2023 පෙබරවාරි 19 වන ඉරිදා

ජනතාවට ’අල හොද්දක්’ වූ බදු ගැහිල්ල

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 77

ජනාධිපතිවරයා පසුගියදා දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යැයි අපනයන අර්තාපල් සඳහා රුපියල් 100/- ක බද්දක් පැනවූයේ ගොවියන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේය. දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එන වකවානුවල ගොවියාට ඉහළ මිලක් ලබා දෙන්න යැයි පවසමින් අර්තාපල් ආනයන බද්ද ඉහළ දැමීම සෑම වසරකම පාහේ සිදු කරන දෙයකි. වෙළෙඳපොළේ කවදත් ආනයනික අර්තාපල්වල මිල අඩුය. අද පවතින ආර්ථික තත්ත්වය මත බොහෝ පාරිභෝගිකයන් ඉල්ලන්නේ මිල අඩු ආනයනික අර්තාපල්ය. ඉන්දියාව, පාකිස්ථානය ආදී රටවලින් මහා පරිමාණ වශයෙන් අර්තාපල් ආනයනය කෙරේ. අර්තාපල්වලට ආනයන බදු පැනවූ විට ආනයනික අර්තාපල් මිල දේශීය මිල අභිබවා ඉහළ නගී. එවිට දේශීය ගොවියාගේ කල දවස හොඳ වෙයි.

එහෙත් මෙහිදී පහර වදින්නේ පාරිභෝගික ජනතාවටය. මේ වන විට දිනකට එක වේලක් හෝ කන්නට හොද්දක් හදාගන්නට යම්තම් අඩු මිලට ගත හැකි අර්තාපල්වල මිල ඉහළ යයි. අද රටේ ආර්ථික තත්ත්වය අනුව මෙය පාරිභෝගිකයා කබලෙන් ලිපට ඇද දැමීමකි. අනික් අතට මෙම තීරණයෙන් වාසි ලබාගන්නා කොටසක් ද වෙති. ඒ නම් වෙළෙඳුන්ය. දැනට අඩු මිලට ආනයනය කර ගබඩා කරගෙන ඇති අර්තාපල් වැඩි මිලට අලෙවි කරන්නට ඔවුහු වාසනාවන්තයෝ වෙති. නව තොග බදු වැඩි කිරීමෙන් පසු ගෙන්වන ලද ඒවා යැයි පවසමින් වැඩි මිලට විකුණා අයුතු ලාභ ලබා ගනිති. අපේ රටේ ඕනෑම භාණ්ඩයක මිල වැඩි වූ විට එම ඇසිල්ලේ පටන් මිල ඉහළ යන නමුත් මිල අඩු කළ විට එම සහනය පාරිභෝගිකයාට ලැබෙන්නේ බොහෝ ප්‍රමාද වීය. නැතිනම් ලැබෙන්නේම නැත. මෙය කවදත් සිදුවූ දෙයක් වන අතර එම තත්ත්වය නිවැරදි කරන්නට දේශපාලනඥයන්ට හැකි වී නැත. අද සිදුවන්නේ ද එයමය. අතරමැදියෝ සියල්ල ගසා කති.

ජනාධිපතිවරයා පවසන පරිදි බදු වැඩි කළේ ගොවියාට සහන සලසන ව්‍යාජයෙන් නමුත් මෙයින් වැඩි වාසි ලැබෙන්නේ ආණ්ඩුවටය. එයට හේතුව ආනයන බදු ඉහළ යාමෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවස්ථාව ලැබීමය. මෙහිදී සිදුවන්නේ ගොවියා ඉදිරියට දමා රජයට පාරිභෝගිකයා සූරා කන්නට හැකි වීමය.

රටකට රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට ඇති ප්‍රධාන මාර්ගය බදු වෙයි. ඍජු බදු සහ වක්‍ර බදු වශයෙන් බදු වර්ග දෙකකි. ලොව බොහෝ දියුණු රටවල ඍජු බදුවලින් විශාල ආදායමක් ලබාගන්නා අතර වක්‍ර බදු සඳහා දක්වන්නේ මද උනන්දුවකි. එයට හේතුව වක්‍ර බදු වැඩි කිරීමෙන් ජනතාව හිරිහැරයට පත්වන නිසාය. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ ඇත්තේ මෙහි අනික් පැත්තය. අද වන විට වක්‍ර බදුවලින් ලබන ආදායම මුළු බදු ආදායමෙන් 80% ක් පමණ වන අතර ඍජු බදු ආදායමේ ප්‍රතිශතය 20% කි. මෙයට හේතුව වන්නේ කිසිදු පරිශ්‍රමයකින් තොරව වක්‍ර බදු අයකර ගත හැකි වීමය. වක්‍ර බදු අයකර ගන්නක් නොව නිරායාසයෙන්ම අය කෙරෙන්නකි. ඒ සඳහා අතිරේක පරිශ්‍රමයක් දැරිය යුතු නැත. අනම්‍ය ඉල්ලුමක් ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවලට වක්‍ර බදු පැනවූ විට කිසිම අපහසුවක් නොමැතිව එම ආදායම ලබාගත හැකිය. එහෙත් ඍජු ආදායම එසේ නොවේ. එය අයකර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. ඒ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක්ද පවත්වාගෙන යයි. විශාල කාර්ය මණ්ඩලයක් සේවයේ නිරතව සිටී. මේ සඳහා විශාල මුදලක් වැය කළද ලැබෙන ඍජු ආදායම වසරෙන් වසර පහළ යයි. ඒ නිසා අපේක්ෂිත ඉලක්කවලට ළඟා වීමට නුපුළුවන් වී තිබේ. ලොව දියුණු රටවල වක්‍ර සහ ඍජු බදු ආදායම 60% හා 40% වෙයි. අද පාලකයන් උනන්දු වන්නේ ඍජු බදු අවම කරමින් වක්‍ර බදුවලින් උපයා ගැනීමටය. මෙයින් පහර වැදෙන්නේ අසරණ පාරිභෝගිකයාටය. එයට හේතුව ව්‍යාපාරිකයන් මෙම වක්‍ර බද්ද කෙළින්ම පාරිභෝගිකයා කරා විතැන් කිරීමය. එවිට භාණ්ඩ මිල ඉහළ යයි. ජීවන වියදම වැඩි වේ. උද්ධමනය වර්ධනය වෙයි.

භාණ්ඩ මිල විටින් විට වෙනස් කිරීම නිසා පාරිභෝගිකයෝ අසරණ වෙති. තමන් ගෙවිය යුතු මුදල ගැන දැනගත හැකි වන්නේ වෙළෙඳපොළට ගිය පසුය. රජය විටින් විට බදු වෙනස් කරන නිසා පාරිභෝගිකයා ගසා කෑමට කූඨ වෙළෙන්ඳාට පහසුකම් සැලසේ. අපේ රට තරම් බදු වර්ග වැඩි රටක් ලොව නැති තරම්ය. විවිධ නම්වලින් බදු කරළියට එයි. උපයන විට ගෙවීම් බද්ද, ආදායම් බද්ද, සෙස් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද ආදිය ඉන් සමහරකි. මෙම බොහෝ බදු විටින් විට වෙනස් කෙරේ. මෙයට පෙර බදු වැඩි වන්නේ අයවැය ලේඛනය මගින් වුවද මෑතක සිට මධ්‍යම රාත්‍රියේදී ගැසට් මගින් බදු වැඩි කරයි. ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල නිතර වැඩි විමෙන් රටේ සමස්ත මිල ජාලයම වෙනස් වෙයි. මෙම තත්ත්වය අද වෙනදාටත් වඩා තදින් ජනතාවට බලපාන්නට පටන්ගෙන ඇත. කෙසේ වුවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවසුවේ බදු ආඥා පනත සංශෝධනය කර හෝ බදු අයකර ගැනීමට කටයුතු කරන බවය.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ බදු පැනවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම රාජ්‍ය ආදායම අඩුවීමට මෙන්ම අද පැන නැගී ඇති ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන බවකි.

''ශ්‍රී ලංකාවේ ආර්ථිකය හිඟ දෙකක් තිබෙන ආර්ථිකයක්. එම හිඟ දෙක වන්නේ අයවැය හිඟය සහ ජංගම ගිණුමේ හිඟයයි. හිස්කල් ප්‍රතිපත්තිය අනුව ප්‍රධාන ආදායම වන්නේ බදුයි. ඒ නිසා රටේ ආර්ථික කළමනාකරණය යන්නේ අදහස බදු කළමනාකරණය කිරීමයි. මෙය නිසි පරිදි සිදු නොවීම නිසා උද්ගත වී ඇති ගැටලු බොහෝයි. අද අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ඉල්ලීමට සිදුව ඇත්තෙත්, එයින් පනවන කටුක කොන්දේසිවලට අනුගත වන්නට සිදුව ඇත්තෙත් දීර්ඝ කාලයක සිට පැවැති බදු කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන්.

