' ඇය සඳහන් කළා ය.

''පිරිමි දරුවන්ට උයන්න පුරුදු කළ යුතුයි''

අතීතයේ පිරිමි පුද්ගලයන් ගොවිතැන් ආදී රුකියාවල නිරතවෙද්දී කාන්තාවන් ඉවුම් පිහුම් ආදී නිවෙස්වල කටයුතුවල නිරතවුවද, වත්මන් සමාජයේ කාන්තාවද රුකී රක්ෂාවන්හි නිරත වෙයි.

එවැනි පරිසරයක් තුළද කාන්තාව තවමත් රුකියාවට අමතරව නිවෙසේ කටයුතුද සිදුකරයි. මෙවැනි තත්ත්වයක් තුළ පුරුෂයන්ට ආහාර සැකසීමට වගකීමක් නැද්දැයි නැගූ ප්‍රශ්නයට 'අපේ අම්මා' දුන් පිළිතුර මෙසේය.

''ඒක ඉතා හොද වටිනා ප්‍රශ්නයක්. දැන් කාලේ අම්මලා කුස්සියට අඬගහන්න ඕන දුවලටත් වඩා පුත්තුන්ව. ගෑනු ළමයි අනිවාර්යයෙන්ම උයන්න ඉගෙන ගන්නවා. ඒ නිසා පුතාලවත් අම්මා ළඟට අඬගහගත්තොත් හොඳයි. පිරිමි දරුවන්ට උයන්න පුරුදු කරන එකට අමතරව, කෑමක් රසයි නම් ඒක රසයි කියලා අගය කරන්නත් පුරුදු කරන්න ඕනෙ. පිරිමි දරුවන්ට හොඳට උයන්න පුළුවන්. දැන් බලන්න හෝටල් ක්ෂේත්‍රයේ වැඩියෙන්ම උයන්නේ පිරිමි දරුවෝ.''

කාන්තා ව්‍යවසායිකාවන්ට උපදෙසක්

''අපි මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ස්වභාව ධර්මයට ආදරෙන් කළොත්, මනුෂ්‍යයින්ට ආදරෙන් කළොත්, සල්ලි ඉලක්ක කර ගන්නේ නැතුව කළොත් ස්වභාවධර්මය අපට පිහිට වෙනවා. ඒ නිසා කරන දේ හරියට කරන්න ඕන ගුණාත්මකභාවය ගැන හිතලා. ඒ වගේම සමහර වෙලාවට කාන්තාවන් තමන්ගේ දියුණුව ගැන වෙහෙසෙන අවස්ථාවලදී තමන්ගේ පවුල මඟහැරෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ පවුල සමග තියෙන සම්බන්ධතාව පවත්වාගෙන යන ගමන් දියුණු වෙන්න උත්සහ ගන්න ඕන. නැත්නම් දියුණු වෙලා ආපසු හැරිලා බලද්දී තමන්ගේ ගොඩක් දේවල් අහිමිවෙලා තියෙන්න පුළුවන්,'' ඇය පැහැදිලි කළාය.

ඇය පැවසූ පරිදි ඇයට ආයුර්වේදය පිළිබඳවද යම් දැනුමක් තිබේ. ඇගේ මුත්තණුවන් ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ අතර ඇය ඔහු හරහා ආයුර්වේදය පිළිබද යම් දැනුමක් ලබා තිබේ. ඇය බීබීසී සිංහල සේවය සමග කළ සංවාදය අවසන් කරමින් මෙසේ පැවසුවාය.

''මගේ මේ දැනුම ඔක්කොම ලෝකයට දෙනවා. මගේ මේ දැනුම මාත් එක්ක පොළොවට පස් වෙන්න නම් දෙන්නේ නෑ. මම දන්න හැමදේම කියලා දෙනවා.''

බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරෙනි.