2023 පෙබරවාරි 19 වන ඉරිදා

අලින්ට යන එන මං අහිමි කරන හබරණ කැලේ සැණකෙළිය

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 112

පරිසරවේදීන්ට ඉසුඹුවක් නොලැබෙන තරම් පරිසර අකටයුතුකම් සිදුවන රටක් බවට සිරි ලංකාව පත්ව තිබේ. මේ දිනවන පරිසරවේදීන්ට සිදුව ඇත්තේ හබරණ වනාන්තරයක් ආශ්‍රිතව පැවැත්වීමට නියමිතව ඇති වනගත සැණකෙළියකට එරෙහි වෙමින් කටයුතු කිරීමටයි. සංචාරකයන් ආකර්ශනය කර ඩොලර් ඉපයීම මේ අවස්ථාවේ රටට අවශ්‍යය. නමුත් වත්ත බද්දට දී ඇස්සට දත නියවීම නම් එකඟ විය හැකි කරුණක් නොවේ. 

වනගත සැණකෙළිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පොළොන්නරුවේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරණ, කරඳගස්වැව ප්‍රදේශයේ වනාන්තරය තුළයි. එය පෙබරවාරි 17, 18, 19 සහ 20 යන දිනයන්හී පැවැත්වීමට නියමිතය. Deep Jungle Music and Cultural Festival 2023 යනුවෙන් එය නම්කර තිබේ. පරිසරවේදීන් මෙන්ම ගැමි ජනතාව ද පවසන්නේ සැණකෙළිය හේතුවෙන් වනජීවීන්, ආශ්‍රිත ප්‍රජාව, මෙන්ම එයට සහභාගි වන විදේශීය සංචාරකයන්ගේ ජීවිත ද අනතුරේ වැටීමේ අවදානමක් පවතින බවයි. මේ ප්‍රවෘත්තිය කියවන විට මට මතක්වූයේ රොබට් ස්ටැන්ඩිෂ්ගේ ELEPHANT WALK (අලි පාර) නම් පොතයි. අලිමංකඩක් අවහිර වන සේ වතු බංගලාවක් ඉදිකළ සුද්දකුගෙන් පළිගන්නා අලියකු ගැන එහි කියැවේ. 

සැණකෙළි භූමිය පිහිටා ඇත්තේ හබරණ හන්දියෙන් ත්‍රිකුණාමලය දෙසට ඇති මාර්ගයේ ගමන් කරන විට හමුවන කරඳගස්වැව ප්‍රදේශයේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හුරුළු පාරිසරික උද්‍යානයේ – ගල්ඔය කොටස පැතිර යන්නේ එයට නුදුරිනි.        මෙම සැණකෙළිය සංවිධානය කරන Deep Jungle Entertainment පෞද්ගලික සමාගමේ අරමුණ වශයෙන් දක්වා ඇත්තේ “ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක ස්ථාන සහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම" ය. කෙසේ වුවත් මෙවැනි සැණකෙළි නිසා නිහඬ පරිසරයක් ප්‍රිය කරන වන සතුන් අනතුරේ වැටෙන බව ඔවුන්ට එත්තු ගොස් නැත.  සංවිධායකයන් විසින් ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තවත් අයගෙන් සහාය සහ අවසරය ලබාගෙන තිබේ. අපට පේන්නේ ඩොලර් පිපාසයෙන් පෙළෙන පිරිස් මේවා ගැන විමසා බැලීමකින් තොරව අනුමැතිය දෙන බවයි.  

මෙම කරුණ සම්බන්ධ පොළොන්නරුව දිසා වන කාර්යාලයේ පො/දිවනි/4/1/1/4 අංක දරන 2023.02.03 දිනැති ලිපියේ දක්වා ඇත්තේ ක්‍රියාකාරකම සිදු කරන ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තරයකට යාබදව පිහිටා ඇති බැවින් කොන්දේසි සහිත අනුමැතියක් ලබා දෙන බවය. නමුත් පසුව දිසා වන සංරක්ෂකවරයා එම කොන්දේසි සහිත අනුමැතියද ඉවත් කරගෙන තිබේ. මින්නේරිය ජාතික උද්‍යාන භාරකරු විසින් දන්වා ඇත්තේ මෙම ප්‍රදේශය වනජීවී රක්ෂිතයකට අයත් නොවන නමුත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධි විධාන උල්ලංඝනය නොවන පරිදි කටයුතු කළ යුතු බවයි. වනාන්තරවලට වඩාත් අවශ්‍ය නිහඬ බවයි. කෙසේ වුවත් මෙහි අධි ශබ්ද තරංග සහිත සංගීතමය කටයුතු සිදුකිරීමට නියමිතය. සැණකෙළි භූමියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබාදෙන කටයුතු සලසන ලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් හබරණ පොලිස්   ස්ථානාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

මේ ගැන අදහස් පළ කරමින් ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර් යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් අප සමඟ මෙසේ සඳහන් කළේය:

‘‘වනාන්තර ආශ්‍රිතව උක්ත මාදිලියේ සැණකෙළි පැවැත්වීම එම ප්‍රදේශවල ජීවත්වෙන වනජීවීන්ට මෙන්ම එම වන ජීවීන්ගේ චර්යා රටාවන් වෙනස්වීම මගින් ආශ්‍රිත ප්‍රජාවන්ගේ පැවැත්මටද තර්ජන එල්ල කරන බව අමුතුවෙන් කිවයුතු නැහැ. අලි ඇතුන්ගේ සංචරණය හා හැසිරීම වෙනස්වීම නිසා අලි ඇතුන්ගේ පහරදීම්වලට ජනතාවට මුහුණදීමට සිදුවන්න පුළුවන්.  මේ වන විට මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල තිබෙන ජලාශ ජලයෙන් පිරිලා. මේ  නිසා ප්‍රදේශයේ සැරිසරන අලි ඇතුන් ආහාර සපයාගැනීම සඳහා විශාල වශයෙන් හුරුළු පාරිසරික උද්‍යානය වෙත ඒකරාශී වී සිටිනවා. දීර්ඝ පැය ගණනාවක් අධික ශබ්ද නගමින් ප්‍රදේශයේ පවත්වන මෙම සංගීත සැණකෙළිය හේතුවෙන් එම සතුන්ටද යන එන මං අහිමිවීමේ අවදානමක් උද්ගත වෙලා."   

පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ: 

‘‘මොරගහකන්ද ජලාශයෙන් ජලය මුදාහැරීමෙන් පසු වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මින්නේරිය ප්‍රදේශයේ අලි ඇතුන්ට මේ වනවිට වාසස්ථාන පවා  අහිමි වෙලා ගිහින්. අලි ඇතුන් 350 ක් පමණ සිටි ආසියාවේ සුප්‍රසිද්ධ අලි රංචුව මේ නිසා සීසීකඩ වෙලා. මේ නිසා ඒ අලි  හුරුළු පරිසර උද්‍යාන වෙත ඇදී එන්නේ හබරණ ගල්ඔය හරහායි.    මෙම කොරිඩෝව හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව සලසන එකම ස්ථානයයි. ඒවාගේ තැනක තමයි මෙම සැණකෙළිය පැවැත්වීමට නියමිතව ඇත්තේ. අධික ශබ්ද සහ ආලෝකය යොදාගෙන කරන මෙම කටයුතුවලට විශාල සංඛ්‍යාවක් ජනතාව පැමිණේවි. පොලිස් ආඥා පනතේ 80 (1) වගන්තිය යටතේ පොලිසිය විසින් සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටියක් තිබෙනවා. ඒ අනුව රාත්‍රී 10.00 සිට පෙරවරු 06.00 දක්වා කාලය තුළ ශබ්දය වැඩි වන ශබ්ද විකාශන යන්ත්‍ර සහ වෙනත් උපකරණ භාවිතය සඳහා බලපත්‍ර නිකුත් නොකරන බව සඳහන් වෙනවා. කාටත් අවසරය ලබා ගැනීමේදී එම වගන්තිය අමතක වෙලා. 

සංවේදී වනජීවී වාසස්ථානයක මෙවැනි විනාශකාරී ක්‍රියාවලට අනුබල දෙන විට සිදුවන හානිය එම බලධාරීන්ට නොවැටහෙන්නේ දැයි අපට සිතෙනවා. මෙම ක්‍රියාකාරකමට සහාය දුන් ඉහළ මට්ටමේ තීරණ ගන්නන් විසින් කටයුතු කර ඇති අන්දම පිළිබඳව අපි ඉතා කලකිරීමට පත්ව සිටිනවා. මෙම ක්‍රියාව අයහපත් පූර්වාදර්ශයක් සපයන බව අපගේ විශ්වාසයයි."

සැණකෙළිය සංවිධානය කිරීමට පක්ෂ පුද්ගලයක් පවසන්නේ මෙම සැණකෙළිය ඩොලර් ලක්ෂ දෙකක් උපයා දෙන බවයි. නමුත් ඔවුන් වනජීවින් ගැන සලකන බවක් නොපෙනේ.   සමහර විද්වතුන්ගේ අදහස අනුව මින්නේරියේ සෑම අලියකුම වාර්ෂිකව ශ්‍රී ලංකා රුපියල් මිලියන 19 ක් දක්වා මුදලක් ඉපයීමට දායක වන බව පැවසේ. 

සැණකෙළිය පවත්වන ආයතනය මුහුණපොතේ පෝස්ටුවක් දමමින් මෙසේ සඳහන් කර තිබුණි: ‘‘ "2023 පෙබරවාරි වන විට මෙහි අලි ගහණය අඩු වී ඇති අතර වියළි කාලයේ මෙම ප්‍රදේශයේ දක්නට හැකිව තිබුණේ ඉතා අඩු වන අලි සංඛ්‍යාවකි. වන අලින් ආහාර හිඟය හේතුවෙන් වෙනත් ප්‍රදේශවලට සංචරණය වී ඇති අතර, මෙම ප්‍රදේශය පිළිබඳ වඩා දැනුමක් ඇති පිරිසගේ පවා මතය විමසීමෙන් පසුව මෙම සැණකෙළිය සඳහා මෙම ප්‍රදේශය තෝරාගන්නා ලදී. මෙම සැණකෙළිය පිළිබඳ ජනතා අවධානය යොමුවීමට තවත් එක් හේතුවක් වූයේ සැණකෙළිය පැවැත්වෙන භුමිය හුරුළු පරිසර උද්‍යානයට ආසන්නව පිහිටා ඇතැයි ප්‍රකාශ කිරීමයි. සැණකෙළිය සඳහා යොදාගන්නා ප්‍රදේශය හුරුළු පරිසර උද්‍යානයේ ඇතුළුවීමේ තැන සිට කිලෝමීටර් 1.4ක් තරම් දුරින් පිහිටා ඇත. ආරක්ෂක කලාපයෙන් පිට පවතින මෙම ප්‍රදේශයේ, දැනටත් ජනතාව පදිංචිව සිටින අතර වසර 25-30ක් පුරාවට කරගෙන යන ඔවුන්ගේ වගා බිම් ද මෙහි පවතියි." 

I කුසුම්සිරි විජයවර්ධන