හැමදාම රාජ්‍ය ආදායම අඩුයි. වියදම වැඩියි. මෙය සමතුලිත කිරීම වෙනුවට ණය ගන්න  සිදු වුණා. බදු එකතු කිරීම අකාර්යක්ෂමයි. එතැනදි වැඩියෙන් අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයි. හැම අයවැයකදීම මුදල් ඇමැතිවරු බදු එකතු නොවෙනවා කියලා දොස් කියනවා. එහි අසාර්ථක බව කියනවා. ජනතාවට බදු ගැන දැනුමක් නැහැ. තමන් බදු ගෙවිය යුත්තේ ඇයි කියලා තේරුමක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් කට්ටි පනින්න බලනවා. රටේ බදු පිට බදු වැටෙන ක්‍රමයක් තමා තිබෙන්නේ. බදු දැලේ හිල් වැඩියි. රිංගලා යන්න පහසුයි. රජය පන්නන්නේ පුංචි අය පසුපස විතරයි. බදු නොගෙවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් නිදැල්ලේ සිටිනවා. වගකිව යුත්තන් ඒ ගැන තකන්නේ නැහැ.

2022 වසරේදී රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%ටත් අඩු වුණා. 2010 වසරේදී 10% ක් වූ බදු ආදායම 2018 දී 13% වුණා. එහෙත් එය දිගටම පවත්වාගෙන ඒමට අපට නොහැකි වුණා. 2022 වසරේදී විශාල ලෙස බදු සහන දීම හා හරි හැටි බදු එකතු නොකිරීම නිසා බදු ආදායම මෙලෙස අඩු වූ බව කිව යුතුයි. 8%ට වඩා බදු ආදායම අඩු රටවල් ලෝකයේම ඇත්තේ හයක් පමණයි. බදු එකතු කිරීමේ මූලධර්මවලට සෑම රාජ්‍යයක්ම අනුගත විය යුතුයි. එසේ නොවූ විට ප්‍රතිඵල භයානක වෙනවා. අද අපට අත්දකින්න සිදුව ඇත්තේ එයයි. අද අපේ බදු අයකිරීම දේශපාලනීකරණය වෙලා. බදු පනවන්නේ, අඩු කරන්නේ, කපන්නේ දේශපාලනඥයන්. එහෙත් බදු පිළිබඳ තීරණ ගත යුත්තේ විශේෂඥ දැනුමක් ඇති අයයි. එහෙම නැතිව මෙච්චර බදු දානවා, මෙච්චර කපනවා වගේ තීරණ ගන්න දේශපාලනඥයන්ට අයිතියක් නැහැ. අද බද්ද සුදු කරපටි ව්‍යාපාරයක් බවට පත්වෙලා.

අපේ බදු ආදායම මෙච්චර පහළ වැටෙන්න හේතු වුණේ පසුගිය වකවානුවේ සිදු කළ විශාල බදු කපා හැරීම්. ඒ සියල්ල දේශපාලනඥයන්ගේ තීරණයි. විෂය භාර ඇමැති එකවරම කිලෝවට රුපියල් 50/-ක්ව තිබූ සීනි බද්ද කිලෝවට ශත විසි පහට අඩු කළා. එයින් වූ බදු අලාභය බිලියන 15.9 ක්. හෙජින් ගනුදෙනුවේ පාඩුව රුපියල් බිලියන 10.8 යි. දිගටම කෑගහපු මහ බැංකු බැඳුම්කර සිද්ධියේ අලාභය රුපියල් බිලියන දශම 8 යි. ඇතැම් ඇමැතිවරු මෙම බදු වෙනස් කිරීමේ නිදහස තම හිතවතුන්ට වාසි ලබා දීමට පාවිච්චි කරනවා. අඩු කළ බදු ඇතැම් වෙලාවට තම අවශ්‍යතාව ඉටුකර ගත්තාට පසු සතියෙන් දෙකෙන් යළි උස්සනවා. ඇතැමුන්ට බදු වැඩි කිරීමට යන බව කල් ඇතිව කියනවා. මෙය කුප්‍රකට ව්‍යාපාරයක්. විවෘත ආර්ථිකයක් පවතින විට රාජ්‍ය මැදිහත් වීම අවම විය යුතුයි. ඒත් අපේ රටේ පුළුවන් තරම් රජය මැදිහත් වෙනවා.

දේශීය ගොවියා ආරක්ෂා කිරීමට යැයි ආනයන ආහාර ද්‍රව්‍යවල බදු වැඩි කරනවා. පසුගිය සතියේ ජනාධිපතිවරයා ගොවි හමුවකදී ප්‍රකාශ කළා දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීමට ආනයන අර්තාපල් කිලෝවකට රුපියල් 100/-ක බද්දක් ගහනවා කියලා. දේශීය ගොවියාට යහපතක් සලසනවා නම් එම බදු මුදල් ඍජුවම ගොවියාට යා යුතුයි. එහෙත් අපේ රටේ ගොවියා ආරක්ෂා කිරීමට යැයි බදු ගහලා ඒ මුදල් පාරවල් කාපට් කරන්න යොදවනවා. මෙයින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට උපකාරයක් වන්නේ නැහැ. දේශීය ගොවියා ආරක්ෂා කිරීම ආනයන බද්ද ඉහළ නංවලා පමණක් කරන්න බැහැ. තව කොතරම් දේවල් කළ හැකිද? ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කළහොත් මිල අඩු වෙනවා. ඔහුට පොහොරවල මිල, කෘෂි උපකරණ සහ කෘෂි රසායනවල මිල අඩු කරලා සහන සැලසිය හැකියි. එහෙත් ඒවා ගැන උනන්දුවක් නැහැ. බදු වෙනස් කිරීමේ අවස්ථාවල පිටපත පෙනෙන දෙය නොවෙයි අභ්‍යන්තරයේ සිදු වන්නේ. තම ගජ මිතුරන්ට වාසි ලබා දීමයි. මෙම තත්ත්වය නැති කරන තුරු අපේ බදු ආදායම ඉහළ නැංවීමට නොහැකියි.

රටකට ස්ථාවර බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුය. විවිධ භාණ්ඩවල ස්ථාවර බද්දක් නියම කළ යුතුයි. එහෙම නැතිව විටින් විට බදු මට්ටම වෙනස් කිරීම විසඳුමක් නොවෙයි. ඒවා ඔක්කොම පැලැස්තර විසඳුම්. කලින් කලට බද්ද වෙනස් වෙනවා. ඒ නිසා භාණ්ඩ හා සේවා මිල ද වැඩි වෙනවා. ස්ථිර බදු ප්‍රතිපත්තියක් තනා ක්‍රියාත්මක කිරීමට මැලි වන්නේ එවිට පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොලැබෙන නිසයි. විටින් විට බදු පැනවුවහොත් තමා එක්තරා කොටසකට වාසි ලබාගන්න පුළුවන් වෙන්නෙ. අතීතයේ බදු පැනවූයේ වාර්ෂික අයවැය ලේඛනය තුළින් පමණයි. භාණ්ඩ මිල අඩු වැඩි වූයේද අයවැය ලේඛනය මගින්. එහෙත් අද අයවැය ලේඛනයෙන් බදු පනවන්නේ නැහැ. 2023 අයවැය ලේඛනයෙන් පැනවූ එකම බද්ද වන්නේ බීඩියකට පැනවූ රුපියල් දෙකක බද්ද පමණයි. ඊට පසු කොච්චර බදු වෙනස් කිරීමට සිදු වූවාද? ගැසට් කොච්චර ගැහුවද? පසුගිය දිනවල භාණ්ඩ සඳහා කොතරම් ආනයන බදු පැනවුවාද? ඒ හේතුවෙන් රටේ මිල මට්ටම කොතරම් ඉහළ ගියාද? එසේ පැනවූ බදු විටින් විට වෙනස් කිරීමෙන් සංකීර්ණ ගැටලු රාශියක් ඇති වුණා.

ස්ථිර බදු ප්‍රතිපත්තියක් නැතිකම නිසා තමා වංචා දූෂණ සිදුවන්නේ. අද වන විට බදුවල රහසිගත බව නැතිව ගොසින්. බොහෝ අය බදු පනවන බව කල් තියා දැනගෙන කෙටි කාලයකදි විශාල තොග ඇණවුම් කර රඳවා තබාගෙන අසීමාන්තිකව ලාභ ලබනවා. බදු මට්ටම් තීරණය කළ යුත්තේ ඒ සඳහා පත් කළ ප්‍රවීණයන්ගේ මණ්ඩලයකින්. එහෙම නැතිව රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට සහ හයක් හතරක් නොදන්නා දේශපාලනඥයන්ට බදු පැනවීමට ඉඩ දිය යුතු නැහැ. එවිටයි වංචා දූෂණ බහුල වන්නේ. සීනි බදු වංචාවේ පාඩුව රුපියල් බිලියන 15.9 යි. පළාත් පාලන මැතිවරණයට ඉල්ලන්නේ බිලියන 8 ක මුදලක්. එහෙත් මුදල් නැතැයි කියලා එය දෙන්නේ නැහැ.*

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02